✟✟ 𝟚𝟘𝟚𝟚 නොවැම්බර් 6 ✟✟

 


පළමු කියවීම  2 මකබි 7:1-2, 9-14
1සහෝදරයන් සත් දෙනෙක් ද ඔවුන්ගේ මව හා සමඟ අත්අඩංගුවට ගන්නා ලදහ. ඔවුන්ට කසයෙන් සහ කටුසැමිටිවලින් වධ හිංසා දෙමින්, ඔවුන්ටත් නීති විරෝධි වූ ඌරුමස් කවනු සඳහා රජ තෙම බලහත්කාරකම් කෙළේ ය. 2ඔවුන්ගෙන් කෙනෙක් සෙස්සන්ගේ කතා නායකයා මෙන් ඉදිරිපත් වී කතා කොට, “ඔබ අපෙන් දැනගන්න සොයන්නේ කුමක් ද? අපේ මුතුන්මිත්තන්ගේ ව්‍යවස්ථාවන් කඩ කරනවාට වඩා අපි මැරෙන්නට සූදානම් ය”යි කීවේ ය.
9අවසාන හුස්ම හෙළමින් ඔහු කතා කොට, “අමනුස්ස යක්ෂය, නුඹට මේ ජීවිතයෙන් අප ඉවත් කරන්නට පුළුවන. එහෙත් ලෝක පරමෝත්තමයාණන්ගේ නීති සඳහා අප මැරෙන බැවින් සදහට ම ජීවත්වීම සඳහා එතුමාණෝ අප නැඟිටුවාලන සේකැ”යි කී ය.
10ඔව්හු ඔහුට පසු ව තෙවෙනියා රැගෙන විනෝද වූ හ. ඔහුගෙන් ද ප්‍රශ්න ඇසූ විට, ඔහු වහා දිව දිගු කොට දෑත ඔසවා 11“මට මේ අවයව ලැබුණේ ස්වර්ගයෙනි. දෙවියන් වහන්සේගේ නීතිය උදෙසා මම ඒවා පිළිකුල් කරමි. මම උන් වහන්සේගෙන් ඒවා යළි ලබාගැනීමට බලාපොරොත්තු වෙමි”යි උදාර ලෙස පැවසී ය. 12ඒ තරුණයාගේ ධෛර්යය ගැනත් දුක් වේදනා විඳීම ගැන ඔහු දැක්වූ නොසැලකිලිමත් බව ගැනත් රජ ද සේවකයෝ ද මවිත වූ හ.
13මොහු මියගිය පසු සතරවෙනියා රැගෙන ඔහු ද එම අමානුෂික වේදනාවට පාත්‍ර කරන ලදී. 14ඔහු මරණාසන්න මොහොතේ දී හඬ නඟා කතා කරමින්, “මිනිසුන්ගේ අතින් අපට මරණය පැමිණීම යස තෝරාගැනීමකි. එහෙත් දෙවියන් වහන්සේ විසින් අපි යළිත් නැඟුටුවනු ලබමු යන දේව පොරොන්දුව පිට විශ්වාසය තබමු. එහෙත් ඔබට නම් උත්ථානයක් නැත; නව ජීවනයක් ද නැතැ”යි කීවේ ය.

පිළිතුරු ගීය ගීතාවලිය 17:1, 5-6, 8, 15
පිළිතුර සමිඳුනි, මා අවදි වන කල ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.
1සමිඳාණන් වහන්ස, මාගේ මේ සාධාරණ යැදුමට සවන් දුන මැනව;
මාගේ හඬගැසීමට කන් දුන මැනව. මන්ද, මා එය පුදන්නේ අවංක සිතිනි.
පිළිතුර සමිඳුනි, මා අවදි වන කල ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.
5ඔබ පැවසූ දහම් මඟෙහි ගමන් කෙළෙමි.
ඉන් ඉවත් ව මා ඉක්ම ගියේ නැත.
6දෙවිඳුනි, ඔබ මට පිළිතුරු දෙන නිසා මම ඔබට හඬගසමි.
මා අයැදුමට කන් යොමු කළ මැනව;
මාගේ බස් ඇසුව මැනව.
පිළිතුර සමිඳුනි, මා අවදි වන කල ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.
ඔබේ ම දෙනෙත රක්නා සේ මා රැකගන්න;
ඔබ පියාපත් සෙවණෙහි සුරැකි ව මා සඟවන්න.
පිළිතුර සමිඳුනි, මා අවදි වන කල ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.
15මා දමිටු හෙයින් මම ඔබේ මුහුණ දකින්නෙමි; මා අවදි වන කල ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.
පිළිතුර සමිඳුනි, මා අවදි වන කල ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.

දෙවන කියවීම 2 තෙසලෝනික 2:16-3:5
16අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, අපට ප්‍රේම කොට සදාතන ධෛර්යයත්, යහපත් බලාපොරොත්තුවත්, වරප්‍රසාදයත් මඟින් අපට දුන් අපගේ දෙවි පියාණන් වහන්සේ ද 17ඔබගේ සිත් ධෛර්යවත් කර, සියලු යහපත් දේ කීමට ද කිරීමට ද ඔබ ශක්තිමත් කරන සේක් වා!
1අවසන්කොට, සහෝදරවරුනි, ඔබ අතර සිදු වූ ලෙස ම අන් තැන්වලත් සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ශීඝ්‍ර ලෙස පැතිරී ගොස් ගෞරවයට පැමිණෙන පිණිස, අප උදෙසා යාච්ඤා කරන්න. 2හිතුවක්කාර නපුරු මිනිසුන්ගෙන් අප ගැළවෙන පිණිස ද යාච්ඤා කරන්න. මන්ද, ඇදහීම සියල්ලන්ට ම ලැබී නැත. 3එහෙත් සමිඳාණන් වහන්සේ විශ්වාසවන්ත ය. උන් වහන්සේ ඔබ ශක්තිමත් කොට නපුරාගෙන් ඔබ ආරක්ෂා කරන සේක. 4තවද, අප ඔබට අණ කරන දේ ඔබ දැනටත්, මතුවටත් ඉටු කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ ඔබ ගැන අපට සහතිකයක් දී ඇත. 5සමිඳාණන් වහන්සේ ඔබගේ සිත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයටත්, ක්‍රිස්තුන් වහන්සේගෙන් වන ඉවසීමටත් පමුණුවන සේක් වා!


ආලේලූයියා එළිදරව්ව 1:5A, 6B
මළවුන්ගෙන් උත්ථාන වූ කුලුඳුලාත්, මිහි පිට රජුන්ගේ අධිපතියාත් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද, ඔබට කරුණාව හා ශාන්තිය වේ වා!  ඒ තැනැන් වහන්සේට, මහිමය ද බලපරාක්‍රමය ද සදහට ම වේ වා! ආමෙන්.

සුබාරංචිය ලූක් 20:27-38
27  පුනරුජ්ජීවනයක් නැතැ යි කියන සද්දුසිවරුන්ගෙන් සමහරෙක් ජේසුස් වහන්සේ වෙත අවුත්, 28 “ගුරුදේවයෙනි, යම් මිනිසෙකු භාර්යාව ජීවත් ව සිටිය දී දරුපල නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා ඒ භාර්යාව පාවාගෙන, තම සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතු යයි මෝසෙස් ලියා ඇත. 29ඉදින්, සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නොලබා මළේ ය. 30දෙවැන්නාත් තුන්වැන්නාත් ඇය පාවා ගත්හ. 31සත් දෙන ම එසේ දරුපල නොලබා මළෝ ය. 32පසුව ඒ ස්ත්‍රියත් මළා ය. 33සත් දෙනාම ඈ පාවාගත් බැවින්, පුනරුජ්ජීවනයේ දී ඈ ඔවුන්ගෙන් කවරකුගේ භාර්යාව වන්නී දැ”යි ඇසූ හ. 34ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මේ යුගයට අයත් වූවෝ ආවාහ විවාහ වන්නාහු ය; 35එහෙත් එන යුගයට හා පුනරුජ්ජීවනයට පැමිණීමට වරම් ලත් අය ආවාහ වන්නේ වත් විවාහ වන්නේ වත් නැත. 36ඉන්පසු ඔවුන්ට මරණයක් නැත. ඔව්හු දේව දූතයන්ට සම වෙති. පුනරුජ්ජීවන වරය ලත් බැවින් ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය. 37 ‘සමිඳාණන් වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ය, ඊසාක්ගේ දෙවියන් වහන්සේ ය, ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ය’යි කීමෙ‍න් මෝසෙස් පවා, පුනරුජ්ජීවනයක් ඇති බව පඳුර පිළිබඳ පාඨයෙහි පෙන්වා දී ඇත. 38උන් වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව, ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ය. මන්ද, උන් වහන්සේ උදෙසා සියල්ලෝ ම ජීවත් වෙති”යි වදාළ සේක.

Post a Comment

0 Comments