✟✟ 𝟚𝟘𝟚𝟚 නොවැම්බර් 13 ✟✟

 


  පළමු කියවීම  මලාකි   3:19-20A

සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උඩඟු අය ද නපුරු අය ද පිදුරු පෝරණුවක දැවෙන්නාක් මෙන් දැවී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී කිසිවෙක් ඉතිරි නොවන සේ දැවී යන්නෝ ය. එහෙත්, මාගේ නාමයට ගරුබිය දක්වමින්, ජීවත්වන නුඹලාට ධර්මිෂ්ඨකම නමැති සූර්යයා සිය රැස්වල සුවසහනය ඇති ව උදාවන්නේ ය. ගාලෙන් පිට වී දුව පැන යන වහු පැටවුන් මෙන් නුඹලා ප්‍රීති වන්නහු ය. මා ක්‍රියා කරන්න යන දවසේ දී නුඹලා දුෂ්ටයන් පාගාදමන්නහු ය. ඔව්හු නුඹලාගේ පාද යට ධූලි මෙන් වන්නෝ ය.

පිළිතුරු ගීය ගීතාවලිය98:5-6, 7-8, 9

පිළිතුරසමිඳාණෝ මිහිතලය පාලනය කරන පිණිස වඩින සේක;
5වීණාව වයමින් සමිඳුන්ට ගී ගයන්න;
වීණාවෙන් ද ගී නාදයෙන් ද ප්‍රශංසා කරන්න.
6හොරණෑ හා නළා හඬින් ද රජාණන් වන සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයන්න.
පිළිතුරසමිඳාණෝ මිහිතලය පාලනය කරන පිණිස වඩින සේක;
7මුහුද ද එහි ඇති සියල්ල ද ගර්ජනා කෙරේ වා!
ලෝකය ද එහි වැසියෝ ද ගී ගයත් වා!
8ගංගා අත් පොළසන් දේ වා!
කඳු හෙල් එක් ව සමිඳුන් හට ප්‍රීති නාද දේ වා!
පිළිතුරසමිඳාණෝ මිහිතලය පාලනය කරන පිණිස වඩින සේක;
9මන්ද, සමිඳාණෝ මිහිතලය පාලනය කරන පිණිස වඩින සේක;
එතුමාණෝ ලෝ වැසියන් ධර්මිෂ්ඨකමින් ද සාධාරණකමින් ද පාලනය කරන සේක.
පිළිතුරසමිඳාණෝ මිහිතලය පාලනය කරන පිණිස වඩින සේක;
දෙවන කියවීම 2 තෙසලෝනික 3:7-12
7අපේ ආදර්ශය ඔබ අනුගමනය කළ යුත්තේ කෙසේ දැ යි ඔබ ම දන්නහු ය. අප ඔබ අතර අලසකමින් හැසුරුණේ නැත. 8අපි කිසිවෙකුගෙන් පිනට කෑම නොකෑවෙමු. ඔබෙන් කිසිවෙකුට බරක් නො වන පිණිස, අපි වෙහෙස මහන්සියෙන් දිවා රෑ දෙක්හි වැඩ කළෙමු. 9අප මෙය කෙළේ ඔබෙන් ආධාර ලැබීමට අපට අයිතියක් නැති නිසා නොව, අනුගමනය කිරීම සඳහා ඔබට ආදර්ශයක් දෙන පිණිස ය. 10“වැඩ නොකරන්නෝ ආහාර නොවළඳත් වා”යි අපි ඔබ අතර සිටිය දී පවා ඔබට අණ කෙළෙමු. 11ඔබෙන් සමහරෙකු කිසි වැඩක් නොකර, අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසමින් අලසකමින් හැසිරෙන බව අපට සැළ වී ඇත. 12එබඳු අය සන්සුන් ලෙස වැඩ කොට, සිය දිවි පෙවෙත උපයාගන්නා ලෙස ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අණ දී අවවාද කරමු.
ආලේලූයියා ලූක් 21:28
28 මේ දේ සිදුවන්න පටන්ගන්නා කල ඔබේ විමුක්තිය ළං වේගන එන බැවින් නැඟී සිට හිස් ඔසවන්නැ”යි වදාළ සේක.
සුබාරංචිය ලූක් 21:5-19
5සමහරුන් දේව මාලිගාව ගැන කතා කරමින්, එය මනහර ගලින් හා පූජා වස්තුවලින් ද සරසා තිබෙන නියාව පැවසූ විට උන් වහන්සේ කතා කොට, 6“ඔබට පෙනෙන මේ දෙය, ගලක් පිට ගලක් ඉතිරි නොවන සේ බිඳ දමනු ලබන කාලයක් පැමිණෙන්නේ ය”යි වදාළ සේක.
පීඩාවල පෙර නිමිති
(මතෙ 24:3-14මාක් 13:3-13)
7“ගුරුදේවයෙනි, ඒ දෙය කවර කලෙක වන්නේ ද? ඒ පිළිබඳ පෙර ලකුණු කවරේ දැ”යි ඔව්හු උන් වහන්සේගෙන් ඇසූ හ. 8උන් වහන්සේ කතා කොට, “මුළා නොවෙන්ට බලාගන්න; කුමක් නිසා ද මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වී ‘ඒ මම ය, නියමිත මොහොත පැමිණ ඇතැ’යි කියන්නෝ ය; ඔවුන් අනුව නොයන්න. 9යුද්ධ සහ විප්ලව ගැන ආරංචි වන විට, භයින් ත්‍රස්ත නොවන්න; මන්ද, මේ දේවල් පළමුකොට සිදුවිය යුතු ය; එහෙත් අවසානය එකෙණෙහි ම නොපැමිණෙන්නේ ය”යි වදාළ සේක.
10එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟිටිනු ඇත. 11මහා භූමිකම්පා ද නොයෙක් තැන්වල සාගත හා වසංගත ද වන්නේ ය; ත්‍රාසජනක දර්ශන ද පුදුම ලකුණු ද අහසෙහි වන්නේ ය. 12එහෙත් ඒ සියල්ලට පෙර, මාගේ නාමය නිසා ඔව්හු ඔබ අල්ලාගෙන, ධර්මශාලාවටත්, හිර ගෙවලටත් ඔබ පාවාදෙමින්, ඔබට පීඩා කරන්නෝ ය; ඔබ රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙන යන්නෝ ය. 13ඔබට එය සාක්ෂි දැරීමේ අවස්ථාවක් වන්නේ ය. 14 ඔබ වගඋත්තර දිය යුත්තේ කෙසේ දැ යි කල් තියා සූදානම් නොවන්නට සිතට ගන්න. 15මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි. 16දෙමවුපියන්, සහෝදරයන් හා නෑ මිතුරන් විසින් ම ඔබ පාවා දෙනු ලබන්නහු ය; ඔව්හු ඔබගෙන් සමහරෙකු මරණයට පත් කරන්නෝ ය. 17මාගේ නාමය නිසා සියල්ලෝ ම ඔබට වෛර කරන්නෝ ය. 18එහෙත් ඔබගේ කෙස් ගහක් පමණ වත් නාස්ති නොවන්නේ ය. 19ස්ථීර ව සිටීමෙ‍න් ඔබ ජීවනය දිනා ගන්නහු ය.”


Post a Comment

0 Comments