✟✯🌷 ලංකා අප ස්වාමි දුවගේ මංගල්‍යය 🌷✯ ✟



ලංකා අප ස්වාමි­දුගේ බැසි­ලි­කාව නමින් ප්‍රකට රාගම, තේවත්තේ පිහිටි බැසි­ලිකා සිද්ධ­ස්ථා­නය ලාංකේය කිතුනු බැති­ම­තුන්ගේ නොමඳ ආදර ගෞර­ව­යට පත් ප්‍රසිද්ධ පූජ­නීය ස්ථාන­යකි. රබර් වත්තක් මැද රමණීය භූමි භාගයක ඉදි වී ඇති මෙම බැසිලිකාව ශ්‍රී ලංකාවේ ගොඩනගා ඇති එකම බැසිලිකා ආකෘතියේ සිද්ධස්ථානය ද විම සුවිශේෂි කාරණාවකි.

1940 මුළු ලෝක­යම දෙවන ලෝක යුද්ධයේ ගිනි­දැ­ල්ව­ලින් වෙළී­ය­මින් තිබූ කාල­යක් විය. බ්‍රිතාන්‍ය අධි­රා­ජ්‍යයේ යටත් විජි­ත­යක් ලෙස මෙන්ම උපාය මාර්ගි­කව වැද­ගත් ස්ථාන­යක පිහිටි ලංකා­වට ද යුද්ධයේ බල­පෑම් එල්ල­වෙ­මින් තිබිණි. ජපානයද යුද්ධය ට එකතු වී සිටි අතර ආසියාවේ බොහෝ රටවල් ජපානයේ ඉලක්ක බවට පත්විය. 

1940 මැයි 26 වන දා කොළඹ අග­ර­ද­ගුරු ලෙස කට­යුතු කළ අති උතුම්  මේරි මැසොන් හිමි­පා­ණන් තේවත්ත ප්‍රදේ­ශයේ තිබූ ලූර්දු මෑණි­යන්ට කැප කළ කුඩා දෙව්මැ­දු­රක් වෙත ගොස් එහි පුද­සුන ඉදි­රියේ දණින් වැටී දේව මෑණි­යන්ට බාර­යක් වන්නේ එම යුද්ධයේ තිබූ භයං­කර බව දැන සිටි නිසාය.

දෙවන ලෝක යුද්ධ­යෙන් ලංකාව බේරා ­දු­න­හොත් දේව මෑණි­යන් වෙනු­වෙන් බැසි­ලි­කා­වක් ඉදි කොට, දේව මෑණි­යන් 'ලංකාවේ අප ස්වාමිදූ' නමින් අබි­සෙස් ගැන්වී­මට උන්ව­හන්සේ එහිදී පොරොන්දු වූහ. 

1942 අප්‍රේල් 5 වන දින ජපනුන් ලංකාවට බෝම්බ ‌හෙළන ලද නමුත් ඔවුන් බලාප‌ොරොත්තු වූ විනාශය සිදු නොවුණු අතර ඔවුන්ගේ ඉලක්ක ද සාර්ථක නොවීය. 1945 අගෝස්තු මස දෙවන ලෝක යුද්ධය නිමාවට පත්විය.

අග­ර­ගුරු හිමි­පා­ණන්ගේ ඒ යැදුම අනුව අප මවු­බි­මට කිසිදු කර­ද­ර­ය­කින් තොරව ලෝක සංග්‍රා­මය නිමා­වද්දී තමා වූ බාරය ඔප්පු කිරී­මට උන්ව­හන්සේ කට­යුතු කළහ.

1946 දී මේරි මැසොන් හිමි­පා­ණන් රෝම­යට ගොස් එව­කට සිටි 12 වැනි පියුස් පාප්ව­හ­න්සේ­ගෙන් ඒ සඳහා වන විශේෂ අව­ස­රය ලබා­ගන්නේ ඒ අනු­වය.

අග­ර­ද­ගුරු හිමි­පාණෝ බැසි­ලි­කාව ඉදි කිරී­මට සුදුසු ඉඩ­මක් සොය­මින් පසු­වෙද්දී දේව මාතා­වන්ට තමන් බාරය වූ කුඩා දේව­ස්ථා­නය ඉදි­රි­පිට වූ 'ඔරේන්ජ් හිල්' නම් රබර් වත්ත අලෙවි කරන බවට උන්ව­හ­න්සේට ආරං­චි­යක් ලැබුණි. අක්කර ගණ­නා­වක් පුරා පැති­ර ගිය හරිත වර්ණ රබර් යායක් වූ එම ඉඩම බැසි­ලි­කාව ගොඩ­නැ­ඟීම සඳහා ඉතාම සුදුසු  ස්ථාන­ය බව නිගමනය කළ උන්ව­හන්සේ එය මිලට ගෙන ඉක්මණින් බැසිලිකාවේ ඉදි­කි­රීම් කට­යුතු ආරම්භ කරන ලදි. තමාගේ බාරය අනුව බැසි­ලි­කාව ඉදි කර­න්නට පෙර මේරි මසොන් අග­ර­ද­ගුරු හිමි­පාණෝ ස්වර්ගස්ථ වූ අතර ඉන්පසු එම භාර­දූර කාර්ය­යට උර­දෙන්නේ ලාංකේය ප්‍රථම කාදි­න­ල්ව­රයා වීමේ භාග්‍යය ලත් තෝමස් කාදි­නල් කුරේ හිමි­පා­ණෝය.

රට වටා වන්දනා ගමනක නිරත වූ පාතිමා මෑණියන්ගේ ප්‍රතිමාව ඉදිරිපිට වර්ෂ 1950 ජූලි 15 වනදින බැසිලිකාව තැනීමේ පළමු පස් පිඩැල්ල කපන  ලදි. 1951පෙබරවාරි 4 වන දින මුල්ගල තැබූ මෙම දර්ශ­නීය බැසි­ලි­කාව ස්පාඤ්ඤ ජාතික ජේසු නිකායික ගරු හෙරාස් පියතුමාගේ සැලැස්මට අනුව නිර්මාණය විය. සමස්ත බැසිලිකාවම තනි කළු ගලින් නිර්මාණය කර තිබීම ද මෙහි ඇති තවත් සුවිශේෂතාවක් වේ. බැසිලිකාවේ අල්තාරය තනි සුදු ගලින් නිර්මිතය. ඉදිරිපස ඇති ගල් කණු හය ඒකාලයේ ලංකාවේ පැවති පදවි හය (කොළඹ,යාපනය,මහනුවර,ගාල්ල, ත්‍රිකුණාමලය,හලාවත) නියෝජනය කරනු ලබයි.  ස්වර්ගස්ථ මැසොන් අග­ර­ද­ගුරු හිමිගේ බාර පොරො­න්දුව අනුව ගොඩනගන ලද ශ්‍රී ලංකාවේ අප ස්වාමි දුව ගේ බැසිලිකාව 1974 පෙබ­ර­වාරි මස 06 වන දින අතිගරු ‌තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ගේ සහ ශ්‍රී ලංකාවේ සියලුම රදගුරුතුමන්ලාගේ සහභාගීත්වයෙන් අබිසෙස් ගන්වන ලදි. 

බැසි­ලි­කාව ඉදි­වෙ­මින් පව­තින අත­රේම ලංකාවේ අප ස්වාමි දුවගේ පිළි­රුව ද නිර්මා­ණය විය. එම නිර්මාණය පෘතු­ගා­ලයේ පාති­මාවේ අප ස්වාමිදූ ප්‍රති­මාව නිර්මා­ණය කළ ශිල්පියා විසින්ම එය සිදු කිරීම ද විශේ­ෂ­ත්ව­යකි. දේවදාර ලීයෙන් නිමකොට ඇති එම ප්‍රතිමාව බැසිලිකාවේ පූජාසනයට ඉහළින් ස්ථාපිත කොට ඇත. 

එම ප්‍රති­මාවේ දේව මාතා­වන්ගේ දෙපා මුල නා මල් තුනක් සහිත කිනි­ත්තක් රඳවා ඇත්තේ ශ්‍රී ලාංකික අන­න්‍ය­තාව පෙන්නුම් කිරී­ම­ටයි. දේව මෑණි­යන්ගේ දෑතේ තබා ඇති ජේසු බිළිඳුන් සුරත දිගු කොට ජප­මා­ලය පෙන්වන අතර, උන්ව­හන්සේ අනෙක් අත දිගු කොට තම මෑණි­යන් පෙන්වන බවක් එම ප්‍රති­මාවෙන් දාශ්‍යමාන වේ.  මෙම දේව මාතා ප්‍රති­මාවේ ජේසු බිලි­ඳුන්ගේ හස්තය මත රඳවා ඇත්තේ හය­වැනි පාවුලූ පාප්ව­හන්සේ 1970 දෙසැ­ම්බර් 04 වැනිදා දිව­යි­නට වැඩම කළ අව­ස්ථාවේ තෑගි කරන ලද ජප­මා­ල­යයි.

දේව­මාතා වහ­න්සේගේ සහ ජේසු බිළිඳුන්ගේ හිස් මත පළා ඇති 'රන් ඔටුනු'ද දේශීය කලා ලක්ෂණ ඇතිව නිර්මා­ණය කර තිබේ. පෙර අග­ර­ද­ගුරු හිමි­ව­රුන්ගේ මුදු, කුරුස සහිත මාලද මෙන්ම කොළඹ කොච්චි­කඩේ සහ වෙනත් දේව­ස්ථා­න­ව­ලින් පරි­ත්‍යාග කරන ලද රත්රන් භාණ්ඩ මෙම ඔටුණු නිර්මාණය කිරීමට යොදා­ගෙන තිබේ. 

ප්‍රතිමාව පසුබිමේ ඔරායන් නම් තරු පන්තිය දක්වා ඇත. ජේසු බිළිඳාගේ හදවත මත ද තරුවක් සළකුණු කොට ඇත. 

මෙම බැසිලිකාව ජාතික සිද්ධස්ථානය ලෙස නම්කොට ඇත. සෑම වසරකම පෙබරවාරි මස 4වන දින ශ්‍රී ලංකා අප ස්වාමි දුවගේ මංගල්‍යය ශ්‍රී ලංකා වාසීන් ඉමහත් ගෞරවයෙන් සමරනු ලබයි.

✯චින්තා පෙරේරා

Post a Comment

0 Comments