ලංකා අප ස්වාමිදුගේ බැසිලිකාව නමින් ප්‍රකට රාගම, තේවත්තේ පිහිටි බැසිලිකා සිද්ධස්ථානය ලාංකේය කිතුනු බැතිමතුන්ගේ නොමඳ ආදර ගෞරවයට පත් ප්‍රසිද්ධ පූජනීය ස්ථානයකි. රබර් වත්තක් මැද රමණීය භූමි භාගයක ඉදි වී ඇති මෙම බැසිලිකාව ශ්‍රී ලංකාවේ ගොඩනගා ඇති එකම බැසිලිකා ආකෘතියේ සිද්ධස්ථානය ද විම සුවිශේෂි කාරණාවකි.
1940 මුළු ලෝකයම දෙවන ලෝක යුද්ධයේ ගිනිදැල්වලින් වෙළීයමින් තිබූ කාලයක් විය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් ලෙස මෙන්ම උපාය මාර්ගිකව වැදගත් ස්ථානයක පිහිටි ලංකාවට ද යුද්ධයේ බලපෑම් එල්ලවෙමින් තිබිණි. ජපානයද යුද්ධය ට එකතු වී සිටි අතර ආසියාවේ බොහෝ රටවල් ජපානයේ ඉලක්ක බවට පත්විය.
1940 මැයි 26 වන දා කොළඹ අගරදගුරු ලෙස කටයුතු කළ අති උතුම් මේරි මැසොන් හිමිපාණන් තේවත්ත ප්‍රදේශයේ තිබූ ලූර්දු මෑණියන්ට කැප කළ කුඩා දෙව්මැදුරක් වෙත ගොස් එහි පුදසුන ඉදිරියේ දණින් වැටී දේව මෑණියන්ට බාරයක් වන්නේ එම යුද්ධයේ තිබූ භයංකර බව දැන සිටි නිසාය.
දෙවන ලෝක යුද්ධයෙන් ලංකාව බේරා දුනහොත් දේව මෑණියන් වෙනුවෙන් බැසිලිකාවක් ඉදි කොට, දේව මෑණියන් 'ලංකාවේ අප ස්වාමිදූ' නමින් අබිසෙස් ගැන්වීමට උන්වහන්සේ එහිදී පොරොන්දු වූහ.
1942 අප්‍රේල් 5 වන දින ජපනුන් ලංකාවට බෝම්බ හෙළන ලද නමුත් ඔවුන් බලාපොරොත්තු වූ විනාශය සිදු නොවුණු අතර ඔවුන්ගේ ඉලක්ක ද සාර්ථක නොවීය. 1945 අගෝස්තු මස දෙවන ලෝක යුද්ධය නිමාවට පත්විය.
අගරගුරු හිමිපාණන්ගේ ඒ යැදුම අනුව අප මවුබිමට කිසිදු කරදරයකින් තොරව ලෝක සංග්‍රාමය නිමාවද්දී තමා වූ බාරය ඔප්පු කිරීමට උන්වහන්සේ කටයුතු කළහ.
1946 දී මේරි මැසොන් හිමිපාණන් රෝමයට ගොස් එවකට සිටි 12 වැනි පියුස් පාප්වහන්සේගෙන් ඒ සඳහා වන විශේෂ අවසරය ලබාගන්නේ ඒ අනුවය.
අගරදගුරු
හිමිපාණෝ බැසිලිකාව ඉදි කිරීමට සුදුසු ඉඩමක් සොයමින් පසුවෙද්දී දේව මාතාවන්ට තමන් බාරය වූ කුඩා දේවස්ථානය ඉදිරිපිට වූ 'ඔරේන්ජ් හිල්' නම් රබර් වත්ත අලෙවි කරන බවට උන්වහන්සේට ආරංචියක් ලැබුණි.
අක්කර ගණනාවක් පුරා පැතිර ගිය හරිත වර්ණ රබර් යායක් වූ එම ඉඩම බැසිලිකාව ගොඩනැඟීම
සඳහා ඉතාම සුදුසු ස්ථානය බව නිගමනය කළ උන්වහන්සේ එය මිලට ගෙන ඉක්මණින් බැසිලිකාවේ ඉදිකිරීම්
කටයුතු ආරම්භ කරන ලදි. තමාගේ බාරය අනුව බැසිලිකාව ඉදි කරන්නට පෙර මේරි මසොන්
අගරදගුරු හිමිපාණෝ ස්වර්ගස්ථ වූ අතර ඉන්පසු එම භාරදූර කාර්යයට උරදෙන්නේ ලාංකේය ප්‍රථම කාදිනල්වරයා වීමේ භාග්‍යය ලත් තෝමස් කාදිනල් කුරේ හිමිපාණෝය.
රට වටා වන්දනා ගමනක නිරත වූ පාතිමා මෑණියන්ගේ ප්‍රතිමාව ඉදිරිපිට වර්ෂ 1950 ජූලි 15 වනදින බැසිලිකාව තැනීමේ පළමු පස් පිඩැල්ල කපන ලදි. 1951පෙබරවාරි 4 වන දින මුල්ගල තැබූ මෙම දර්ශනීය බැසිලිකාව ස්පාඤ්ඤ ජාතික ජේසු නිකායික ගරු හෙරාස් පියතුමාගේ සැලැස්මට අනුව නිර්මාණය විය. සමස්ත බැසිලිකාවම තනි කළු ගලින් නිර්මාණය කර තිබීම ද මෙහි ඇති තවත් සුවිශේෂතාවක් වේ. බැසිලිකාවේ අල්තාරය තනි සුදු ගලින් නිර්මිතය. ඉදිරිපස ඇති ගල් කණු හය ඒකාලයේ ලංකාවේ පැවති පදවි හය (කොළඹ,යාපනය,මහනුවර,ගාල්ල, ත්‍රිකුණාමලය,හලාවත) නියෝජනය කරනු ලබයි. ස්වර්ගස්ථ මැසොන් අගරදගුරු හිමිගේ බාර පොරොන්දුව අනුව ගොඩනගන ලද ශ්‍රී ලංකාවේ අප ස්වාමි දුව ගේ බැසිලිකාව 1974 පෙබරවාරි මස 06 වන දින අතිගරු තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ගේ සහ ශ්‍රී ලංකාවේ සියලුම රදගුරුතුමන්ලාගේ සහභාගීත්වයෙන් අබිසෙස් ගන්වන ලදි.
බැසිලිකාව ඉදිවෙමින් පවතින අතරේම ලංකාවේ අප ස්වාමි දුවගේ පිළිරුව ද නිර්මාණය විය. එම නිර්මාණය පෘතුගාලයේ පාතිමාවේ අප ස්වාමිදූ ප්‍රතිමාව නිර්මාණය කළ ශිල්පියා විසින්ම එය සිදු කිරීම ද විශේෂත්වයකි. දේවදාර ලීයෙන් නිමකොට ඇති එම ප්‍රතිමාව බැසිලිකාවේ පූජාසනයට ඉහළින් ස්ථාපිත කොට ඇත.
එම ප්‍රතිමාවේ දේව මාතාවන්ගේ දෙපා මුල නා මල් තුනක් සහිත කිනිත්තක් රඳවා ඇත්තේ ශ්‍රී ලාංකික අනන්‍යතාව පෙන්නුම් කිරීමටයි. දේව මෑණියන්ගේ දෑතේ තබා ඇති ජේසු බිළිඳුන් සුරත දිගු කොට ජපමාලය පෙන්වන අතර, උන්වහන්සේ අනෙක් අත දිගු කොට තම මෑණියන් පෙන්වන බවක් එම ප්‍රතිමාවෙන් දාශ්‍යමාන වේ. මෙම දේව මාතා ප්‍රතිමාවේ ජේසු බිලිඳුන්ගේ හස්තය මත රඳවා ඇත්තේ හයවැනි පාවුලූ පාප්වහන්සේ 1970 දෙසැම්බර් 04 වැනිදා දිවයිනට වැඩම කළ අවස්ථාවේ තෑගි කරන ලද ජපමාලයයි.
දේවමාතා වහන්සේගේ සහ ජේසු බිළිඳුන්ගේ හිස් මත පළා ඇති 'රන් ඔටුනු'ද දේශීය කලා ලක්ෂණ ඇතිව නිර්මාණය කර තිබේ. පෙර අගරදගුරු හිමිවරුන්ගේ මුදු, කුරුස සහිත මාලද මෙන්ම කොළඹ කොච්චිකඩේ සහ වෙනත් දේවස්ථානවලින් පරිත්‍යාග කරන ලද රත්රන් භාණ්ඩ මෙම ඔටුණු නිර්මාණය කිරීමට යොදාගෙන තිබේ.
ප්‍රතිමාව පසුබිමේ ඔරායන් නම් තරු පන්තිය දක්වා ඇත. ජේසු බිළිඳාගේ හදවත මත ද තරුවක් සළකුණු කොට ඇත.
මෙම බැසිලිකාව ජාතික සිද්ධස්ථානය ලෙස නම්කොට ඇත. සෑම වසරකම පෙබරවාරි මස 4වන දින ශ්‍රී ලංකා අප ස්වාමි දුවගේ මංගල්‍යය ශ්‍රී ලංකා වාසීන් ඉමහත් ගෞරවයෙන් සමරනු ලබයි.
✯✯චින්තා පෙරේරා✯✯

0 Comments