✟✯✯ සාන්ත වෙන්සෙස්ලාවුස් මුනිතුමා✯ ✯ ✟

 


සැප්තැම්බර් 28 වන දින සාන්ත සභා මාතාව බොහීමියාවේ කතෝලික ඇදහිල්ල ශක්තිමත් කිරීමට උත්සාහ කරමින් සිටියදී තම සහෝදරයා අතින් මියගිය මධ්‍යම යුරෝපීය පාලකයෙකු වූ ශාන්ත වෙන්සෙස්ලාවුස්  මුනිතුමා සිහි කරනු ලබයි.

2009 චෙක් ජනරජයේ ධර්මදූත චාරිකාවක නිරත වූ 16 වන බෙනඩික්ට් පාප්තුමා එහිදී ඔවුන්ගේ රටේ නාම සාන්තුවරයා හැඳින්වූයේ "ලෞකික බලය අත්පත් කර ගැනීමට වඩා ස්වර්ග රාජ්‍යයට කැමති වීමට ධෛර්යය තිබූ ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් දිවි පිදූවෙකු "ලෙස ය.

මෙතුමා උපත ලබන්නේ ක්‍රි.ව. 903 දී පමණ ය.ඔහුගේ පියා ඩේවිස් වර්තිස්ලාවුුුස් කතෝලිකයෙකු වූ නමුත් ඔහුගේ මව ඩ්‍රැහෝමීරා කුමරිය ස්වදේශික මිථ්‍යාදෘෂ්ටික ආගම ඇදහීය. පසුව සාන්තුවරභාවයට එසවුණු  වෙන්සෙස්ලාවුස් සහ ඔහුගේ මිත්තණිය වූ ලුඩ්මිලා දෙදෙනාගේම මිනීමැරුම් පසුව සංවිධානය කරන ලද්දේ මෙතුමාගේ මව වූ ඩ්‍රැහෝමීරා කුමරිය විසිනි.

යොවුන්  වි‌යේදී, වෙන්සෙස්ලාවුස් ඔහුගේ පියාගේ හොඳ ආදර්ශයට අමතරව මිත්තණිය වූ ලුඩ්මිලාගෙන් දැඩි ආගමික අධ්‍යාපනයක් ලබා ගත්තේය. බොහිමීයාවේ ප්‍රාග් අසල විද්‍යාලයට ඇතුළත් වෙමින් ඔහු අධ්‍යාත්මික  වශයෙන් සැලකිය යුතු දියුණුවක් ලබමින් යහපත් ජීවන රටාවක් පවත්වාගෙන ගියේය. නමුත් ඔහුගේ පියා වූ වර්තිස්ලාවුස්ගේ අභාවයත් සමඟම මෙතුමාට අධ්‍යාත්මික හා දේශපාලන අර්බුදයන්ට මුහුණ දීමට සිදු විය.

කතෝලික ආගම කිසි දිනෙක පිළි නොගත් ඔහුගේ මව ඩ්‍රැහෝමීරා  කුමරිය මෙතුමාට මුළුමනින්ම විරුද්ධ විය.  ඇය ආගම විනාශ කිරීමේ අවස්ථාවක් ලෙස ඇගේ සැමියාගේ මරණය ආයුධයක් කොට ගත්තාය. දේවස්ථාන වසා දැමීම සහ විශ්වාසය පිළිබඳ ඉගැන්වීම වැළැක්වීම, පොදු උත්සව තහනම් කිරීම ආදී ක්‍රමවේද ඇය ක්‍රියාත්මක කළාය.

ඩ්‍රැහෝමීරා කුමරියගේ නැන්දම්මා වූ ලුඩ්මිලා මෙතුමාට ඔහුගේ මවගෙන් බලය ලබාගෙන ඔවුන්ගේ කතෝලික විශ්වාසය ආරක්ෂා කරන ලෙස බල කරන ලදී. ඔහු එසේ කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලය වූයේ රට දෙකට බෙදීමයි: එක් කොටසක් ලුඩ්මිලාගේ උපදෙස් මත වෙන්ස්ස්ලෝස් විසින් පාලනය කරන ලද අතර අනෙක් කොටස පාලනය කරන ලද්දේ වෙන්සෙස්ලාවුස් බාල සොහොයුරු වූ බොලෙස්ලාවුස් ය. ඔහුගේ මව ක්‍රිස්තියානි ඇදහිල්ලට ඇති තම වෛරය තම බාල පුුුුතුට ද අවශෝෂණය කළාය.

ආදිපාදවරයෙක් නොව තාපස පූජකයෙක් වීමට කැමති ව සිටි මෙතුමා දැඩි යාච්ඤා ජිවිතයක් ගත කළ අතර තාපස ජීවිතය, දිළිඳුබව මෙන්ම සහ ව්‍රත ශුද්ධිය පිළිබඳ ලබා ගත් පොරොන්දුවක් තුළින් ශක්තිමත් විය. මේ අතර, ඔහුගේ මව ඩ්‍රැහෝමීරා කුමරිය ඇගේ පෞද්ගලික දේවස්ථානයේදී බෙල්ල මිරිකා ලුඩ්මිලා මරා දැමීමට කුමන්ත්‍රණයක් දියත් කළාය. (සාන්ත ලුඩ්මිලාගේ මංගල්‍යය සැප්තැම්බර් 16වන දින සමරනු ලබයි)

මෙතුමාට රට තුළ ඇතිව තිබූ අර්බුදවලට අමතරව විදේශ ආක්‍රමණවලට ද මුහුණ දීමට සිදුවිය. එවන් ආක්‍රමණයක දී යුද්ධය වළක්වා ගැනීමේ අරමුණින් වෙන්සෙස්ලාවුස් ක්‍රියා කරන විට දේවදූතයන් දෙදෙනෙක් පෙනී සිට මෙතුමාව ආරක්ෂා කළ බව කියැවේ. 

මෙතුමා ශුද්ධ රෝම අධීරාජ්‍යයා වූ පළමුවන ඔට්ටෝ රජතුමා හරහා සාන්තුවරයන්ගේ ධාතුන් ලබා ගෙන ඒවා ට ගෞරව කළ අතර පළමුවන ඔට්ටෝ අධිරාජ්‍යයා විසින් මෙතුමාට ''වෙන්සෙස්ලාවුස් රජු'' යන නාමය ලබා දුන්න ද මෙතුමාගේ රටේ සිටි සමහර රදලයන් මෙතුමාට ‌ගරු නොකොට මෙතුමාගේ සහෝදරයාගේ සහ මවගේ පාර්ශවයට සහය දක්වන ලදි. 

මෙතුමාගේ සොහොයුරා සාමය ඇති කරන්නෙකු ලෙස පෙනී සිටීමට උත්සහ කළ අතර, උත්සවයක් සඳහා රජුට තම රාජධානියට ආරාධනා කළේය. සංචාරය අතරතුර වෙන්‌සෙස්ලාවුස් දේවස්ථානයේ යාච්ඤා කරමින් සිටියදී සොහොයුරාගේ මිතුරන් මෙතුමාට පහර දී තුවාල සිදු කරන ලදි. අවසානයේ දී බොලෙස්ලාවුස් විසින්ම අවසන් පහර මෙතුමාට එල්ල කර මෙතුමා මරා දැමීය. මෙතුමා ක්‍රි.ව. 935 සැප්තැම්බර් 28 වන දින මිය ගියේය.

පළමුවන ඔට්ටෝ අධිරාජ්‍යයා මෙතුමාගේ ඝාතනයට ප්‍රතිචාර දැක්වූයේ බොහීමියාව ආක්‍රමණය කර වසර ගණනාවක් බොලෙස්ලාවුට එරෙහිව යුද්ධ කිරීමෙනි. අධිරාජ්‍යයා බොහීමියාව යටත් කර ගැනීමට සමත් වූ අතර බොලෙස්ලාවුස් සහ ඔහුගේ මව ගත් කතෝලික විරෝධී පියවර ආපසු හැරවීම සිදු  කළේය.

මෙතුමාගේ ඝාතනයෙන් පසුව මියගිය මෙුමාගේ මව වූ  ඩ්‍රැහෝමීරා කුමරිය තම පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීම ගැන කිසි විටෙක පසුතැවිලි වූ බවට සාක්ෂි නොමැත. කෙසේ වෙතත්, බොලෙස්ලාවුස්  තම සොහොයුරාගේ සොහොනෙහි සිදු වන හාස්කම් ගැන දැනගත් විට ඔහුගේ පාපය ගැන පසුතැවිලි විය. ඔහු තම ‌සොහොයුරාගේ දේහයට ගෞරව කිරීම සඳහා ආසන දෙව්මැදුරකට ගෙන ගොස් තැන්පත් කරන ලද බව කියැවේ. 

Post a Comment

0 Comments