✟✟ 𝟚𝟘𝟚𝟚 දෙසැම්බර් 27 ✟✟



 පළමු කියවීම 1 ජොහන් 1:1-4

1  මූලාරම්භයේ පටන් වූ ජීවනයේ ධර්මයාණන් ගැන අපි ඔබට ලියමු. අපි උන් වහන්සේ කනින් ඇසීමු, අපේ ඇස්වලින් දුටිමු; දැක බලා, අපේ අත්වලින් ස්පර්ශ කෙළෙමු. 2 මේ ජීවනය දෘශ්‍යමාන විය. අපි එය දැක, ඒ ගැන සාක්ෂි දරමින්, පියාණන් වහන්සේ සමඟ වැඩවිසූ, අපට දෘශ්‍යමාන කරන ලද සදාතන ජීවනය ඔබට ප්‍රකාශ කරමු. 3අප ඔබටත් ප්‍රකාශ කරන්නේ අප ඇසූ දුටු ඒ දේ ම ය. අප එසේ කරන්නේ, පියාණන් වහන්සේ ද උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද සමඟ පවත්නා අපේ සහභාගිකමට ඔබත් පංගුකාර වන පිණිස ය. 4තවද, අප මෙය ලියන්නේ අප හැමගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ය.

පිළිතුරු ගීය ගීතාවලිය 97:1-2, 5-6, 11-12

පිළිතුරසැදැහැවතුනි, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වෙත් වා!

1සමිඳාණෝ රජකම් කරන සේක, මිහිතලය ප්‍රීති වේ වා!
දිවයින් සියල්ල ප්‍රීති ප්‍රමෝද වේ වා!
2වලාකුළු සහ අඳුර එතුමන් වට කර සිටින්නේ ය.
දැහැමිකම සහ යුක්තිය එතුමන්ගේ සිහසුනේ පදනම් ය.
පිළිතුරසැදැහැවතුනි, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වෙත් වා!
5කඳු හෙල් සමිඳාණන් දැක ඉටි මෙන් උණු වන්නේ ය;
මුළු මිහිතලය ද සමිඳුන් දැක එසේ වන්නේ ය.
6දෙව්ලොව එතුමන්ගේ සාධාරණකම ප්‍රකාශ කරන්නේ ය;
සකල ජනතාවෝ එතුමන්ගේ මහිමය නරඹන්නෝ ය.
පිළිතුරසැදැහැවතුනි, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වෙත් වා!
11දැහැමියන් මත එළිය බබළයි;
යහපත් අය මත සතුට දිළිසෙයි.
12සැදැහැවතුනි, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වෙත් වා!
එතුමන්ගේ සුවිශුද්ධ භාවය සිහි කොට එතුමන්ට ප්‍රශංසා කරත් වා!
පිළිතුරසැදැහැවතුනි, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වෙත් වා!

සුබාරංචිය ජොහන් 20:1A AND 2-8

1සතියේ පළමු වන දා හිමිදිරියේ ම, අඳුර තිබිය දී, මග්දලායේ මරියා සොහොන් ගෙය ළඟට අවුත්, සොහොන් ගෙයින් ගල ඉවත් කොට තිබෙන බව දුටුවා ය. 2එබැවින් ඈ සීමොන් පේදුරු ද ජේසුස් වහන්සේ ප්‍රේම කළ අනික් ශ්‍රාවකයා ද වෙත දුව ගොස්, “ඔවුන් සමිඳාණන් වහන්සේ සොහොන් ගෙයින් ඉවතට ගෙන ගොස් තිබේ; ඔවුන් උන් වහන්සේ කොතැනක තැබුවා ද කියා අපි නොදනිමු”යි කීවා ය. 3එවිට පේදුරු ද අනික් ශ්‍රාවකයා ද නික්ම විත් සොහොන් ගේ දෙසට ගියහ. 4දෙදෙනා ම එක් ව දිව්වෝ ය. අනික් ශ්‍රාවකයා පේදුරු පසු කර දුව ගොස් පළමුවෙන් සොහොන් ගෙට පැමිණ, 5නැමී බලා, සිහින් හණ රෙදි එහි තිබෙන බව දිටී ය. එහෙත් ඔහු ඇතුළට නොගියේ ය. 6සීමොන් පේදුරු ඔහුට පසුව පැමිණ සොහොන් ගේ ඇතුළට ගොස්, හණ රෙදි එහි තිබෙන බවත්, 7උන් වහන්සේගේ හිස ඔතා තිබූ රෙදි කඩ, හණ රෙදි සමඟ නොව, වෙන ම එක් තැනෙක අකුළා තිබෙන බවත් දුටුවේ ය. 8එකල සොහොන් ගේ ළඟට පළමුවෙන් පැමිණි ඒ අනික් ශ්‍රාවකයා ද, ඇතුළට ගොස් දැක විශ්වාස කෙළේ ය. 


Post a Comment

0 Comments