පළමුවන කියැවීම ක්‍රියා 8 :1-8
අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා පොතෙන් ගත් පාඨයෙකි.
1ඔහු මරාදැමීම ගැන සාවුල් ද සතුට ප්‍රකාශ කෙළේ ය.
ඒ දවසේ දී ජෙරුසලමෙහි වූ සභාවට විරුද්ධ ව දරුණු පීඩාවක් හට ගත්තේ ය. එවිට අපෝස්තුළුවරු හැර, සෙසු සියල්ලෝ ජුදයේ සහ සමාරියේ පළාත්වල විසුරුවනු ලැබූ හ. 2සැදැහැවත් අය ස්තේපන් භූමදාන කොට, ඔහු ගැන බොහෝ සෙයින් වැලපුණහ. 3එහෙත් සාවුල් ගෙදරින් ගෙදරට ගොස්, පුරුෂයන් ද ස්ත්‍රීන් ද අල්ලා හිරභාරයට ගනිමින්, සභාව වනසන්නට දිරි දැරී ය.
4විසුරුවනු ලැබූ අය දේශයෙහි සැරිසරමින් දේව වචනය දේශනා කළහ. 5පිලිප් සමාරියේ නුවරකට ගොස් එහි ක්‍රිස්තුන් වහන්සේ ගැන දේශනා කෙළේ ය. 6පිලිප් කී දේ ඇසූ, ඔහු කළ අරුමපුදුම දේ දුටු, ජන සමූහයෝ ඔහුට එක සිතින් සවන් දුන්හ. 7අශුද්ධාත්මයන් වැහී සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මයෝ මහ හඬින් මොරගසමින් දුරු වී ගියහ. බොහෝ අංශභාග රෝගීහු ද කොරු ද සුව කරනු ලැබූ හ. 8ඒ නුවර මහත් ප්‍රීතියක් ඇති විය.
දේව වාක්‍යය එසේය.
පිළිතුරු ගීය ගීතාවලිය 66 :1-7
පිළිතුර ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
1දෙවිඳාණෝ අප වෙත දයාව පෙන්වමින් අපට ආශීර්වාද කරන සේක් වා!
ස්වකීය මුහුණ අප කෙරෙහි බබළවන සේක් වා!
2එවිට මුළු ලොව ඔබේ කැමැත්ත දැනගන්නේ ය;
සියලු විජාතීහු ඔබේ ගැළවීමේ බලය දැනගන්නෝ ය.
3අහෝ දෙවිඳුනි, ජනතාවෝ ඔබ පසසත් වා!
සියලු ජාතීහු ඔබ පසසත් වා!
4ඔබ සාධාරණ ලෙස මිනිසුන් විනිශ්චය කරන සේක;
මිහි පිට සියලු විජාතීන් හට ඔබ මඟපෙන්වන සේක;
එබැවින් සකල ජනයා ප්‍රීතිමත් ව සතුටින් ගී ගයත් වා!
5අහෝ දෙවිඳුනි, ජනතාවෝ ඔබ පසසත් වා!
සියලු ජාතීහු ඔබ පසසත් වා!
6පොළොව පලදාව බහුල ව නිපදවිය;
දෙවිඳාණෝ, අපේ දෙවිඳාණෝ, අපට ආසිරි දුන් සේක.
7අපේ දෙවිඳාණෝ අපට ආසිරි වස්වන සේක් වා!
පොළෝ වැසි සියල්ලෝ එතුමාණන්ට ගරු කරත් වා!
සාධුකාරය
ආලේලූයා ආලේලූයා
මාගේ බැටළුවෝ මාගේ කටහඩ අසති. මම ද ඔවුන් අඳුනමි.
ඔවුහු ද මා පසුපස්සේ එති.
ආලේලූයා
සුබාරංචිය ජොහන් 6 : 35-40
සුවිශේෂක ජොහන් තුමන් විසින් ලියන ලද දේව වාක්‍යය නම් මෙසේය.
35ජේසුස් වහන්සේ කතා කොට, “ජීවනදායක ආහාරය මම ය, මා වෙත පැමිණෙන යමෙක් වේ ද, ඔහුට සාගිනි නොවන්නේ ය. මා අදහන යමෙක් වේ ද, ඔහුට කිසි කලෙකත් පිපාසය නොවන්නේ ය. 36එහෙත් මා කී ලෙස ම, ඔබ මා දුටු නමුත් මා නොඅදහන්නහු ය. 37පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝ ම මා වෙතට පැමිණෙති; මා වෙතට පැමිණෙන්නා මම කිසි සේත් ඉවත නොදමමි. 38මා ස්වර්ගයෙන් පහළ වූයේ මාගේ ම කැමැත්ත කරන පිණිස නොව, මා එවා වදාළ තැනැන් වහන්සේගේ කැමැත්ත කරන පිණිස ය. 39මා එවා වදාළ උන් වහන්සේගේ කැමැත්ත නම්, උන් වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක් කෙනෙකු වත් නැති වන්නට නෑර, සියල්ලන් ම අන්තිම දවසේ දී මා විසින් උත්ථාන කරනු ලැබීම ය. 40පුත්‍රයාණන් වහන්සේ දැක උන් වහන්සේ අදහාගන්නා හැම කෙනෙකු ම සදාතන ජීවනය ලැබීම මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ය. මම ද අන්තිම දවසේ දී ඔවුන් උත්ථාන කරන්නෙමි”යි වදාළ සේක.
සුවිශේෂ වාක්‍යය එසේය.
0 Comments