꧁☆༒☬✟✟ 2022 සැප්තැම්බර් 29 ✟✟☬༒☆꧂

 


   පළමුවන කියවීම දානියෙල්  7:9-10, 13-14 හෝ එළිදරව්ව 12:7-12AB

9මා බලාසිටින අතර සිංහාසන පිහිටුවා, පුරාතන කෙනෙක් වාඩිවුණේය. උන්වහන්සේගේ වස්ත්‍ර හිම මෙන් සුදුව තිබුණේය, උන්වහන්සේගේ හිසකේ පිරිසිදු ලොම් මෙන්ය; උන්වහන්සේගේ සිංහාසනය ගිනිදළුවක්ය, ඒකේ චක්‍ර ඇවිළෙන ගිනිය. 10ගිනිමය ගංගාවක් උන්වහන්සේ ඉදිරියෙන් ගලාගන ගියේය. දහසක් වර දහස් දෙනෙක් උන්වහන්සේට සේවයකළෝය, දස දහසක් වර දසදහස් දෙනෙක්ද උන්වහන්සේ ඉදිරියේ සිටියෝය. විනිශ්චයකාර සභාව හිඳගත්තාය, පොත්ද දිග අරිනලද්දේය. 

13මම රාත්‍රි දර්ශනවලදී දුටිමි: බලව, අහසේ වලාකුල් සහිත මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක් ඇවිත් පුරාතන තැනන්වහන්සේ වෙතට පැමින්නේය, ඒ තැනන්වහන්සේ ඉදිරියට උන්වහන්සේ පමුණුවනු ලැබූසේක. 14සියලු ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද උන්වහන්සේට සේවයකරන පිණිස ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද උන්වහන්සේට දෙනලද්දේය. උන්වහන්සේගේ ආණ්ඩුව පහ නොවන සදාකාල ආණ්ඩුවක්ය, උන්වහන්සේගේ රාජ්‍යයද නැති නොවන්නේය.
එළිදරව්ව 12:7-12AB
7 තවද ස්වර්ගයෙහි යුද්ධයක් විය. මිකායෙල් හා ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධ ව සටන් කළහ. 8මකරා ද තමාගේ දූතයන් පිරිවරා සටන් කොට පරාජය විය. ඔවුන්ට ස්වර්ගයෙහි තැනක් තවත් නො වී ය. 9මහා මකරා පලවා හරින ලදී. ඔහු නම් මුළු ලොව රැවටූ යක්ෂයා හෙවත් සාතන් යයි නම් ලත්, ආදි සර්පයා ය. ඔහු සමඟ ඔහුගේ දූතයෝ ද පොළොවට හෙළනු ලැබුවෝ ය.
10  ඉන්පසු ස්වර්ගයෙහි මෙසේ කියන මහ හඬක් මට ඇසිණි; එනම්, “අපේ දෙවියන් වහන්සේගේ ගැළවීම ද බලය ද රාජ්‍යය ද ස්වකීය ක්‍රිස්තුන් වහන්සේගේ අධිපතිකම ද දැන් පැමිණ ඇත. මන්ද, අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි දිවා රෑ දෙක්හි අපගේ සහෝදරයන්ට චෝදනා කරන පැමිණිලිකාරයා පහතට හෙළන ලදි. 11ඔව්හු බැටළු පෝතකයාණන්ගේ යාගික රුධිරය නිසා ද, තමන් සාක්ෂි දැරූ පණිවුඩය නිසා ද ඔහුගෙන් ජය ගත්තෝ ය. මන්ද, ඔව්හු මරණයට වත් බිය නොවී දිවි දීමට සූදානම් ව සිටියහ. 12එබැවින් ස්වර්ගයෙනි, එහි වැසියෙනි, ප්‍රීති සන්තෝෂ වන්න. අහෝ! පොළොවටත් මුහුදටත් වන විපත! මන්ද, යක්ෂයා තමාට වැඩි කලක් නැති බව දැන, කෝපාවිෂ්ට ව, ඔබ වෙත බැස ගියේ ය” යනු යි.

පිළිතුරු ගීය ගීතාවලිය 138:1-2AB, 2CDE-3, 4-5

පිළිතුර - සමිඳාණන් වහන්ස, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි.

1සමිඳාණන් වහන්ස, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි.
දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි.
2ඔබේ ශුද්ධ මාලිගාව දෙස බලා නමස්කාර කරමින් ඔබේ කරුණා ගුණය සහ විශ්වාසවන්තභාවය නිසා ඔබේ නාමයට තුති පුදන්නෙමි.
පිළිතුර - සමිඳාණන් වහන්ස, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි.
ඔබේ නාමයත්, ආඥාත් උත්තරීතර බව ඔබ පෙන්වූ සේක.
3මා ඔබ යැදි දවසේ දී ඔබ මට පිළිතුරු දුන් සේක;
මාගේ සිත සවි කොට, මට ධෛර්යය දුන් සේක.
පිළිතුර - සමිඳාණන් වහන්ස, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි.
4සමිඳුනි, මෙලොව සියලු රජවරු ඔබේ පොරොන්දු ඇසූ බැවින් ඔබට තුති පුදන්නෝ ය.
5එසේ ය, සමිඳුන්ගේ මහිමය උතුම් වන්නේ ය;
ඔව්හු සමිඳුන්ගේ මාර්ග ගැන ගී ගයන්නෝ ය.
පිළිතුර - සමිඳාණන් වහන්ස, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි.

ආලේලූයියා ගීතාවලිය 103:21

21සමිඳුන්ගේ සේනා සියල්ලෙනි, එතුමාණන්ගේ කැමැත්ත ඉටු කරන මෙහෙකරුවෙනි, සමිඳුන් පසසන්න.

සුබාරංචිය ජොහන් 1:47-51

 47ජේසුස් වහන්සේ නතානියෙල් තමන් වෙත එනු දැක, “මෙන්න, හොරබොරු නැති, සැබෑ ඉශ්රායෙල් ජාතිකයෙකැ”යි ඔහු ගැන වදාළ සේක. 48“ඔබ මා ගැන කෙසේ දන්නෙහි දැ”යි නතානියෙල් උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “පිලිප් ඔබ කැඳවන්නටත් පෙර, අත්තික්කා ගස යට ඔබ සිටිනු මම දිටිමි”යි වදාළ සේක. 49නතානියෙල් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඔබ වහන්සේ නම්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඔබ වහන්සේ නම්, ඉශ්රායෙල්හි රජිඳාණෝ ය”යි කී ය. 50ජේසුස් වහන්සේ ද පිළිතුරු දෙමින්, “ඔබ අත්තික්කා ගස යට සිටිනු මම දිටිමි, යි මා ඔබට වදාළ බැවින් ද, ඔබ අදහා ගත්තේ? මීට වඩා මහත් දේ ඔබ දකින්නෙහි ය”යි වදාළ සේක. 51 තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි; ස්වර්ගය විවර වී, මනුෂ්‍ය-පුත්‍රයාණන් වෙත දෙවියන් වහන්සේගේ දූතයන් නැඟ යනවාත්, බැස එනවාත් ඔබ දකින්නෙහි ය”යි වදාළ සේක.


Post a Comment

0 Comments