꧁☆༒☬✟✟ 2022 පෙබරවාරි 4 ✟✟☬༒☆꧂

 


                               2022 පෙබරවාරි 4 සිකුරාදා සාමාන්‍ය සමය හතරවන සතිය                

මු කියවීම  සිරාක් 47:2-11

2සහභාගිකමේ පූජාවෙන් තෙල වෙන් කරන සේ, ඉශ්රායෙල් ජනයා කෙරෙන් දාවිත් තෝරාගන්නා ලද්දේ ය.
3ඔහු එළු පැටවුන් සමඟ මෙන් සිංහයන් සමඟ විනෝද වූයේ ය.
බැටළු පැටවුන් සමඟ මෙන් වලසුන් සමඟ ද කෙළිදෙලෙහි යෙදුණේ ය.
4ළමයෙකු ව සිටිය දී ඔහු යෝධයා මරා සෙනඟගේ ලජ්ජාව මකාදැමුවා නොවේ ද?
ගල් පටියෙන් ගලක් වේගයෙන් දමා ගසා ගොලියත්ගේ අහංකාරය පහතට නොහෙළුවේ ද?
5ඔහු මහෝත්තම සමිඳුන්ට යාච්ඤා කෙළේ ය.
බලසම්පන්න රණශූරයෙකු මරා ඉශ්රායෙල්වරුන්ගේ බලය උසස් කිරීමට සමිඳාණෝ ඔහුගේ දකුණු අතට ශක්තිය දුන් සේක.
6දස දහස් ගණනක් මැරීම සම්බන්ධ ව සෙනඟ ඔහුට ප්‍රශංසා කළෝ ය.
සමිඳුන්ට ආශිංසනය කරමින් ඔහුට ප්‍රශංසා කළෝ ය.
මහිමයේ කිරුළක් ඔහුට පුද කළෝ ය.
7මන්ද, ඔහු අවට ප්‍රදේශවල සතුරන් විනාශ කළ හෙයිනි.
ඔහුගේ සතුරන් වූ පිලිස්තිවරුන් විනාශ කළ හෙයිනි.
ඔවුන්ගේ බලය සදහට ම බිඳදැමූ හෙයිනි.
8සියලු ක්‍රියාවන්හි දී ඔහු මහෝත්තම ශුද්ධ තැනැන් වහන්සේට මහිමය පවරමින් උන් වහන්සේට තුති පැසසුම් දුන්නේ ය.
තම මැවුම්කාරයාණන් වෙත ප්‍රේමය ප්‍රකාශ කරමින් මුළු හෘදයෙන් ගී ගැයී ය.
9ඔහු පූජාසනය ඉදිරියෙහි බැති ගී ගායනා කරන්නන් තැබුවේ ය.
ඒවා වාදනය කිරීමෙන් ගීත වඩාත් මිහිරි විය.
10ඔහු මංගල්‍යයන් උත්සවශ්‍රීයෙන් පැවැත්වූයේ ය.
පූජෝත්සවයන් උදාර අලංකාරයෙන් සිදු කෙළේ ය.
සමිඳුන්ගේ ශුද්ධ නාමය ප්‍රශංසා කරනු ලබන්නට සැලසුවේ ය.
ශුද්ධස්ථානය තුළ අලුයම පටන් දෝංකාරය දෙන්නට සැලසුවේ ය.
11සමිඳාණෝ ඔහුගේ පාප පහ කළ සේක.
ඔහුගේ බලය සදහට ම වැඩෙන්නට සැලැසූ සේක.
ඔහුට රාජකීය ගිවිසුමක් දුන් සේක.
ඉශ්රායෙල්වරුන් අතර මහිමාන්විත සිංහාසනයක් දුන් සේක.

පිළිතුරු ගීය ගීතාවලිය18:31, 47 AND 50, 51

31හිමිතුමාණන් හැර වෙන දෙවි කෙනෙක් ඇද් ද?
අපේ දෙවිඳුන් හැර පර්වතයක් තවත් ඇද් ද?

ආලේලූයියා ලූක්8:15

15 සරු බිමේ වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ අවංක, පිරිසිදු සිතකින් වචනය අසා, පිළිපැද, නොපසුබට වීර්යයෙන් පල දරන අය ය.”


සුබාරංචිය මාක්6:14-29

14  එකල ජේසුස් වහන්සේගේ කීර්තිරාවය පතළ වී ගිය බැවින් හෙරොද් රජුට එපවත් සැළ විය. සමහරු, “ස්නාවක ජොහන් මළවුන් කෙරෙන් උත්ථාන වී ඇත; මේ බලමහිම ඔහු තුළ ක්‍රියා කරන්නේ ඒ නිසා ය”යි කී හ. 15එහෙත් සමහරු, “මොහු එලියා ය”යි කී හ. අන් සමහරු, “මොහු පෙර සිටි දිවැසිවරයන් වැනි දිවැසිවරයෙකැ”යි කී හ. 16එහෙත්, හෙරොද් ඒ ඇසූ කල, “මේ මා විසින් හිස ගසාදම්මන ලද ජොහන් ය; මොහු මළවුන්ගෙන් නැඟිට සිටී” යයි කී ය.
17  හෙරොද් සිය සොහොයුරා වන පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් සරණ පාවාගත් බැවින්, ඇය නිසා මිනිසුන් යවා ජොහන් අල්ලා බැඳ හිර අඩස්සි කෙළේ ය. 18“ඔබේ සහෝදරයාගේ භාර්යාව තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් හෙරොද්ට කී බැවින්, 19හෙරෝදියස් ඔහු කෙරේ වෛර බැඳ, ඔහු මරවන්නට අදහස් කරගෙන සිටියා ය. එහෙත්, එය කළ නොහැකි විය. 20මන්ද, ජොහන් සත්ගුණවත් දැහැමි මිනිසෙකු බව හෙරොද් දැන, ඔහුට බිය ව, ඔහු ආරක්ෂා කළ හෙයිනි. තවද, ඔහුගේ බස් අසා හෙරොද් බොහෝ වියවුල් වුව ද සන්තෝෂයෙන් ඔහුට කන් දුන්නේ ය.
21සුදුසු අවස්ථාවක් පැමිණියෙන්, හෙරොද් සිය ජන්මෝත්සව දින, තමාගේ උසස් නිලධාරීන්ට ද ප්‍රධාන සේනාධිපතීන්ට ද ගලීලයේ ප්‍රභූවරයන්ට ද මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය. 22එවිට හෙරෝදියස්ගේ දුව එහි පිවිස රඟ පා, හෙරොද්ගේ සහ ඔහු සමඟ භෝජන සංග්‍රහයට පැමිණ සිටි අමුත්තන්ගේ නෙත් සිත් පිනවූවා ය. එකල රජතුමා තරුණියට කතා කොට, “ඔබ කැමැති ඕනෑම දෙයක් මාගෙන් ඉල්ලන්න, එය ඔබට දෙමි”යි කී ය. 23තවද, “ඉල්ලන ඕනෑම දෙයක්, මාගේ රාජ්‍යයෙන් අඩක් වුවත්, ඔබට දෙමි”යි ඔහු ඇයට දිවුරුම් දුන්නේ ය. 24ඈ පිටතට ගොස්, “මම කුමක් ඉල්ලම් දැ”යි ඇගේ මවගෙන් ඇසුවා ය. “ස්නාවක ජොහන්ගේ හිස” යයි ඈ කීවා ය. 25එවිට තරුණිය වහා ම රජු වෙත පැමිණ, “ඔබ ස්නාවක ජොහන්ගේ හිස තැටියක ලා දැන් මට දෙනු මැනව”යි කීවා ය. 26රජතුමා අතිශයින් ශෝක විය. එහෙත්, ඔහුගේ දිවුරුම නිසා ද, අමුත්තන් නිසා ද, ඈට දුන් පොරොන්දුව කඩ කරන්න අකමැති විය. 27එකෙණෙහි ම රජතුමා මුර සෙබළෙකු යවමින් ජොහන්ගේ හිස ගෙනෙන්න අණ කෙළේ ය. ඔහු ද ගොස් හිර ගෙයි දී ජොහන්ගේ හිස ගසාදමා 28එය තැටියක ලා ගෙනවුත්, තරුණියට දුන්නේ ය; තරුණිය ද එය මවට දුන්නා ය. 29ජොහන්ගේ ගෝලයෝ ඒ ගැන අසා අවුත්, ඔහුගේ මෘත දේහය ගෙන ගොස්, සොහොන් ගෙයක තැන්පත් කළහ.

Post a Comment

0 Comments