✟✯✯ ශු. කොලුම්බාන් මුනිතුමා ✯ ✯ ✟

 



ලතින් බසින් සුදු පරෙවියා යන කොලුම්බාන් උපත ලැබුවා යැයි සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 540 දී අයර්ලන්තයේ ලයින්ස්ටර් රාජධානියේ කොටසක් වන ලෙන්ස්ටර් නම් කඳුකර ප්‍රදේශයක ය. ඔහු ව්‍යාකරණ, වාග් කලාව, ජ්‍යාමිතිය සහ ශුද්ධ ලියවිල්ල පිළිබඳ මනා දැනුමක් ඇති අයෙකි. පැවිදි ජිවිතයකට යොමු වීමට යොවුන් වියේ පටන් අදහස් කළ ද ගැහැණු ළමුන්ගේ සුන්දරත්වය කෙරෙහි ආකර්ෂණයක් ඇති වූ ඔහු එය පරීක්ෂාවක් බවට තේරුම් ගත්තේය. එම පරීක්ෂාවෙන් බේරීම සඳහා ඔහු කළේ වඩ වඩාත් අධ්‍යාපනය වෙත තම සිත යොමු කිරීමය.

හුදකලාව  විසූ මහලු කාන්තාවකගෙන් උපදෙස් ලබා ගත් ඔහු තමන් ජීවත් වූ පරිසරයෙන් මිදී තවදුර අධ්‍යාපනය සඳහා ලෆ් අර්න් හී ක්ලීනිෂ් නගරයේ සිනෙල් නම් තාපසාරාමාධිපතිතුමා ළඟට ගියේය. එතුමන්ගේ උපදෙස් පරිදි ඔහු විසින් ගීතාවලිය පිළිබඳ විචාරණයක් ලියන ලදී.ඉන්පසු ඔහු උතුරු අයර්ලන්තයේ බැන්ගෝර් තාපසාරාමයට යන අතර වයස අවුරුදු 40 වන තෙක් එහි තාපසාරාමාධිපති ලෙස සේවය කළේය.

දෙවියන් වහන්සේ ආබ්‍රහමිට පැවසූ ලෙස, "තම දේශීය සහ තම පියාගේ නිවස අතහැරමා පෙන්වන දේශයට යන්න" යන වචන කෙරෙහි පිහිටා  සිටි ඔහු තවත් පැවිද්දන් දොළොස් දෙනකු සමග මහා බ්‍රිතාන්‍ය හරහා ප්‍රංශයට ලඟාවිය. එහිදී ඔහු කතෝලිකයන් ජීවත් වන බව සොයා ගත් නමුත් ඔවුන් එම ඇදහිල්ල තුළ ජීවත් නොවූ බැවින් රට පුරා වසර ගණනාවක් සංචාරය කරමින් ධර්මය දේශනා කළේ ය. ඔහුගේ නිහතමානී සහ දයානුකම්පිත ආදර්ශමත් ජීවිතය නිසා බොහෝ දෙනා නැවත ධර්මය පිළිපදින්නට පටන් ගත්තේය.

එතුමන් තමන්  හා දහම් සේවයේ නියුතු අය සමග ඉතා සරල ජීවිතයක් ගත කළේ ගස යට විවේක ගනිමින් ගස් පොතු වර්ග, ඖෂධ පැලෑටි, පළතුරු සහ මිනිසුන් ලබාදෙන දානය වළඳමින් ය. තම සගයින්ගෙන් වෙන්ව හුදකලාව ද කැලයට වැදී  එතුමන් භාවනාවෙන් කල් ගත කළේය. වයස්ගත ගතවූ පසුව එතුමන් ට්‍රෙබ්බියා ගං ඉවුර අද්දර තාපසාරාමයට ගියවිට පර්වතයක ගුහාවක් හමු වී එය කන්‍යා මරිය මාතාවන්ට  කැප කළ දෙව්මැදුරක් බවට පත් කළේය.එහිදී ඔහු තම අවසන් කාලය යාඥාවෙන් ගත කළ අතර ක්‍රිස්තු වර්ෂ 615 නොවැම්බර් 21 වන දින සගලොව දිනාගත්තේය. 

Post a Comment

0 Comments