✟✟ 𝟚𝟘𝟚𝟛 ජනවාරි 7 ✟✟



පළමුවන කියවීම 1 ජොහන්  5:14-21

14උන් වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන් වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත්, උන් වහන්සේ අපේ ඉල්ලීම අසන බව ය. 15ඒ ඉල්ලීමට උන් වහන්සේ සවන් දෙන බව අපි දනිමු නම්, අප උන් වහන්සේගෙන් ඉල්ලන දේ අපට ලැබෙන බව අපි දනිමු.
16යමෙකු තම සහෝදරයා මරණීය නොවන පාපයක් කරන බව දුටුවොත්, ඔහු යාච්ඤා කෙරේ වා! එවිට, එය මරණයට නොපමුණුවන පාපයක් නම්, දෙවියන් වහන්සේ ඔහුට ජීවනය දෙන සේක. මරණයට පමුණුවන පාපයක් ඇත්තේ ය. ඒ ගැන ඔබ යාච්ඤා කළ යුතු යයි මම නොකියමි. 17සියලු අදමිටුකම් පව් ය. එහෙත් සියලු ම පාප මරණයට පමුණුවන පව් නොවේ.
18දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙකු පාපයෙහි නිරත ව නොසිටින බව අපි දනිමු. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ඔහු රක්ෂා කරන සේක. ඔහුට හානියක් කරන්නට නපුරාට බැරි ය.
19අප දෙවියන් වහන්සේට අයිති බවත්, මුළු ලෝකය නපුරාට යටත් බවත් දනිමු. 20තවද, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පැමිණ, සැබෑ දෙවියන් දැනගැනීමට ප්‍රඥාව අපට දුන් බව අපි දනිමු. ඇත්තෙන් ම අප සැබෑ දෙවියන් තුළ, එනම්, උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ ජීවත් වෙමු. ක්‍රිස්තුන් වහන්සේ සැබෑ වූ දෙවියන් ද සදාතන ජීවනය ද වන සේක. 21මාගේ ප්‍රිය දරුවෙනි, බොරු දෙවිවරුන්ගෙන් පරිස්සම් වී සිටින්න.

පිළිතුරු ගීය ගීතාවලිය 149:1-2, 3-4, 5-6A AND 9B

පිළිතුර සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක.

1සමිඳුන් පසසන්න.
සමිඳුන්ට නව ගීතිකාවක් ද සැදැහැවතුන්ගේ සභාවේ දී එතුමන්ගේ පැසසුම් ද ගායනා කරන්න.
2තමන් මැවූ තැනැන් වහන්සේ කෙරෙහි ඉශ්රායෙල් ප්‍රීති වෙත් වා!
තමන්ගේ රජුන් කෙරෙහි සියොන්හි දරුවෝ ප්‍රීතිමත් වෙත් වා!
පිළිතුර සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක.
3එතුමන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත් වා!
රබන් ගසා, වීණා වයා එතුමන්ට පසස් ගී ගයත් වා!
4සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක.
දීනයන් ජය සිරියෙන් සරසන සේක.
පිළිතුර සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක.
5සැදැහැවත්තු මහිමයෙන් යුක්ත ව ප්‍රීති වෙත් වා!
මුළු රෑ එතුමන් නමදිමින් ප්‍රීතියෙන් ගායනා කරත් වා!
සිය මුවින් සමිඳුන්ට පැසසුම් කරත් වා!
පිළිතුර සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක.
9ලියන ලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉටු කරනු පිණිස ය;
මේ ගෞරවය එතුමන්ගේ සියලු සැදැහැවතුන්ට ඇත්තේ ය.
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
පිළිතුර සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක.

ආලේලූයියා ලූක් 7:16

එකල සියල්ලෝ ම බිය පත් ව, “ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර පහළ වී සිටියි. දෙවියන් වහන්සේ සිය සෙනඟ ගළවන්න වැඩිය සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ

සුබාරංචිය ජොහන් 2:1-11

1තුන් වන දවසෙහි, ගලීලයේ කානාහි විවාහ මංගල්‍යයක් විය; ජේසුස් වහන්සේගේ මෑණියෝ ද එහි සිටියහ. 2සිය ශ්‍රාවකයන් සමඟ ජේසුස් වහන්සේ ද මංගල්‍යයට කැඳවනු ලැබූ සේක. 3මිදියුස හිඟ වූ විට, ජේසුස් වහන්සේගේ මෑණියෝ, “මිදියුස නැතැ”යි උන් වහන්සේට කී හ. 4ජේසුස් වහන්සේ ද කතා කොට, “ස්ත්‍රිය, ඔබත් මාත් මේ ගැන කරදර වෙන්නේ කුමට ද? මාගේ මොහොත තව ම පැමිණ නැතැ”යි වදාළ සේක. 5උන් වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් අමතා, ‘මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැ’යි කී හ.
6ජුදෙව්වරුන්ගේ පවිත්‍ර වීමේ වත්පිළිවෙත් සඳහා ලීටර් සියයක් පමණ අල්ලන ගල් භාජන සයක් එහි තබා තිබිණි. 7“භාජනවලට වතුර පුරවන්නැ”යි ජේසුස් වහන්සේ සේවකයන්ට වදාළ සේක. ඔව්හු ද ඒවා ගැටිය දක්වා ම පිරෙව්වෝ ය. 8“දැන් මෙයින් ටිකක් සංවිධායක තැන වෙත ගෙන යන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ඔව්හු එය ගෙන ගියහ. 9සංවිධායක තැන මිදියුස බවට හැරුණු වතුර ගෙන රස බැලී ය. එය කෙසේ ලැබිණි දැ යි වතුර ගෙනා සේවකයන් දැන සිටි නමුත්, ඔහු නොදත්තේ ය. එබැවින් ඔහු මනාලයා කැඳවා, 10“හැම කෙනෙක් ම පළමුකොට හොඳ මිදියුසයෙන් සංග්‍රහ කරති; කවුරුනුත් සෑහෙන තරමට පානය කළ පසු බාල මිදියුසයෙන් සංග්‍රහ කරති. එහෙත්, ඔබ මේ වන තුරු හොඳ මිදියුස තබාගෙන සිටියෙහි ය”යි ඔහුට කී ය.
11මේ වනාහි ජේසුස් වහන්සේ ලකුණක් පිණිස කළ හාස්කම්වලින් පළමු වැන්න ය. එය සිදු කරන ලද්දේ ගලීලයේ කානාහි දී ය. එසේ කිරීමෙන් උන් වහන්සේ සිය තේජශ්‍රීය ප්‍රකාශ කළ සේක; ශ්‍රාවකයෝ ද උන් වහන්සේ අදහාගත්හ. 12 ඉන්පසු උන් වහන්සේ සිය මෑණියන් ද සොහොයුරන් ද ශ්‍රාවකයන් ද සමඟ කපර්ණවුමට වැඩිය සේක; එහෙත්, ඔව්හු එහි වැඩි කලක් නොසිටියහ.

Post a Comment

0 Comments