✟✟ 𝟚𝟘𝟚𝟚 නොවැම්බර් 27 ✟✟



පළමුවන කියවීම යෙසායා 2:1-5

1බබිලෝනිය පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය:
කාන්තාරය හරහා හමන සුළි සුළඟක් සේ භයානක දේශයකින් විනාශය පැමිණෙන්නේ ය.
2කෲරතර සිද්ධීන් පිළිබඳ දර්ශනයක් මට ප්‍රකාශ කරන ලද්දේ ය.
එය කොල්ලයත්, විනාශයත් පිළිබඳ දර්ශනයකි.
ඒලාම් හමුදාවෙනි, පහර දෙව්!
මේදිය හමුදාවෙනි, නගර වටලාගනිව්!
බබිලෝනිය විසින් ඇති කරන ලද දුක් වේදනා දෙවිඳාණෝ කෙළවර කරන සේක.
3මා දුටු සිහිනය මාගේ සිතෙහි ඉමහත් භීතියක් ද ස්ත්‍රියකට ඇතිවන ප්‍රසව වේදනාව වැනි වේදනාවක් ද ඇති කර තිබේ.
මම කන් නෑසෙන තරම් වේදනාවෙන් මිරිකී සිටිමි;
ඇස් නොපෙනෙන තරම් කැළඹී සිටිමි.
4මාගේ හිස කරකැවේ;
භීතියෙන් මම වෙවුළමි;
සවස් වන තුරු මම බලාපොරොත්තුවෙන් බලා සිටිමි.
එහෙත්, සවස් වූ විට ඇති වූයේ භීතිය පමණකි.
5භෝජන උත්සවයක් පිළියෙළ කරනු ලබන බවත්, අමුත්තන්ට අසුන් ගැනීමට බුමුතුරුණු තබන බවත්, ඔවුන් කමින් බොමින් සිටින බවත් ඒ දර්ශනයෙන් පෙනේ.
එවිට හදිසියේ ම, “නිලධාරියෙනි නැඟිටින්න, නුඹලාගේ පලිස් සූදානම් කරන්නැ”යි ආඥාවක් නික්මේ.


පිළිතුරු ගීය ගීතාවලිය 122: 1-2, 3-4, 4-5, 6-7, 8-9

පිළිතුර “දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.

1“දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.
2එම්බා ජෙරුසලම!
අපේ දෙපා තිගේ වාසල ඇතුළේ තබා තිබේ.
පිළිතුර “දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.
3එම්බා ජෙරුසලම!
මැනවින් සදා නිම කළ නුවරක් මෙන් තී ගොඩනඟන ලද්දී ය.
4ඉශ්රායෙල් සෙනඟට නියම කළ ලෙස ගෝත්‍රයෝ, සමිඳුන්ගේ ගෝත්‍රයෝ, එතුමන් නමට තුති දෙන පිණිස මෙම නගරය වෙත පැමිණෙති.
පිළිතුර “දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.
5මන්ද, සිංහාසනය, එනම්, දාවිත්ගේ සිංහාසනය සෙනඟ විනිශ්චය කරන පිණිස එහි පිහිටා තිබේ.
පිළිතුර “දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.
6ජෙරුසලමේ සාමය උදෙසා අයැදුම් පුදන්න;
තිට ප්‍රේම කරන්නෝ දියුණු වෙත් වා!
7තිගේ පවුරු තුළ සාමය බැබළේ වා!
තිගේ මාලිගා තුළ සුරැකිතාව පවතී වා!
පිළිතුර “දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.
8මාගේ නෑ මිතුරන් නිසා මම මෙසේ කියමි:
“ජෙරුසලම තුළ සාමදානය වේ වා!”
9අපේ දෙව් සමිඳුන්ගේ මාලිගාව නිසා මම තිගේ යහපත සොයන්නෙමි.
පිළිතුර “දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.

දෙවන කියවීම රෝම  13:11-14

11මේ සියල්ලෙහි දී, තීරණාත්මක කාලය පැමිණ ඇති බව සිතට ගන්න. මෙය නින්දෙන් පිබිද සිටිය යුතු වේලාව ය. මන්ද, අප ඇදහීමට පටන්ගත් කාලයට වඩා, අපේ ගැළවීම දැන් ළං වී ඇත. 12රැය බොහෝ දුරට ගෙවී ඇත. දිවා කාලය ළඟ ය; එබැවින් අන්ධකාරයේ ක්‍රියා ඉවත ලා, ආලෝකයේ අවිආයුධ පැළඳගනිමු. 13අපේ කල්ක්‍රියාව දිවා කාලයට ඔබින සේ විය යුතු යි; අශෝභන උත්සවවලින් ද මධුපානෝත්සවයෙන් ද කාම තෘෂ්ණාවෙන් ද සල්ලාලකමින් ද අඩදබර හා ඊර්ෂ්‍යාවෙන් ද වැළකී සිටිමු. 14ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නමැති සන්නාහයෙන් සන්නද්ධ වන්න. මින් මතු පසිඳුරන් පිනවන පිණිස පාප ආශාවනට ඉඩ නොදෙන්න.

ආලේලූයියා ගීතාවලිය 85:8

8දෙව් සමිඳුන් වදාරන වදනට සවන් දෙමි,
මන්ද, සිය සෙනඟට ද සැදැහැවතුන්ට ද එතුමාණන් තුළ විශ්වාසය තබන අයට ද සමිඳාණෝ සාමදානය දීමට පොරොන්දු වූ සේක.

සුබාරංචිය මතෙව් 24:37-44

 37 තවද නෝවාගේ දවස්වල සිදු වූ ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය වන්නේ ය. 38එකල, ජල ගැල්මට ප්‍රථමයෙන්, නෝවා නැවට ඇතුළු වූ දිනය දක්වා, ඔව්හු කමින් බොමින්, ආවාහ විවාහ වෙමින් කල් යැවූ හ. 39 ජල ගැල්ම පැමිණ සියල්ලන් ගසා ගෙන යන තුරු ඔව්හු කිසිවක් නොදත්හ; මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය ද එලෙස ම වනු ඇත. 40එකල මනුෂ්‍යයෝ දෙදෙනෙක් කෙතෙහි සිටිති; එක් තැනැත්තෙක් ගනු ලබන්නේ ය; අනික් තැනැත්තා හැරදමනු ලබන්නේ ය. 41ස්ත්‍රීහු දෙදෙනෙක් ඇඹරුම් ගලේ අඹරමින් සිටිති; එක් තැනැත්තියක් ගනු ලබන්නී ය; අනික් තැනැත්තිය හැරදමනු ලබන්නී ය. 42එබැවින් අවදි ව ඉන්න. ඔබගේ සමිඳාණන් වහන්සේ කිනම් දවසක එන සේක් දැ යි ඔබ නොදන්නහු ය. 43 සොරා කොයි යාමයේ එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා සිට තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න. 44එබැවින් ඔබත් සූදානම් ව සිටින්න. කුමක්නිසා ද ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණෝ වඩින සේක.”

Post a Comment

0 Comments