✟✟ 𝟚𝟘𝟚𝟛 ජනවාරි 4 ✟✟

 



පළමු කියවීම 1 ජොහන් 3:7-10

7මාගේ ප්‍රිය දරුවෙනි, ඔබ මුළා කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න. උන් වහන්සේ ධර්මිෂ්ඨ ව සිටින්නාක් මෙන්, දමිටුකම් කරන්නා දමිටු ව සිටියි. 8පව් කරන තැනැත්තා යක්ෂයාට අයිති ය. මන්ද, පටන්ගැන්මේ සිට ම යක්ෂයා පව් කර ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ප්‍රකාශ වූයේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම පිණිස ය.
9දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙක් පව් නොකරති. මන්ද, උන් වහන්සේගේ ජීවය ඔහු තුළ පවතියි. ඔහු දෙවියන් වහන්සේගෙන් උපත ලැබ සිටින බැවින් ඔහුට පව් කළ නොහැකි ය. 10දෙවියන් වහන්සේගේ දරුවන් ද යක්ෂයාගේ දරුවන් ද හඳුනාගත හැක්කේ මෙසේ ය: යුතු දේ නොකරන, තම සහෝදරයාට ප්‍රේම නොකරන, කිසිවෙක් දෙවියන් වහන්සේගේ දරුවෝ නොවෙති.

පිළිතුරු ගීය ගීතාවලිය 98:1, 7-8, 9

පිළිතුර මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.

1සමිඳුන්ට නව ගීයක් ගයන්න;
මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක.
සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක.
පිළිතුර මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.
7මුහුද ද එහි ඇති සියල්ල ද ගර්ජනා කෙරේ වා!
ලෝකය ද එහි වැසියෝ ද ගී ගයත් වා!
8ගංගා අත් පොළසන් දේ වා!
කඳු හෙල් එක් ව සමිඳුන් හට ප්‍රීති නාද දේ වා!
පිළිතුර මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.
9මන්ද, සමිඳාණෝ මිහිතලය පාලනය කරන පිණිස වඩින සේක;
එතුමාණෝ ලෝ වැසියන් ධර්මිෂ්ඨකමින් ද සාධාරණකමින් ද පාලනය කරන සේක.
පිළිතුර මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.

ආලේලූයියා හෙබ්‍රෙව් 1:1-2

1දෙවියන් වහන්සේ ආදි යුගවල දී, නොයෙක් විට ද විවිධාකාරයෙන් ද, දිවැසිවරයන් මඟින් අපේ පියවරුන්ට කතා කළ සේක. 2එහෙත් දැන් මේ අවසාන කාලයේ දී උන් වහන්සේ සිය පුත්‍රයාණන් මඟින් අපට කතා කළ සේක. උන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ මුළු විශ්වය මවා, සියල්ලේ උරුමකාරයාණන් කොට උන් වහන්සේ පත් කළ සේක. 

සුබාරංචිය ජොහන් 1:35-42

35පසු දින නැවතත් ජොහන් සිය ගෝලයන් දෙදෙනෙකු සමඟ සිටිය දී 36මඟ වඩිනා ජේසුස් වහන්සේ දෙස බලා, “බලන්න, දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ”යි කී ය. 37ගෝලයෝ දෙදෙන ඔහු කී දේ අසා ජේසුස් වහන්සේ පසුපස ගියහ. 38ජේසුස් වහන්සේ හැරී ඔවුන් තමන් පසුපස එනු දැක, “ඔබ කුමක් සොයන්නහු දැ”යි ඇසූ සේක. ඔව්හු ද, “රබ්බි, (එහි තේරුම ගුරුදේවයෙනි, යනු යි.) ඔබ වැඩ වසන්නේ කොතැන දැ”යි ඇසූ හ. 39“ඇවිත් බලන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. එසේ ඔව්හු අවුත් උන් වහන්සේ වැඩ වසන ස්ථානය දැක, එදින උන් වහන්සේ සමඟ ගත කළහ. වේලාව සවස හතරට පමණ වී ය.
40ජොහන්ගේ කීම අසා උන් වහන්සේ පසුපස ගිය දෙදෙනාගෙන් එක් තැනැත්තෙක් නම්, සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩෘ ය. 41ඔහු පළමුවෙන් තම සොහොයුරා මුණගැසී, “අපට මෙසියස් වහන්සේ හමු වූ හ”යි කී ය. (‘මෙසියස්’ යන්නෙහි අර්ථය ‘ක්‍රිස්තුස්’ යනු යි.) 42ඔහු ජේසුස් වහන්සේ වෙත සීමොන් කැඳවාගෙන ආවේ ය. ජේසුස් වහන්සේ ඔහු දෙස බලා, “ඔබ ජොහන්ගේ පුත් සීමොන් ය; ඔබට ‘කේපස්’ යයි කියනු ඇතැ”යි වදාළ සේක. (‘කේපස්’ යන්නෙහි අර්ථය ‘පර්වතය’ යනු යි.)

Post a Comment

0 Comments