✟✟ 𝟚𝟘𝟚𝟚 නොවැම්බර් 17 ✟✟

 


 පළමු කියවීම  එළිදරව්ව  5:1-10

1  එවිට ඇතුළත හා පිටත ලියන ලද, මුද්‍රා සතකින් මුද්‍රා තැබූ පොතක් සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේගේ දකුණතෙහි තිබෙනු දිටිමි. 2“ඒ පොත දිග අරින්නටත්, මුද්‍රා කඩන්නටත් සුදුස්සා කවරෙක් දැ”යි කියමින් මහ හඬින් හඬගසන බලවත් දේව දූතයෙකු දිටිමි. 3එහෙත් ඒ පොත දිග හරින්නට වත්, එය බලන්නට වත් හැකි කිසිවෙක් ස්වර්ගයෙහි වත්, මිහි පිට වත්, පොළොවෙන් යට වත් නොසිටියේ ය. 4පොත දිග අරින්නට වත්, එය බලන්නට වත්, සුදුසු කිසිවෙකු හමු නො වූ බැවින් මම බොහෝසේ හැඬුවෙමි. 5 එවිට එක් කුලදෙටුවෙක් මට කතා කර, “නාඬන්න, පොත ඇරීමේ සහ එහි මුද්‍රා සත කැඩීමේ වරම දාවිත්ගේ පෙළපතින් පැවත එන ජුදා ගෝත්‍රයේ සිංහයාණෝ දිනාගත්හ”යි මට කී ය.
6  එවිට සිංහාසනය ද ජීවමාන සත්ත්වයන් සතර දෙනා ද කුලදෙටුවන් ද මධ්‍යයෙහි මරනු ලැබුවාක් මෙන් පෙනුණු බැටළු පෝතකයෙකු සිටිනු මම දිටිමි. ඒ බැටළු පෝතකයාට අං සතක් ද ඇස් සතක් ද විය. ඇස් සත නම්, ලොව පුරා යවනු ලැබූ දෙවියන් වහන්සේගේ ආත්මයෝ සත් දෙනා ය. 7බැටළු පෝතකයාණෝ අවුත් සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේගේ දකුණතින් පොත ගත්හ. 8 එසේ පොත ගත් කල ජීවමාන සත්ත්වයෝ සතර දෙනා හා කුලදෙටුවෝ විසිසතර දෙනා, එකිනෙකා වීණාවක් ද, සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍ර ද රැගෙන බැටළු පෝතකයාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය. ඒ සුවඳ ද්‍රව්‍ය නම් සැදැහැවතුන්ගේ යාච්ඤා ය.
9  ඔව්හු මේ අලුත් ගීතය ගායනා කළහ:
“පොත ගන්නටත් එහි මුද්‍රා කඩන්නටත් සුදුසු තැනැන් වහන්සේ ඔබ ය.
මන්ද, ඔබ මරනු ලැබ, ඒ මරණය නමැති මිලයෙන් සියලු ගෝත්‍රවලින් ද භාෂාවලින් ද ජනයාගෙන් ද ජාතීන්ගෙන් ද මිනිසුන්, දෙවියන් වහන්සේ උදෙසා ලබාගත් සේක.
10  අපගේ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබ ඔවුන් රාජකීය පූජක වංශයක් කළ සේක;
ඔව්හු මිහි පිට රජකම් කරන්නාහ,”

පිළිතුරු ගීය ගීතාවලිය 149:1B-2, 3-4, 5-6A AND 9B

පිළිතුර -  අපගේ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබ ඔවුන් රාජකීය පූජක වංශයක් කළ සේක;
1සමිඳුන් පසසන්න.
සමිඳුන්ට නව ගීතිකාවක් ද සැදැහැවතුන්ගේ සභාවේ දී එතුමන්ගේ පැසසුම් ද ගායනා කරන්න.
2තමන් මැවූ තැනැන් වහන්සේ කෙරෙහි ඉශ්රායෙල් ප්‍රීති වෙත් වා!
තමන්ගේ රජුන් කෙරෙහි සියොන්හි දරුවෝ ප්‍රීතිමත් වෙත් වා!
පිළිතුර -  අපගේ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබ ඔවුන් රාජකීය පූජක වංශයක් කළ සේක;
3එතුමන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත් වා!
රබන් ගසා, වීණා වයා එතුමන්ට පසස් ගී ගයත් වා!
4සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක.
දීනයන් ජය සිරියෙන් සරසන සේක.
පිළිතුර -  අපගේ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබ ඔවුන් රාජකීය පූජක වංශයක් කළ සේක;
5සැදැහැවත්තු මහිමයෙන් යුක්ත ව ප්‍රීති වෙත් වා!
මුළු රෑ එතුමන් නමදිමින් ප්‍රීතියෙන් ගායනා කරත් වා!
6දෙමුවහත් කඩුවක් අතට ගනිත් වා!
සිය මුවින් සමිඳුන්ට පැසසුම් කරත් වා!
පිළිතුර -  අපගේ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබ ඔවුන් රාජකීය පූජක වංශයක් කළ සේක;
මේ ගෞරවය එතුමන්ගේ සියලු සැදැහැවතුන්ට ඇත්තේ ය.
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
පිළිතුර -  අපගේ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබ ඔවුන් රාජකීය පූජක වංශයක් කළ සේක;
ආලේලූයියා   95:8
 “පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න.
සුබාරංචිය ලූක් 19:41-44

41උන් වහන්සේ අගනුවරට ළඟා වී එය දුටු විට නුවර ගැන හඬමින් මෙ‍සේ වදාළ සේක: 42“අහෝ, ඔබට ශාන්තිය සලසන දේ ගැන මේ උදාර දිනයේ දී වත් ඔබ දැන සිටියා නම්! එහෙත් එසේ නො වී ය, එය ඔබේ දෙනෙතින් සැඟවී ඇත. 43ඔබේ සතුරන් බලකොටු තනා, ඔබ සිසාරා, සතර දිගින් ඔබ වටලන දවස් පැමිණෙන්නේ ය. 44ඔව්හු ඔබ ද ඔබ තුළ සිටින දරු කැල ද පොළොවේ ගසා, ගලක් පිට ගලක් තිබෙන්ට ඉඩ නාරින්නෝ ය. මන්ද, දෙවියන් වහන්සේ ඔබ ගළවන්නට පැමිණි දවස ඔබ නොදත් හෙයිනි.”

Post a Comment

0 Comments