✟✟ 𝟚𝟘𝟚𝟚 දෙසැම්බර් 10 ✟✟



 පළමුවන කියවීම සිරාක් 48:1-4, 9-11

1එකල්හි එලියා දිවැසිවරයා ගින්නක් මෙන් නැඟී ආවේ ය.
ඔහුගේ වචනය ගිනි හුළක් මෙන් ඇවිළුණේ ය.
2ඔහු ඔවුන් පිට සාගතයක් පැමිණෙව්වේ ය.
තම උද්‍යෝගයෙන් ඔවුන්ගෙන් විශාල ගණනක් වනසාදැමුවේ ය.
3සමිඳුන්ගේ වචනයෙන් අහස පියවාදැමුවේ ය.
තුන් වරක් අහසින් ගින්න ඇද වැටෙන්නට සැලසුවේ ය.
4අහෝ එලියා!
ඔබ සිදු කළ ප්‍රාතිහාර්යයන් නිසා ඔබ කොපමණ කීර්තිමත් වූයෙහි ද?
අභිමානයෙන් ඔබට සමාන වන්නේ කවරෙක් ද?
9ඔබ ගිනිමය සුළි සුළඟින් හැරගෙන යනු ලැබුවෙහි ය.
ගිනිමය අශ්ව රථයක ඔසවාගෙන යනු ලැබුවෙහි ය.
10මතු පැමිණෙන්ට තිබුණ තර්ජනවල දී දේව උදහස කඩා බිඳගෙන එන්නට පෙර එය සංසිඳවීමට පියවරුන්ගේ සිත ඔවුන්ගේ දරුවන් දෙසට හැරවීමට ද ජාකොබ්ගේ ගෝත්‍රයන් නැවත පිහිටුවීමට ද ඔබ පත් කරනු ලැබුවෙහි ය.
11ඔබ දැකීමේ වරය ලබාගත් අය ද ඔබට ප්‍රේම කරමින් සිට මියගිය අය ද භාග්‍යවන්තයෝ ය.
මන්ද, අපට ද ජීවිතය හිමි වන හෙයිනි.

පිළීතුරු ගීය ගීතාවලිය 80:2AC AND 3B, 15-16, 18-19

පිළිතුර අහෝ සමිඳුනි! සව් බලැති දෙවිඳුනි, ඔබේ සෙනඟගේ අයැදීම ගැන කොපමණ කල් ඔබ උදහස් ව සිටින සේක් ද?

ඉශ්රායෙල්වරුන්ගේ එඬේරාණෙනි, අපට සවන් දුන මැනව.
2කෙරුබ්වරුන් මත අසුන් අරා දර්ශනය වුව මැනව.
අප මුදාගැනීමට වැඩිය මැනව.
3අහෝ දෙවිඳුනි!
අප ආපසු ගෙන ගිය මැනව.
අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.
පිළිතුර අහෝ සමිඳුනි! සව් බලැති දෙවිඳුනි, ඔබේ සෙනඟගේ අයැදීම ගැන කොපමණ කල් ඔබ උදහස් ව සිටින සේක් ද?
15ඔබේ දකුණතින් රෝපණය කළ දේ සැලකුව මැනව;
ඔබට ම සවිමත් කරගත් දේ බැලුව මැනව.
16අපේ සතුරෝ එය කපා ගින්නෙන් පුළුස්සා දැමුවෝ ය.
ඔබේ බැල්මේ තර්ජනයෙන් ඔව්හු වැනසී යති.
පිළිතුර අහෝ සමිඳුනි! සව් බලැති දෙවිඳුනි, ඔබේ සෙනඟගේ අයැදීම ගැන කොපමණ කල් ඔබ උදහස් ව සිටින සේක් ද?
18එවිට අපි කවදාවත් ඔබට පිටුපා නොයන්නෙමු.
අපට ජීවත් වීමට ඉඩ දුන මැනව.
අපි ඔබේ නාමයෙන් අයැද ඔබ පසසන්නෙමු.
19අහෝ සමිඳුනි!
සව් බලැති දෙවිඳුනි!
අප ආපසු ගෙන ගිය මැනව.
අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.
පිළිතුර අහෝ සමිඳුනි! සව් බලැති දෙවිඳුනි, ඔබේ සෙනඟගේ අයැදීම ගැන කොපමණ කල් ඔබ උදහස් ව සිටින සේක් ද?

ආලේලූයියා ලූක් 3:4, 6

“සමිඳුන්ගේ මඟ පිළියෙළ කරන්න, එතුමන් හට ඇද නැති මාවත් සාදන්න.
සියලු කඳු හා හෙල් සමතලා කරනු ලැබේ; සියලු වංගු ඇද හරිනු ලැබේ;
රළු මාවත් මට්ටම් කරනු ලැබේ. දෙවියන් කෙරෙන් වන විමුත් මඟ මනු සත දකිනු ඇතැ යි පාළුකරයෙහි මොරගා කියන හඬෙකි.”

සුබාරංචිය මතෙව්  17:9A, 10-13

9ඔවුන් කන්දෙන් බැස එද්දී ජේසුස් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය-පුත්‍රයාණන් මළවුන් කෙරෙන් නැඟිටින තුරු මේ දර්ශනය කිසිවෙකුට නොකියන්නැ”යි ඔවුන්ට අණ කළ සේක. 10 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට, “එසේ නම්, එලියා පළමුවෙන් එන්න යුතු ය යි විනයධරයන් කියන්නේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 11උන් වහන්සේ උත්තර දෙමින්, “එලියා එන බව ඒකාන්ත ය. ඔහු අවුත් සියල්ල යළි පිහිටුවන්නේ ය. 12 එහෙත්, ඔබට කියමි: එලියා දැනට ම පැමිණ සිටී, ඔව්හු ඔහු නොහැඳින, තමන් රිසි දෙය ඔහුට කළහ. එලෙස ම ඔවුන් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට ද පීඩා කරනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක. 13උන් වහන්සේ මෙය කීවේ ස්නාවක ජොහන් ගැන බව ශ්‍රාවකයෝ තේරුම්ගත්හ.

Post a Comment

0 Comments