✟✯✯ ශු. ලෙනාඩ් මුනිතුමා ✯ ✯ ✟

 



මෙතුමා 11 වන ශතවර්ෂයේ බිහිවූ වාර්තාවකට අනුව, මෙරොවින්ජියන් රාජවංශයේ නිර්මාතෘ වන පළමුවන ක්ලෝවිස් රජුගේ රාජසභාවේ ප්‍රංශ ජාතික වංශාධිපතියෙකි. වර්ෂ 496 නත්තල් දිනයේදී රයිම්ස් හි රදගුරු ශු. රෙමිජියස් තුමන් විසින් රජු සමඟ මෙතුමාව ද ක්‍රිස්තියානි ආගමට හරවා ගන්නා ලදි. ඕනෑම වේලාවක තමාට සුදුසු යැයි සිතන සිරකරුවන් නිදහස් කර ගැනීමේ අයිතිය තමාට ලබා දෙන ලෙස ලෙනාඩ් ක්ලෝවිස් රජුගෙන් ඉල්ලා සිටි බව සඳහන් වේ.

මෙතුමා සිරකරුවන් කිහිප දෙනෙකු නිදහස් කර ගත් අතර, ඔහු සිරකරුවන්ගේ නාම සාන්තුවරයා බවට පත්ව  ඇත්තේ එමනිසාය. රදගුරුවරයෙක් විමට තිබූ අවස්ථාව ප්‍රතික්ෂේප කරමින් මෙතුමා ශාන්ත මෙස්මින්ගේ සහ ශාන්ත ලීගේ මඟපෙන්වීම යටතේ ඕර්ලියන්ස් අසල මිසි හි තාපසාරාමයට ඇතුළු විය. මෙතුමා පිළිබඳ පුරාවෘත්තයට අනුව ලෙනාඩ් ලිමුසා වනාන්තරයේ තාපසයකු ලෙස දිවි ගෙවන්නට පටන් ගත් අතර එහිදී මෙතුමාට අනුගාමිකයන් ගණනාවක් එක්රැස් කර ගැනීමට හැකි වී ඇත. මෙතුමාගේ යාච්ඤා මගින් ප්‍රංශයේ රැජින ආරක්ෂිතව පිරිමි දරුවෙකු මෙලොවට බිහි කළ අතර, ඊට ප්‍රතිඋපකාර ලෙස මෙතුමාට ලිමූජ්ස් සිට කිලෝමීටර් 21 ක් දුරින් වූ නොබ්ලැක් හි රාජකීය ඉඩම් පවරා දෙන ලදී. මෙතුමා විසින් එහි තාපසාරාමයක් ආරම්භ කළ අතර ඒ හේතුකොටගෙන අසල පිහිටි ගම්මානය ද වර්ධනය වන්නට පටන් ගත්තේය. මෙතුමා හට ගෞරවයක් පිණිස එම ගම්මානය ශාන්ත ලෙනාඩ්-ඩි-නොබ්ලාට් ලෙස නම් කෙරිණ.

තවත් පුරාවෘත්තයකට අනුව, සිරකරුවන් ඔවුන්ගේ සිරකුටිවල සිට මෙතුමාගේ යාච්ඤාවේ පිහිට අයැද සිටි අතර ඔවුන්ගේ ඇස් ඉදිරිපිට දම්වැල් කැඩී යන අයුරු ඔවුන් දුටුවෝය. බොහෝ දෙනෙක් පසුව මෙතුමා වෙත පැමිණ, ඔවුන්ගේ බර දම්වැල් සහ යකඩ ගෙනැවිත් ගෞරවයක් ලෙස මෙතුමාට හට පුද කළ බව කියැවේ. ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මෙතුමා සමඟ රැඳී සිටි අතර, අවංක ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට හැකි වන පරිදි කෙත්වල වෙහෙස මහන්සි වී වැඩ කිරීමට මෙතුමා සතු භූමියෙන් කොටසක් ඔවුන්ට ලබා දුන්නේය.

ක්‍රිස්තු වර්ෂ 559 වසරේදී මෙතුමා ස්වර්ගස්ථ වූ බව සැලකෙන අතර මධ්‍යතන යුගයේ අග භාගයේ සිටි වඩාත් ගෞරවයට පාත්‍ර වූ සාන්තුවරයකු බවට මෙතුමා පත් ව ඇත. 

Post a Comment

0 Comments