✟✯🌷 ශු. රෝස් පිලිපීන් ඩුචේන් ‌මුනිවරිය 🌷✯ ✟

 



මෙතුමිය උපත ලැබුවේ ප්‍රංශයේ ග්‍රෙනොබල් හි ධනය හා දේශපාලන සම්බන්ධතා ඇති පවුලක 1769 අගෝස්තු 29 වන දින  ය. ඇගේ පියා, ග්‍රෙනොබල් හි නීතීඥයෙක්, ව්‍යාපාරිකයෙක් සහ ප්‍රකට සිවිල් නායකයෙක් වූ අතර, ඇගේ මව, ප්‍රදේශයේ ප්‍රමුඛ පවුලක සාමාජිකාවක් වූවාය. කුඩා කලදීම එනම් වයස අවුරුදු අටේ පමණ සිට ඇයට ඇමරිකාවේ ධර්මදූත සේවයේ යෙදීමට ආශාවක් ඇති වූ අතර, ජේසු නිකායික මිෂනාරිවරයෙකු එහි සේවය කිරීම ගැන කතා කරනු ඇසීමෙන් එම ආසාව ඇතිවූ බව කියවේ. ඇය උපකාරක ගුරුවරුන්ගෙන් නිවසේ මූලික අධ්‍යාපනය ලබා ගත් අතර ඇගේ මවගෙන් ආගමික අධ්‍යාපනය ලැබුවාය.

ග්‍රෙනොබල් හි බැහැදැකීමේ කන්‍යා සොහොයුරියන්ගේ කන්‍යාරාමයේ වයස අවුරුදු 12 සිට අධ්‍යාපනය ලැබූ රෝස්, 1788 දී එනම් වයස අවුරුදු 19 දී ඇයගේ පවුලේ අයගේ අවසරයකින් හෝ අනුදැනුමකින් තොරව කන්‍යා සොහොයුරියන් හා සම්බන්ධ වූවාය. මුලදී දෙමාපියන් ඇගේ තේරීමට දැඩි ලෙස විරුද්ධ වූ නමුත් අවසානයේ දී කැමැත්ත පළ කරන ලදි.

1804 දී ඇය දිව්‍ය හෘදයේ සංගමයට සම්බන්ධ වූ අතර ඇයව 1818 දී එක්සත් ජනපදයට යවන ලදි. පුළුල් ප්‍රදේශයක් ධර්ම දූත කටයුතුවල නිරත වීම, ගැහැණු ළමයින් සඳහා පාසල් ආරම්භ කිරීම, පුණ්‍ය කටයුතු කිරීම සහ අවසානයේ ස්වදේශික ඇමරිකානුවන්ට සේවය කිරීම ආදිය ඇය විසින් සිදු කරන ලදි.

ශාන්ත රෝස් නිර්භීත මිෂනාරිවරියක් ලෙස ප්‍රසිද්ධ විය. ඇය සිය අවසන් වසර දහය ගත කළේ මිසූරි හි ශාන්ත චාල්ස් හි කන්‍යාරාමයේ කුඩා පැල්පතකය. විශ‍්‍රාම යාමේ දී ඇය දැඩි ලෙස හා නිරන්තර යාඥාවේ යෙදෙමින් ජීවත් වූවාය. ඇය 1852 නොවැම්බර් 18 වන දින මිසූරි හි ශාන්ත චාල්ස්හිදී මිය ගියාය.

1940 මැයි 12 වන දින XII පියුස් පාප් වහන්සේ විසින් ඇයව භාග්‍යවරයට පත් කරන ලද අතර, 1988 ජූලි 3 වන දින දෙවන ජුවාම් පාවුළු පාප් තුමා විසින් ශාන්තුවරයභාවයට ඔසවන ලදී. ඇය බොහෝ විට "දයාවේ තැනැත්තිය" හෝ "සැමවිටම යාච්ඤා කරන කාන්තාව" ලෙස හැඳින්වේ.


Post a Comment

0 Comments