✟✟ 𝟚𝟘𝟚𝟚 නොවැම්බර් 24 ✟✟

 


පළමු කියවීම එළිදරව්ව 18:1-2, 21-23; 19:1-3, 9A
1ඉන්පසු තවත් දේව දුතයෙකු මහා බලයෙන් යුක්ත ව ස්වර්ගයෙන් බැස එනු දිටිමි; ඔහුගේ තේජශ්‍රීයෙන් පොළොව ඒකාලෝක විය. 2 ඔහු මහ හඬින් මොරගසා, “මහා බබිලෝනිය වැටුණා ය, මහා බබිලෝනිය වැටුණා ය. ඈ දුෂ්ටාත්මයන්ගේ වාසභවනයක් ද, සියලු අශුද්ධාත්මයන්ගේත් සියලු තුච්ඡ පිළිකුල් පක්ෂීන්ගේත් හිරගෙයක් ද වූවා ය. 
21එවිට බලසම්පන්න දේව දුතයෙක් මහා ඇඹරුම් ගලක් වැනි ගලක් ගෙන, මෙසේ කියමින්, එය මුහුදේ හෙළී ය: “මෙලෙස ඒ මහා නුවර වූ බබිලෝනිය දරුණු අයුරින් හෙළාදමනු ලබන්නේ ය. එය නැත්තට ම නැති වී යයි. 22  වීණා වාදකයන්ගේ ද ගන්ධර්වයන්ගේ ද නළාකාරයන්ගේ ද හොරණෑකාරයන්ගේ ද ගීත නාදය තී තුළ තවත් නොඇසේ; කොයි ආකාර කර්මාන්ත කාරයෙක් වත් තී තුළ තවත් දකිනු නොලැබේ. ඇඹරුම් ගලේ හඬ තී තුළ තවත් නොඇසේ. 23පහනක එළිය තී තුළ තවත් නොබැබළෙයි. මනාලයාගේත් මනාලියගේත් හඬ තී තුළ තවත් නොඇසේ. තීගේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝ ව සිටියෝ ය. තීගේ අනවිනවලින් සියලු ජාතීහු මුළා කරනු ලැබුවෝ ය.
1ඉන්පසු ස්වර්ගයේ විශාල පිරිසකගේ මහා හඬක් මට ඇසිණි. ඔව්හු මෙසේ කී හ: “අලේලූයා! විමුක්තිය ද මහිමය ද බලය ද අපගේ දෙවියන් වහන්සේට හිමි ය. 2 මන්ද, උන් වහන්සේගේ විනිශ්චය නිවැරදි ය, සාධාරණ ය, සිය වේශ්‍යාකමින් පොළොව දූෂණය කළ ප්‍රසිද්ධ වේශ්‍යාව උන් වහන්සේ විනිශ්චය කළ සේක. තමන් වහන්සේගේ මෙහෙකරුවන් මැරීම ගැන ඈට විපාක දුන් සේක.” 3 තව වරක් ඔව්හු, “අලේලූයා! ඇගේ දුම සදහට ම නගින්නේ ය”යි කී හ. 
9  එවිට දේව දූතයා මට කතා කොට: “බැටළු පෝතකයාණන්ගේ සරණ මංගල්‍ය භෝජනයට කැඳවනු ලැබුවෝ භාග්‍යවන්තයෝ ය කියා ලියන්නැ”යි කී ය. “

පිළිතුරු ගීය ගීතාවලිය 100:1B-2, 3, 4, 5

පිළිතුර  බැටළු පෝතකයාණන්ගේ සරණ මංගල්‍ය භෝජනයට කැඳවනු ලැබුවෝ භාග්‍යවන්තයෝ ය 

1මුළු පොළෝ වැසියෙනි, සමිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
2සමිඳුන් හට ප්‍රීතියෙන් වැඳ පුදා, ප්‍රීති ගී ගයමින් එතුමන් ඉදිරියට පැමිණෙන්න.
පිළිතුර  බැටළු පෝතකයාණන්ගේ සරණ මංගල්‍ය භෝජනයට කැඳවනු ලැබුවෝ භාග්‍යවන්තයෝ ය 
3සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න.
අප මැව්වේ එතුමාණෝ ය;
අපි එතුමන්ගේ ය, එතුමන්ගේ සෙනඟ ය.
එතුමන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.
පිළිතුර  බැටළු පෝතකයාණන්ගේ සරණ මංගල්‍ය භෝජනයට කැඳවනු ලැබුවෝ භාග්‍යවන්තයෝ ය 
4තුති පුදා, එතුමන්ගේ වාසල් දොරටුවලට ද තුති ගී ගය ගයා, එතුමන්ගේ මන්දිරවලට ද ඇතුළු වන්න.
පිළිතුර  බැටළු පෝතකයාණන්ගේ සරණ මංගල්‍ය භෝජනයට කැඳවනු ලැබුවෝ භාග්‍යවන්තයෝ ය 
5 මන්ද, සමිඳාණෝ යහපත් ය;
එතුමන්ගේ ප්‍රේමය ස්ථිර ය;
සදහට ම පවත්නේ ය.
පරපුරෙන් පරපුරට එතුමන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.
පිළිතුර  බැටළු පෝතකයාණන්ගේ සරණ මංගල්‍ය භෝජනයට කැඳවනු ලැබුවෝ භාග්‍යවන්තයෝ ය 

ආලේලූයියා  ලූක් 21:28

8මේ දේ සිදුවන්න පටන්ගන්නා කල ඔබේ විමුක්තිය ළං වේගන එන බැවින් නැඟී සිට හිස් ඔසවන්නැ”යි වදාළ සේක.
සුබාරංචිය ලූක් 21:20-28
20“යම් කලෙක යුද හමුදා ජෙරුසලම වටලනු ඔබ දකින්නාහු ද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න. 21එකල ජුදයෙහි වසන්නෝ කඳුකරයට පලා යත්වා; නගරය තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද ව සිටින්නෝ නුවරට, ඇතුළු නොවෙත්වා. 22 මන්ද, ලියා ඇති සියල්ල සම්පූර්ණ වන පිණිස එය විනිශ්චය දවස වන්නේ ය. 23ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි දෙන මව්වරුන්ට ද වන විපතක මහත! මන්ද, දේශය පිට දැඩි ආපදා හා වේදනා ද මේ සෙනඟ කෙරෙහි දේව සාපය ද වන්නේ ය. 24ඔව්හු කඩු මුවහතින් වැටෙන්නෝ ය; සියලු විජාතීන්ගේ රටවලට වහලුන් මෙ‍න් ගෙනයනු ලබන්නෝ ය; විදේශීන්ගේ පාලන අවදිය නිම වනතෙක් ජෙරුසලම විජාතීන් විසින් මඬිනු ලබන්නී ය.”
25  “හිරු, සඳ හා තාරකාවල ලකුණු පහළ වන්නේ ය. මුහුදේ හා රළ පතරෙහි ඝෝෂාවෙන් වන වියවුලින් ජාතීන් හට සිත් වේදනා වන්නේ ය. 26අහසේ බලවේගයන් සොලවනු ලබන බැවින්, ලෝකයට සිදුවන්න යන ආපදා ගැන බලා සිටීමෙ‍න් මිනිසුන්ගේ සිත් බියෙන් ක්ලාන්ත වන්නේ ය. 27 එකල මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයෙන් ද මහා තේජශ්‍රීයෙන් ද වලාකුළක් මත වඩිනු ඔව්හු දකින්නෝ ය. 28මේ දේ සිදුවන්න පටන්ගන්නා කල ඔබේ විමුක්තිය ළං වේගන එන බැවින් නැඟී සිට හිස් ඔසවන්නැ”යි වදාළ සේක.

Post a Comment

0 Comments