꧁☆༒☬✟✟ 2022 ඔක්තෝබර් 28 ✟✟☬༒☆꧂

  


ළමුවන කියවීම එපීස   2:19-22

19එබැවින් ඔබ තවත් විදේශිකයෝ වත්, ආගන්තුකයෝ වත් නොව, ශුද්ධ වන්තයන් සමඟ සහකාර පුරවැසියෝ ද දෙවියන් වහන්සේගේ පවුලේ දූදරුවෝ ද වෙති. 20ඔබ ප්‍රේරිතයන්ගේ ද, දිවැසිවරයන්ගේ ද අත්තිවාරම පිට ඉදි කරනු ලැබ සිටින්නහු ය. එහි කොණේ ප්‍රධාන ගල නම් ක්‍රිස්තුන් වහන්සේ ම ය. 21උන් වහන්සේ තුළ මුළු ගොඩනැඟිල්ල ඒකාබද්ධ ව, සමිඳාණන් වහන්සේ තුළ ශුද්ධ මන්දිරයක් සේ වර්ධනය වන්නේ ය. 22උන් වහන්සේ තුළ ඔබත්, ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ වාසස්ථානය සඳහා එක් කොට ගොඩනඟනු ලැබේ.

පිළීතුරු ගීය ගීතාවලිය 19:2-3, 4-5

පිළීතුර  ඒ පණිවුඩය ලොව පුරා පැතිරී යන්නේ ය.
2එක් දිනක් තව දිනකට මෙපුවත කියන්නේ ය;
එක් රැයක් තව රැයකට එය ම පවසන්නේ ය.
3කතාවක්, වදනක්, කිසියම් හඬක් ඇසෙන්නේ නැති වුව ද ඒ පණිවුඩය ලොව පුරා පැතිරී යන්නේ ය.
පිළීතුර  ඒ පණිවුඩය ලොව පුරා පැතිරී යන්නේ ය.
4 එය දියත දසත විහිදී යයි, දෙවි තුමාණෝ හිරුට එහි මණ්ඩපයක් සාදා දුන් සේක.
5මඟුල් පෝරුවකින් බැස එන මනාලයෙකු ලෙසින්, ප්‍රීතියෙන් තරඟයට අරඅඳින වීර ධාවකයෙකු විලසින්,
6හිරු රජිඳාණෝ අහසේ කොණකින් උදා වී අනික් කොණින් චාරිකාව නිම කරති.
එහි රස්නය නොවදින තැනක් නැත්තේ ය.
පිළීතුර  ඒ පණිවුඩය ලොව පුරා පැතිරී යන්නේ ය.

ආලේලූයියා 
සුබාරංචිය ලූක් 6:12-16
12තවද, ඒ දවස්වල දී උන් වහන්සේ යාච්ඤා කරන පිණිස කන්දකට නැඟී දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් මුළු රැය ගෙවූ සේක. 13පහන් වූ කල උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා, ඔවුන් අතරෙන් දොළොස් දෙනෙකු තෝරාගෙන, ඔවුන්ට ප්‍රේරිතයෝ යයි නම් තැබූ සේක. 14ඔව්හු කවුරු ද යත්: උන් වහන්සේ විසින් පේදුරු යයි නම් කරන ලද සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද ජාකොබ් සහ ජොහන් ද පිලිප් සහ බර්තොලමෙව් ද 15මතෙව් සහ තෝමස් ද අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ අන්ත ජාතිවාදියා යි නම් ලත් සීමොන් ද 16ජාකොබ්ගේ පුත් ජූදස් සහ පසුව දෝහියා වූ ජූදස් ඉස්කාරියොත් ද යන මොවුහු ය.

Post a Comment

0 Comments