✟✯ ශු. ෆෘමෙන්ටියස් මුනිතුමා ✯ ✟

 


මෙතුමා උපත ලබන්නේ ක්‍රිස්තු වර්ෂ හතර වන ශත වර්ෂයේ එවකට නැගෙනහිර අධිරාජ්‍යයට අයත් වූ වර්තමානයේ ලෙබනන් දේශයේ තීර් නම් නගරයේ ය. මෙතුමා සහ ඔහුගේ සහෝදරයා වූ එඩේසියස් තම මාමා වූ මෙරෝපියුස් සමග ඉතියෝපියාවට යන ගමනක් අතරතුර ඔවුන්ගේ නෞකාව රතු මුහුදේ එක් වරායක නතර වූ විට, ප්‍රදේශවාසීන් මුළු කාර්ය මණ්ඩලයම සමූල ඝාතනය කළ අතර ඉතිරි වූ මේ කුඩා පිරිමි ළමුන් දෙදෙනා ඇක්සුම් රජුගේ වහලුන් ලෙස ගෙන ගියහ.

පිරිමි ළමුුුන් දෙදෙනා වැඩි කල් නොගොස් රජුගේ ප්‍රසාදය දිනා ගන්නා ලදි. රජු ඔහුගේ මරණයට ටික කලකට පෙර මොවුන්ව නිදහස් කරන ලදි. කෙසේවෙතත්, වැන්දඹු බිසව ඔවුන් දෙදෙනාට තවදුරටත් රැඳී සිටිමින් රජ කිරුළ හිමි තරුණ ඒසානාගේ අධ්‍යාපනය සඳහා සහය වන ලෙස සහ කුමරුගේ තරුණ සමයේ රාජධානියේ පරිපාලනය සඳහා ඇයට සහය වන ‌ලෙස මොවුන්ගෙන් ඉල්ලා සිටියාය.

එම ඉල්ලීම පිළිගත් ඔවුන් දෙදෙනා එහි රැඳී සිටි අතර ක්‍රිස්තියානි ධර්මය ව්‍යාප්ත කිරීමට එය අවස්ථාවක් කර ගන්නා ලදි. පළමුවෙන්ම ඔවුන් රට තුළ සිටින ක්‍රිස්තියානි වෙළෙන්දන්ට තම ඇදහිල්ල විවෘතව පිළිපැදීමට උනන්දු කළ අතර, රෝම පිළිවෙත්වලට අනුව යාච්ඤා කිරීම සඳහා එකට එක්විය හැකි ස්ථාන සොයා ගැනීමට  උදව් උපකාර කරන ලදි.

කුමාරයා නිසි වයසට පැමිණි පසු එඩේසියස් නැවත තීර් වෙත පැමිණ එහි නැවතී පූජකයෙකු ලෙස සේවය කරන ලදි. ඉතියෝපියාවේ සේවය කිරීමට උනන්දුවෙන් සිටි ෆෘමෙන්ටියස් තම සහෝදරයා සමඟ ඇලෙක්සැන්ඩ්‍රියාව දක්වාම ගිය අතර, එහිදී ඇලෙක්සැන්ඩ්‍රියාවේ අගරදගුරු වූ අතනාසියුස් තුමන්ගෙන් ඉල්ලා සිටියේ රදගුරුතුමකු සහ පූජකවරුන් පිරිසක් ධර්මදූතවරුන් ලෙස ඉතියෝපියාවට එවන ලෙසය. අතනාසියුස් අගරදගුරුතුමන්ගේ අවබෝධය තුළ ෆෘමෙන්ටියස් මෙම දූත මෙහෙවර සඳහා වඩාත් සුදුසු පුද්ගලයා යැයි විශ්වාස කළ අතනාසියස් රදගුරුතුමා ඔහුව රදගුරුතුමකු ලෙස නම් කළේය.

ෆෘමෙටියස් රදගුරුතුමෙක් ලෙස නැවත ඉතියෝපියාවට පැමිණ තම දූත මෙහෙවර ආරම්භ කරමින් ඇක්සුම් හි අගරදගුරු පදවිය පිහිටුවා, පසුව ඒසානා රජුගේ සිත හරවා ඔහුව බව්තීස්ම කළේය. ඔහු දේවස්ථාන ඉතියෝපියාව පුරා ගොඩනඟා ක්‍රිස්තියානි ධර්මය ව්‍යාප්ත කළේය. එතුමා විසින් ඉතියෝපියාවේ පළමු තාපසාරාමය ආරම්භ කරන ලදි. ජනතාව මෙතුමාව 'ආලෝකය හෙළිදරව් කරන්නා' සහ 'සාමයේ පියා' ලෙස හදුන්වන ලදි. මෙතුමා ක්‍රිස්තු වර්ෂ 383 දී ස්වර්ගස්ථ වූ බව වාර්තා වේ.

Post a Comment

0 Comments