✟✟ 𝟚𝟘𝟚𝟚 දෙසැම්බර් 23 ✟✟

 


පළමුවන කියවීම  මලාකි 3:1-4, 23-24

1 මෙයට සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: “මට පෙරටු ව ගොස් මාගේ මාර්ගය පිළියෙළ කරන්නාවූ මාගේ දූතයා මම එවන්නෙමි. එවිට නුඹලා සොයමින් සිටින සමිඳාණන් වහන්සේ හදිසියෙන් තමන් දේව මාලිගාවට වඩින සේක. නුඹලා පුල පුලා බලා සිටින දූතයා පැමිණ මාගේ ගිවිසුම ප්‍රකාශ කරනු ඇත.”
2 එහෙත්, උන් වහන්සේගේ පැමිණීමේ දවස උහුලන්න පුළුවන් කවරෙකුට ද? උන් වහන්සේ ප්‍රකාශ වන විට ගැළවී සිටින්න පුළුවන් කවරෙකුට ද? උන් වහන්සේ රන්කරුවෙකුගේ ගින්න මෙන් ද අපුල්ලන්නෙකුගේ සබන් මෙන් ද වන සේක. 3උන් වහන්සේ රිදී උණු කර පිරිසිදු කරන කෙනෙකු මෙන් ලෙවී පුත්‍රයන් පවිත්‍ර කරන සේක. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේ වෙත නියම පූජාවක් ගෙනෙන්නෝ ය. 4ජුදාවේ හා ජෙරුසලමේ සෙනඟ සමිඳාණන් වහන්සේ වෙත ගෙනෙන පූජා පෙර කාලයේ දී මෙන් උන් වහන්සේට ප්‍රියමනාප වන්නේ ය.
5 “සමිඳාණන් වහන්සේගේ මහා භයානක දවස පැමිණෙන්නට පෙර මම දිවැසිවර එලියා නුඹලා වෙත එවන්නෙමි. 6මා පැමිණ නුඹලාගේ දේශය විනාශ නොකරන පිණිස, ඔහු පියවරුන්ගේ සිත් දරුවන් වෙතට ද දරුවන්ගේ සිත් පියවරුන් වෙතට ද හරවනු ලබනවා ඇත.”

පිළිතුරු ගීය ගීතාවලිය 25:4-5AB, 8-9, 10 AND 14

පිළිතුර ඔබේ විමුක්තිය ළං වේගන එන බැවින් නැඟී සිට හිස් ඔසවන්නැ

4සමිඳුනි, ඔබේ ක්‍රියා මාර්ගය මට හෙළි කළ මැනව;
ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව.
5ඔබේ සත්‍යය අනුව මා ගෙන ගිය මැනව;
මට එය ඉගැන්නුව මැනව;
මන්ද, ඔබ මාගේ විමුක්තිදායක දෙවිඳාණෝ ය.
දවස පුරා ඔබ එන මඟ බලා සිටිමි.
8සමිඳාණෝ යහපත් ය;
අවංක ය.
එතුමාණෝ පවිටුන් හට යා යුතු මාර්ගය උගන්වන සේක.
9එතුමාණෝ නිහතමානී අය යුක්තියෙහි හසුරුවන සේක.
එතුමාණෝ යටහත් පහත් අයට තම මාර්ගය උගන්වන සේක.
10හිමි තුමන්ගේ ගිවිසුම හා ශික්ෂා පද පිළිපදින අයට එතුමන්ගේ සියලු මාවත් කරුණාවේ හා සත්‍යයේ මාවත් වනු ඇත.
14හිමි තුමන්ගේ රහස් සැලැස්ම එතුමාණන් කෙරේ ගරුබිය දක්වන අයට පෙන්වා ඇත;
එතුමාණන් ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වා ඇත.


සුබාරංචිය ලූක්   1:57-66

57නියම කාලය පැමිණි විට එලිසබෙත් තොමෝ පුත්‍රයෙකු ලැබුවා ය. 58ඇගේ අසල්වැසියෝ ද නෑයෝ ද සමිඳාණන් වහන්සේ ඈ කෙරෙහි මහා දයානුකම්පාවක් දැක්වූ බැව් අසා ඇය සමඟ ප්‍රීති වූ හ. 59තවද, අට වන දා චර්මඡේදන පිළිවෙත පිණිස ඔව්හු දරුවා ගෙනැවිත් සිය පියාගේ නාමය අනුව ඔහුට සෙකරියස් යයි නම් තබන්නට සැරසුණහ. 60එහෙත්, ඔහුගේ මව කතා කරමින්, “එසේ නොවේ; ඔහුට ජොහන් යන නාමය තැබිය යුතු ය”යි කීවා ය. 61“ඔබේ නෑයන් අතර ඒ නාමය ඇත්තෙක් නැතැ”යි ඔව්හු ඈට කී හ. 62ඔහුගේ පියා ඔහුට කුමන නමක් තබන්න කැමැති දැ යි දැනගන්නා පිණිස ඔව්හු ඔහුට සංඥා කළහ. 63ඔහු ලියන ලෑල්ලක් ඉල්ලාගෙන, “ඔහුගේ නම ජොහන් ය”යි ලිවී ය. සියල්ලෝම මවිත වූ හ. 64එකෙණෙහි ම ඔහුගේ කතා ශක්තිය ලැබිණි; ඔහු දෙවියන් වහන්සේ පසසමින් කතා කෙළේ ය. 65අසල්වැසි සියල්ලන් කෙරෙහි බිය පැමිණියේ ය. මෙ‍පවත් සියල්ල ජුදයේ කඳු රට පුරා පතළ විය. 66ඒ ඇසූ හැම දෙන ම ඒ සියල්ල සිය සිත්හි තබාගෙන, “ඉතින් මේ දරුවා කෙබඳු කෙනෙක් වන්නේ දැ”යි ඇසූ හ. මක්නිසා ද, සමිඳාණන් වහන්සේගේ හස්තය ඔහු කෙරෙහි විය.


Post a Comment

0 Comments