පළමුවන කියවීම ක්‍රියා 5:17-26
17එවිට උත්තම පූජකයා සහ ඔහු සමඟ එහි සිටි සද්දුසි පක්ෂයේ අය, ඊර්ෂ්‍යාවෙන් පිරී නැඟී සිට, 18අපෝස්තුළුවරුන් අල්ලා පොදු හිරගෙයි දැමූ හ. 19එහෙත් රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයෙක් හිරගෙයි දොරවල් ඇර, ඔවුන් පිටතට ගෙන ගොස්, ඔවුන්ට කතා කොට, 20“යන්න, දේව මාලිගාවේ සිට මේ ජීවන මඟ පිළිබඳ සියලු දේ සෙනඟට ප්‍රකාශ කරන්නැ”යි කී ය. 21ඔව්හු ඒ අසා අලුයම දේව මාලිගාවට පිවිස ඉගැන්වූ හ.
ඒ අතරතුර, උත්තම පූජකයා ද පිරිවර ද පැමිණ, මුළු ඉශ්රායෙල් උත්තර මණ්ඩලය ඇතුළු මන්ත්‍රණ සභාව රැස් කරවා, අපෝස්තුළුවරුන් ගෙනෙන පිණිස හිරගෙදරට නියෝගයක් යැවූ හ. 22එහෙත් මුර සේවකයෝ ගොස්, හිරගෙයි ඔවුන් සිටිනු නොදැක ආපසු පැමිණ මෙසේ සැළ කළහ: 23“සිරගෙය ඉතා සුරක්ෂිත ලෙස වසා තිබුණි. මුරකරුවන් දොරටු ළඟ සිටි බව ද දුටිමු; එහෙත් දොර ඇරිය කල ඇතුළේ කිසිවෙක් අපට හමු නො වූ හ.” 24දේව මාලිගාවේ සේනාධිපතියා ද නායක පූජකයෝ ද මේ පුවත අසා, කුමකින් කුමක් වේ දැ යි වික්ෂිප්ත වූ හ. 25එවිට මිනිසෙක් අවුත්, “අන්න ඔබ හිරගෙයි දැමූ අය දේව මාලිගාවේ සිට ජනයාට උගන්වති”යි සැළ කෙළේ ය. 26දේව මාලිගාවේ සේනාධිපතියා සිය මුර සේවකයන් සමඟ පිටත් ව ගොස් අපෝස්තුළුවරුන් රැගෙන ආවේ ය. එසේ ගෙනෙන විට, සෙනඟ ඔවුන්ට ගල් ගසති යි යන බියෙන් අපෝස්තුළුවරුන්ට කිසි හිරිහැරයක් නොකළහ.
පිළිතුරු ගීය ගීතාවලිය 34:2-3, 4-5, 6-7, 8-9
පිළිතුර
2මම එතුමාණන්ගේ ගුණ වර්ණනා කරමි.
නිහතමානී අය ඒ අසා තොස් වෙත්වා;
3මා සමඟ හිමිතුමාණන් වර්ණනා කරන්න;
අපි එක් වී එතුමාණන්ගේ නාමය පසසමු.
4මම හිමිතුමාණන් සොයා ගියෙමි;
එතුමාණෝ මට පිළිතුරු දී හැම බියෙන් මා මිදූ සේක.
5එතුමාණෝ දෙස බලන්නා ප්‍රීතියෙන් බැබළෙන්නේ ය.
ඔහුගේ මුහුණ කවදාවත් ලජ්ජාවෙන් අඳුරු නොවන්නේ ය.
6හිමිතුමාණන්ට කන්නලව් කළ එක් අසරණයෙක් විය;
එතුමාණෝ ඔහුගේ බස් අසා,
සියලු දුක් ගැහැටවලින් ඔහු මිදූ සේක.
7හිමිතුමාණන්ගේ දූතයා දේව බය ඇති අය වට කර,
කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි.
8 හිමිතුමාණන් ගුණවත් බව ඔබ ම අත්දැකීමෙන් දැනගන්න;
එතුමාණන්ගේ රැකවරණය ලබන තැනැත්තේ ආසිරි ලබයි.
9එතුමාණන්ගේ සැදැහැවතුනි, එතුමාණන්ට ගරුබිය දක්වන්න;
මන්ද, දේව ගරුබිය ඇති අයට අගහිඟයක් නැත.
සාධුකාරය ජොහන් 3:16
16“දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.
සුබාරංචිය ජොහන් 3:16-21
0 Comments