උත්ථාන සමයේ දෙවන සතිය
සෙනසුරාදා
පළමුවන කියවීම ක්‍රියා 6: 1-7
අපෝස්තුළුවරුන්ගේ ක්‍රියාපොතෙන් ගත් පාඨයෙකි.
1ඒ දවස්වල දී ශ්‍රාවකයන්ගේ ගණන වැඩි වන කල, හෙබ්‍රෙව් බස කතා කරන ජුදෙව්වන්ට විරුද්ධ ව, ග්‍රීක බස කතා කරන ජුදෙව්වරු පැමිණිල්ලක් ඉදිරිපත් කළහ: දිනපතා සහනාධාර දීමේ දී, තමන්ගේ වැන්දඹුවන් නොසලකා හරිනු ලබති යි ඔව්හු කී හ. 2එවිට දොළොස් දෙනා ගෝල සමූහය රැස් කරවා, “අප දෙව් දහම දේශනා කිරීම අතපසු කොට සහනාධාර කටයුතුවල යෙදී සිටීම කිසිසේත් සුදුසු නැත. 3එබැවින් සහෝදරයෙනි, මේ තනතුරට පත් කරන පිණිස, යහපත් යයි පිළිගත්, එසේ ම ශුද්ධාත්මයෙන් ද ප්‍රඥාවෙන් ද පූර්ණ සත්දෙනෙකු ඔබ අතරෙන් තෝරා ගන්න. 4ඉන්පසු අපි යාච්ඤාවෙහි ද ධර්ම දේශනාවෙහි ද නියුක්ත ව සිටිමු”යි කී හ. 5මේ යෝජනාව ගැන මුළු මහත් පිරිස සතුටු වූ හ. එවිට ඔව්හු, ඇදහිල්ලෙන් හා ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ මිනිසෙකු වන ස්තේපන් ද ඔහු සමඟ පිලිප් ද ප්‍රොකොරස් ද නිකනෝර් ද තීමොන් ද පර්මෙනස් ද ජුදෙව් ආගමට හැරුණු අන්තියෝකියේ නිකොලොස් ද තෝරාගත්හ. 6ඔව්හු මේ අය අපෝස්තුළුවරු වෙත ඉදිරිපත් කළහ. අපෝස්තුළුවරයෝ යාච්ඤා කොට ඔවුන් මත අත් තැබූ හ.
7තවද දෙවියන් වහන්සේගේ වචනය පැතිරී ගියේ ය. ජෙරුසලමේ ශ්‍රාවකයන්ගේ ගණන බොහෝ සේ වැඩි විය. පූජකයන්ගෙන් මහත් සමූහයක් ද ඇදහිල්ල පිළිගත්හ.
දේව වාක්‍යය එසේය.
පිළිතුරු ගීය
ගීතාවලිය 33: 1-2, 4-5, 18-19
පිළිතුර සමිඳුනි ඔබෙ කරුණාව අප කෙරෙහි වේවා. 1දමිටුනි, හිමිතුමාණන් කෙරේ ප්‍රීති සන්තෝෂ වන්න.
ප්‍රශංසාව අවංක අයට හොබනා දෙයකි.
2වීණාව වයා හිමිතුමාණන් පසසන්න;
තත් දසයේ වීණාව ගෙන එතුමාණන්ට පැසසුම් ගීත ගයන්න.
4සමිඳාණන් වහන්සේගේ වචනය අවංක ය;
එතුමාණන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය.
5දැහැමි බව හා යුක්තිය එතුමාණන්ට ප්‍රිය ය.
මහ පොළොව හිමිතුමාණන්ගේ කරුණාවෙන් පිරී ඇත.
18සමිඳුන්ගේ නෙත් දේව ගරුබිය ඇත්තන් කෙරෙහි ය;
මරණයෙන් ගළවන පිණිස ද
19දුබික් දුරු කොට දිවි රක්නා පිණිස ද එතුමාණෝ දිවැසින් බලන සේක.
සාධුකාරය
ආලේලූයා ආලේලූයා
ඔබ ක්‍රිස්තුස් වහන්සේ සමග උත්ථාන කරනු ලැබූ බැවින්
දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ හිදින
ක්‍රිස්තුස් වහන්සේ වැඩ සිටින තැන ඇති ලොව්තුරු දේ ප්‍රාර්ථනා කරන්න.
ආලේලූයා
සුබාරංචිය ජුවාම් 6 : 16-21
සුවිශේෂක ජොහන්තුමන් විසින් ලියන ලද දේව වාක්‍යය න මෙසේය.
16සවස් වූ කල, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ මුහුදට ගොස්, 17ඔරුවට නැඟී මුහුදෙන් එතෙර කපර්ණවුමට යන්නට පිටත් වූ හ. රෑ බෝ වී තිබුණ නමුත්, ජේසුස් වහන්සේ ඒ තාක් ඔවුන් වෙත නො පැමිණි සේක. 18තද සුළඟක් හැමූ බැවින් මුහුද කැළඹිණි. 19ඔව්හු කිලෝමීටර් පහක් පමණ ඔරුව පැදගෙන ගිය කල, ජේසුස් වහන්සේ මුහුද මත ඇවිදිමින් ඔරුව ළඟට වඩින බව දැක බියපත් වූ හ. 20එහෙත්, උන් වහන්සේ ඔවුන් අමතා, “මේ මම ය, බිය නො වන්නැ”යි වදාළ සේක. 21ඔව්හු උන් වහන්සේ ඔරුවට පිළිගන්නට සතුටු වූ හ. එකෙණෙහි ම ඔරුව ඔවුන් යමින් සිටි රටට පැමිණියේ ය.
සුවිශේෂ වාක්‍යය එසේය.
0 Comments