✟✯✯ ශු.තෝර්ලැක් මුනිතුමා ✯ ✯ ✟

 


ස්කැන්ඩිනේවියානු දූපත් රාජ්‍යයක් වන අයිස්ලන්තයේ වන්නේ ශාන්ත තෝර්ලැක් තෝල්සන් මුනිතුමාය.

1198 දී එනම් ඔහුගේ මරණයෙන් වසර පහකට පසුව,අයිස්ලන්තයේ ජාතික සභාව ඔහුව සාන්තුවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කළද,  1984 ජනවාරි මාසයේදී දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ ඔහුව රටේ නාම සාන්තුවරයා ලෙස තහවුරු කරන තෙක් මෙම "නිල නොවන" ශාන්තුවරගත කිරීම කතෝලික සබාවේ ජනවන්දනා දින දර්ශනයට නිල වශයෙන් ඇතුළත් කර නොතිබුණි.

ජර්මානු සහ නෝර්වීජියානු මිෂනාරිවරුන් අයිස්ලන්තයේ පලමු ධර්මදූත කටයුතු ආරම්භ කර සියවස් දෙකකටත් අඩු කාලයකට පසුව, එනම් ක්‍රී ව. 1133 දී තෝර්ලැක් උපත ලැබීය. බොහෝ අයිස්ලන්ත වැසියන් පිළිම වන්දනාවේ සහ මුතුන් මිත්තන්ගේ ආගමට දැඩි ලෙස ඇලී සිටි බැවින්, මෙහි ධර්මදූත කටයුතු අරගල මැදින් සිදුවිය.

අයිස්ලන්තයේ කතෝලික සභාව තෝර්ලැක් ගේ උපත වන විට එහි පැවැත්ම යම් මට්ටමකට තහවුරු කර තිබුණි. කෙසේ වෙතත්, එය යම් අවුල් වියවුල් තත්ත්වයන් ද පැන නැගී තිබුණි. විශේෂයෙන් ප්‍රාදේශීය පූජකයන් පූජක බ්‍රහ්මචර්යාවේ රීතිය නොසලකා හැරීම, පල්ලියේ තනතුරු පුද්ගලික වාසි සඳහා විකිණීම සහ වෙනත් විනය කඩකිරීම් වල නිරත වීම හේතුවෙන් සභාව යම් මට්ටමක දූෂිත ස්වභාවයක් ගෙන තිබුණි.

ගොවීන් ලෙස යන්තම් ජීවනෝපාය උපයා සරි කර ගත් තෝර්ලැක් ගේ දෙමාපියන් තම පුතාගේ දක්ෂතා සැලකිල්ලට ගත් අතර ඔහුට ප්‍රදේශයේ පූජකයෙකුගෙන් පුළුල් ආගමික උපදෙස් ලබා ගැනීමට වග බලා ගන්නා ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස තෝර්ලක් වයස අවුරුදු 15ට පෙර උපස්ථායකයෙකු ලෙස පැවිදි දිවියට ඇතුළු වී වයස අවුරුදු 18 දී පූජාප්‍රසාදී ධුරයට පත්විය.

පසුව, ඔහු ප්‍රංශයේ සහ සමහරවිට එංගලන්තයේ දේවධර්මය හැදෑරීමට අයිස්ලන්තයෙන් පිටත්ව ගියේය. මෙම කාලය තුළ ඔහු බටහිර සභා සම්ප්‍රදායේ වැදගත් නිකායක් වූ ශාන්ත අගුස්තීනු පැවිදි නිකායට යටත්ව ජීවත් වීමට කැප විය. මෙම නිකායේ පූජකවරුන්ට බ්‍රහ්මචර්යාවට පමණක් නොව, සභාවේ මුල් දිනවල ප්‍රේරිතයන්ගේ ක්‍රමයට අනුව පුද්ගලික දේපළවලින් තොර ප්‍රජාවක ජීවිතයකට ද කැප විය යුතු විය.

රැඩිකල් ශ්‍රාවකත්වය පිළිබඳ මෙම දර්ශනයෙන් ආභාෂය ලැබූ ඔහු, අයිස්ලන්තයට ආපසු පැමිණි පසුද පැවිදි බ්‍රහ්මචර්යාවේ විනය තදින් අනුගමනය කළේය. ඔහු අගුස්තීනු  පාලනයට අනුව තාපසාරාමයක් ආරම්භ කළ අතර, එය යාඥා සහ අධ්‍යයන ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ විය.

තාපසාරාමය පිහිටුවා වසර දහයකට පසු, පුරාණ අගුස්තීනු ජීවන ක්‍රමයේ තවත් අනුගාමිකයෙකු වන නෝර්වීජියානු අගරදගුරු ඔගස්ටින් එර්ලන්ඩ්සන්, අයිස්ලන්ත ස්කල්හෝල්ට් රදගුරු පදවියේ රදගුරු තනතුරට පත්වන ලෙස තෝර්ලැක්ගෙන් ඉල්ලා සිටියේය. ඔහු තම පැවිදි ජීවන රටාවට දැඩි ලෙස බැඳී සිටියද, පූජකයන් අතර ප්‍රතිසංස්කරණ හා මග පෙන්වීමේ හදිසි අවශ්‍යතාවය හඳුනා ගත් නිසා එම තනතුර භාර ගන්නා ලදි.

පැවිදි බ්‍රහ්මචර්යාවේ දැඩි විනයක් පමණක් නොව, ලෞකික බලධාරීන්ගේ ආක්‍රමණයට එරෙහිව සභාවේ ස්වාධීනත්වය ද අපේක්ෂා කළ ශතවර්ෂය තුළ VII වන ග්‍රෙගරි පාප් වහන්සේ ආරම්භ කළ බටහිර සභා ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට රදගුරුතුමෙක් ලෙස ඔහු දැඩි ලෙස කැපවී සිටියේය. .

මෙතුමා මහජන සදාචාරය වැඩිදියුණු කිරීමට උත්සාහ කළ අතර, රදගුරුතුමාගේම සහෝදරිය සමඟ විවාහයෙන් පරිබාහිර සම්බන්ධයක් පැවැත්වූ බව කියන අයිස්ලන්තයේ වඩාත්ම ජනප්‍රිය හා බලවත් ප්‍රධානියාට පවා මුහුණ දීමට මෙතුමා නිර්භීත විය. මේ ආකාරයේ සිය ධූරයේ තිබූ බර පසෙකට දමා නැවත පැවිදි ජීවිතයට පැමිණීමට ඔහු බොහෝ  ආශාවෙන් සිටිය ද ඔහු එසේ කිරීමට පෙර, 1193 දෙසැම්බර් 23 දින මිය ගියේය.

ශාන්ත තෝර්ලැක්, කතෝලික යුගයේ අයිස්ලන්තයේ වඩාත්ම ජනප්‍රිය ස්වදේශික සාන්තුවරයා බවට සැකයක් නැත. 16 වන සියවසේදී අයිස්ලන්තය නිල වශයෙන් ලූතරානු සභාව බවට පත්වීමට පෙර මෙතුමා වෙනුවෙන් පල්ලි 50 කට වඩා කැප කරන ලදී.

අයිස්ලන්තයේ කතෝලික සභාවට තවදුරටත් විශාල පැවැත්මක් නොතිබුණද, ශාන්ත තෝර්ලක්ගේ මංගල්‍යය සැමරීම පුළුල් ජාතික චාරිත්‍රයක් ලෙස පැවතෙන්නක් වේ. අයිස්ලන්ත වැසියන් නත්තලට පෙර සූදානම් වීමේ අවසාන දිනය ලෙස දෙසැම්බර් 23 දා මෙතුමා සමරනු ලබයි. 

Post a Comment

0 Comments