✟✟ 𝟚𝟘𝟚𝟚 දෙසැම්බර් 11 ✟✟

 


පළමුවන කියවීම යෙසායා 35:1-6A, 10

1වනය ද වියළි දේශය ද ප්‍රීති වන්නෝ ය;
කාන්තාරය ප්‍රීතිමත් වී සෙව්වන්දි මෙන් මල් දරන්නේ ය.
2එය ප්‍රීතියෙන් ගී හඬ නඟන්නේ ය.
ලෙබනොන් කන්ද මෙන් එය පියකරු වන්නේ ය;
කර්මෙල් හා ශාරොන් කෙත් මෙන් සාරවත් වන්නේ ය;
සමිඳුන්ගේ තේජාලංකාරය ද එතුමන්ගේ මහ බල මහිමය ද සියල්ලෝ දකින්නෝ ය.
3 බෙලහීන අත් බලවත්කර, වෙවුළන දණ හිස් ශක්තිමත් කරන්න;
4බියසුලු සිත් ඇත්තන්ට මෙසේ කියන්න;
“බිය නොවී දිරි ගන්න;
දෙවිඳාණෝ ඔබ මුදන පිණිසත් ඔබේ සතුරන්ගෙන් පළිගන්න පිණිසත් වඩින සේක.”
5 අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේ ය.
බිහිරන්ගේ කන් ඇරෙන්නේ ය.
6කොර අය මුවන් මෙන් දුව පනින්නෝ ය.
ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය.
කාන්තාරයෙන් ජලධාරා ගලා එන්නේ ය.
මරුකතරෙන් ඇල දොළවල් බිඳී එන්නේ ය.
10ගැළවීම ලැබූ ඔව්හු ප්‍රීති ඝෝෂා පවත්වමින් සතුටු සිතින් පිනා යමින් ජෙරුසලමට පැමිණෙති.
දුකින් හා දොම්නසින් මිදී සදහට ම ප්‍රීති වෙමින් ඔව්හු එහි වෙසෙති.

පිළිතුරු ගීය ගීතාවලිය 146:6-7, 8-9, 9-10

පිළිතුරදෙවිඳාණෝ ඔබ මුදන පිණිස වඩින සේක.

6 එතුමාණෝ අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැවූ සේක.
එතුමාණෝ සදාකල් ම විශ්වාසී ව සිටින සේක.
7සමිඳාණෝ පීඩා විඳින්නන්ට යුක්තිය ඉටු කර දෙන සේක;
සාගිනි වූවන්ට ආහාර දෙන සේක;
පිළිතුරදෙවිඳාණෝ ඔබ මුදන පිණිස වඩින සේක.
8එතුමාණෝ සිරකරුවන් මුදන සේක;
අන්ධයන්ගේ ඇස් පහදන සේක;
වැටී ගියවුන් නඟා සිටුවන සේක;
සමිඳාණෝ දමිටුන්ට ප්‍රේම කරන සේක.
9විදේශීන් ආරක්ෂා කරන සේක;
අනාථයන්ට හා වැන්දඹුවන්ට උපකාර කරන සේක;
එහෙත්, දුදනාගේ යෝජනා සුන් කරන සේක.
පිළිතුරදෙවිඳාණෝ ඔබ මුදන පිණිස වඩින සේක.
10සමිඳාණෝ සදහට ම රජකම් කරන සේක.
එම්බා සියොන් නගරය!
ඔබේ සමිඳාණෝ සියලු පරම්පරා දක්වා රජකම් කරන සේක.
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
පිළිතුරදෙවිඳාණෝ ඔබ මුදන පිණිස වඩින සේක.

දෙවන කියවීම ජාකොබ් 5:7-10

7එබැවින් සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේගේ ආගමනය දක්වා ඉවසිල්ලෙන් සිටින්න. පළමු සහ අන්තිම වර්ෂාව වහින තුරු ගොවියා පොළොවේ සරුසාර පලදාව ගැන බලා ඉවසිල්ලෙන් සිටියි. 8එසේ ම ඔබ ද ඉවසිල්ලෙන් සිටින්න; සමිඳාණන් වහන්සේගේ ආගමනය දැන් ළං ව ඇති බැවින් ඔබේ සිත් තිරසර ව තබාගන්න.
9සහෝදරයෙනි, ඔබ විනිශ්චයට ලක් නොවන පිණිස එකිනෙකාට විරුද්ධ ව චෝදනා නොකරන්න. මෙන්න, විනිශ්චයකාරයාණෝ දොරකඩ සිටින සේක. 10සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් කතා කළ දිවැසිවරයන්ගේ පීඩා විඳීම ද ඉවසීම ද ආදර්ශයට ගන්න. 

ආලේලූයියා යෙසාසා 61:1

1  මහෝත්තම දෙවි සමිඳුන්ගේ
ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත.
දිළිඳුන්ට සුබ අස්න දෙසීමට ද බිඳුණු සිත් ඇත්තන්ට සුව සෙත දීමට ද වහලුන්ට මිදීම දානය කරන්න ද සිරකරුවන්ට නිදහස දන්වන්න ද එතුමාණෝ මා ආලේප කළ සේක.

සුබාරංචිය මතෙව් 11:2-11

2ක්‍රිස්තුන් වහන්සේගේ මෙහෙය ගැන හිරගෙයි දී ජොහන් හට ආරංචි වී, 3“එන්න සිටින තැනැත්තේ ඔබ ද? නොහොත් අප වෙන කෙනෙකු ගැන බලා සිටිය යුතු දැ”යි ඇසීමට ඔහු සිය ගෝලයන් උන් වහන්සේ වෙත යැවී ය. 4ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ඔබ ගොස් අසන දකින දේ ජොහන් හට දන්වන්න. 5අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති; බිහිරන්ට ඇසෙයි; මළාහු නැඟිටුවනු ලබති; දිළිඳුන්ට සුබ අස්න ප්‍රකාශ කරනු ලැබේ. 6මා කෙරෙහි විශ්වාසය නැති කර නොගන්න තැනැත්තේ භාග්‍යවන්තයෙකි”යි ඔවුන්ට වදාළ සේක. 7ඔවුන් යද්දී ජේසුස් වහන්සේ ජොහන් ගැන සමූහයාට කතා කරන්න පටන්ගෙන, මෙසේ වදාළ සේක: “ඔබ කුමක් බලන පිණිස පාළුකරයට ගියහු ද? සුළඟින් සැලෙන බට ගසක් ද? 8නැතහොත් කුමක් බලන්න ගියහු ද? පට පිළියෙන් සැරසුණු මනුෂ්‍යයෙක් ද? බලන්න, පට පිළියෙන් සැරසුණු අය රජ මැදුරුවල සිටිති. 9එහෙත්, කුමක් සඳහා පිටත් ව ගියහු ද? දිවැසිවරයෙකු බලන පිණිස ද? එසේය යි මම ඔබට කියමි. දිවැසිවරයෙකුටත් වඩා බොහෝ උතුම් කෙනෙකු බලන පිණිස ය. 10මන්ද, කීවොත්:
‘මෙන්න, මාගේ දූතයා ඔබට පෙරටුව යවමි, හෙතෙම ඔබ වඩිනා මඟ ඔබ ඉදිරියෙහි පිළියෙළ කරන්නේ ය’යි
ලියා තිබෙන්නේ මොහු ගැන නිසා ය. 11සැබැවින් ම මම ඔබට කියමි, මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා උතුම් කෙනෙක් පහළ නො වී ය. එහෙත් ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු තැනැත්තේ වුව ද, ඔහුට වඩා උතුම් ය. 

Post a Comment

0 Comments