සුවිශේෂක 'මාක්' නැතහොත් අපොස්තුළුවරුන්ගේ ක්‍රියා පොතට අනූව 'ජොහන් මාක්' පළමුවන ශතවර්ශයේ දී ජෙරුසලමේ උපන්නෙක් ලෙස හඳුනා ගෙන ඇත. ශුද්ධ වූ බානබස් තුමන්ගේ ද ඥාතියෙක් වන මෙතුමා ශුද්ධ වූ පේදුරු තුමන් සමඟ ද සමීප ඇසුරක් තිබූ බවට සඳහන් වේ, 1 පේදුරු 5:13 සඳහන් වන්නේ විටෙක පේදුරු තුමන් තමන්ගේම පුත්‍රයෙක් ලෙස මාක් තුමන්ව හැඳින්වූ බවයි.
සුවිශේෂක මාක් තුමන් ජේසුස් වහන්සේගේ ගෝලයින් දොළොස් දෙනාගෙන් කෙනෙකු නොවන බැවින් ශුද්ධ වූ පේදුරු තුමා මගින් උන්වහන්සේ ගැන තොරතුරු දැනගත් බව සඳහන් වේ, එලෙස ක්‍රි.ව. 65-70 වර්ෂවල දී ශුද්ධ වූ මාක් තුමා සුවිශේෂය ලියා ඇත. මෙසේ ලියන ලද සුබාරංචි ග්‍රන්ථය ශුද්ධ වූ ලූක් තුමන් හට ද ශුද්ධ වූ මතෙව් තුමන් හට ද ඔවුන්ගේ සුබාරංචි ලිවිම සඳහා උපකාරි වූ බව සඳහන් වේ.
ශුද්ධ වූ මාක් තුමා ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්ඩ්රියාවේ මංමාවත් දිගේ ඇදගෙන ගොස් ඝාතනය කර ඇත. පසුව උන් වහන්සේගේ ධාතුන් වෙළෙන්දන් විසින් සොරාගෙන ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට යුරොපයේ නගරයක් වන වැනීසියට රැගෙන එන ලදී, එසේ වුයේ අනාවැකියක් සම්පූර්ණ වන ලෙස යැයි පුරාවෘත්තවල සඳහන් වේ.
දැනට උන් වහන්සේගේ ධාතුන් වැනීසියේ බයිසන්තියම් ගෘහ නිර්මාණ ශිල්පයට අනූව නිම කර ඇති පෙරදිග ක්‍රිස්තියානි සභවට අයත් ඉතා අලංකාර සුවිසල් ගොඩනැගිල්ලක් වන සාන්ත මාක් බැසිලිකාවේ රඳවා ඇත. තවද ශුද්ධ වූ මාක් තුමා වැනීසියට අරග්ගත් මුනිවරයා ලෙසද නම්කර ඇත.
ශුද්ධ වූ කතෝලික සභාව අප්‍රේල් 25 වන දින ශුද්ධ වූ මාක් තුමාගේ මංගල්‍යය සමරනු ලබයි, උන් වහ්න්සේ ප්‍රාණ පරිත්‍යාගියෙකු වන බැවින් සංඛේතාත්මකව පූජාසනය සහ පූජක තුමන්ලා රතු වර්ණයෙන් සැරසේ.
සංඛේතය - තටු සහිත සිංහයා
"මෙන්න , මාගේ දූතයා ඔබට පෙරටුව යවමි, හෙතෙම ඔබ වඩනා මඟ පිළියෙල කරන්නේ ය; 'සමිඳුන්ගේ මඟ පිළියෙල කරන්න; එතුමන් හට ඇද නැති මාවත් සාදන්නැ 'යි පාළුකරයෙහි මොරගා කියන හඬක් වේ !"
එසේ යෙසායා සිය දිවැසාවලියෙහි ලිය ඇතැයි කියමින් ශුද්ධවර මාක් තුමා තම සුබ අස්න ආරම්භ කරන්නේ ඉහත කී හඬ සිංහයෙකුගේ ගෙරවුමකට සමාන කරමින් ය.
දිවැසිවර එසකියෙල් තුමන් හට දර්ශනයකින් පෙන්වන ලද තටු සහිත සත්වයින් සතර දෙනෙකු ගැන එතුමන් සඳහන් කරයි (එසකියෙල් 1:10) තටු සහිත සිංහයා ද ඉන් අයෙකී, එලෙසම එලිදරව්ව 4 වන පරිච්ඡේදයේ මෙම සතුන් සතර දෙනා ගැන නැවතත් සඳහන් වේ.
තවද ශුද්ධ වූ මාක් තුමන් විසින් ලියන ලද සුවිශේෂයේ ජේසූස් සමිඳාණන්ගේ උදාර ක්රයාකරිත්වය හා අධිකාරි බලය උන් වහන්සේගේ ඉගැන්වීමෙන් ද යක්ෂයන් කෙරෙහි උන් වහන්සෙට තිබුණු බලමහිමයෙන් ද මිනිසුන්ගේ පාපයට කමා වීමෙන් ද පැහදිලි වන බැවින්, මාක් තුමන්ගේ සුවිශේෂයට තටු සහිත සිංහයාගේ සංඛේතය ලබා දී ඇති බව බොහෝ අයගේ අදහසයි.
0 Comments