꧁☆༒☬✟✟ 2022 පෙබරවාරි 5 ✟✟☬༒☆꧂

 


                               2022 පෙබරවාරි 5 සෙනසුරාදා සාමාන්‍ය සමය හතරවන සතිය            

මු කියවීම 1 රාජාවලිය3:4-13

4ගිබියොන් ප්‍රධාන කඳු මත පූජාස්ථාන වූ බැවින් පූජා ඔප්පු කරන පිණිස රජ එතැනට ගියේ ය. සලමොන් ඒ පූජාසනය පිට දවන යාග පූජා දහසක් පුද කෙළේ ය. 5ගිබියොන්හි දී සමිඳාණන් වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සලමොන්ට දර්ශනය වූ සේක. තවද, දෙවියන් වහන්සේ කතා කොට, “මා නුඹට දිය යුතු දෙය ඉල්ලන්නැ”යි වදාළ සේක.
6සලමොන් කතා කොට, “ඔබේ දාසයා වූ මාගේ පිය වූ දාවිත් ඔබ ඉදිරියෙහි සත්‍යවාදී ව ද ධර්මිෂ්ඨකමින් ද ඔබ සමඟ සිතේ අවංකකමින් ද හැසුරුණු පරිද්දෙන් ඔබ ඔහුට මහා කරුණාවක් පෙන්වූ සේක. තවද, අද තිබෙන හැටියට ඔහුගේ සිංහාසනය අරා හිඳින්න ඔහුට පුත්‍රයෙකු දීමෙන් මේ මහා කරුණාව නොනවත්වා පෙන්වූ සේක. 7දැනුදු මාගේ දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත් වෙනුවට ඔබේ දාසයා රජ කොට පත් කළ සේක. මම ළා බාල කෙනෙක්මි, රට පාලනයේ දක්ෂකමක් මට නැත. 8ගණන් කළ නොහැකි අසංබ්‍ය සමූහයක් වන ඔබ විසින් තෝරාගනු ලැබූ ඔබේ සෙනඟ මැද ඔබේ දාසයා සිටියි. 9එබැවින් ඔබේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස, හොඳ නරක දැනගන්න පුළුවන් වන ලෙස ඥානවන්ත සිතක් ඔබේ දාසයාට දුන මැනව, මන්ද, ඔබේ මේ මහා සෙනඟ විනිශ්චය කරන්න කවරෙකුට පුළුවන් දැ”යි කීවේ ය.

10සලමොන් මේ දේ ඉල්ලූ නිසා සමිඳාණන් වහන්සේ ඊට ප්‍රසන්න වූ සේක. 11දෙවියන් වහන්සේ කතා කොට, “නුඹ දීර්ඝායුෂ ඉල්ලන්නේ වත් ධන සම්පත් ඉල්ලන්නේ වත්, නුඹේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේ වත් නැති ව විනිශ්චය තේරුම්ගැනීමට ඥානය ඉල්ලූ බැවින්, 12බලන්න, මම නුඹේ ඉල්ලීම ලෙස ඉටු කරමි. නුඹට සමාන කෙනෙකු නුඹට පළමුවෙන් සිටියේ වත්, නුඹට පසු ව සිටින්නේ වත් නැති වන ලෙස තියුණු නැණනුවණ නුඹට දෙමි. 13ඇරත්, නුඹේ මුළු කාලයේ දී රජවරුන් අතරේ නුඹට සමාන කෙනෙකු නොවන ලෙස ධනය ද ගෞරවය ද යන නුඹ නොඉල්ලූ දේත් නුඹට දෙමි.

පිළිතුරු ගීය ගීතාවලිය  19:9, 10, 11, 12, 13, 14

9සමිඳුන් කෙරෙහි ගරුබිය නිර්මල ය;
එය සදහට ම පවතින්නේ ය.
සමිඳුන්ගේ විනිශ්චය යුක්තිසහගත ය;
මුළුමනින් දැහැමි වේ ම ය.
10රනට වඩා, පෙරූ රනට වඩා, එය මනහර ය;
පැණියට වඩා, මී පැණියට වඩා, එය සුමිහිරි ය.
11එය ඔබ සේවකයා හට අනතුරු ඇඟවීමක් වන්නේ ය;
එය පිළිපැදීමෙන් විපුල විපාක අත්වන්නේ ය.
12මාගේ රහස් වැරදි දන්නෝ කවුරු ද?
නොදැන මා කළ පව් සෝදා හළ මැනව.
13උඩඟුකමේ පාපයෙන් මා වැළැක්වුව මැනව.
එහි බලපෑමට මම යටත් නොවෙම්වා.
එවිට මම දරුණු පවින් නිදහස් වී, නිදොස් කෙනෙක් වන්නෙමි.

14මාගේ පර්වතය ද මාගේ මිදුම්කරු ද වන සමිඳුනි, මා මුවේ වචන ද මා සිතෙහි භාවනා ද ඔබ හට ප්‍රිය මනාප වේ වා!

ආලේලූයියා ජොහන්10:27

27මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති. 

සුබාරංචිය මාක් 6:30-34

30අපෝස්තුළුවරු ජේසුස් වහන්සේ වෙත රැස් ව තමන් කළ සියල්ල ද ඉගැන්වූ සියල්ල ද උන් වහන්සේට සැළ කළහ. 31එවිට උන් වහන්සේ කතා කරමින්, “ඔබ පමණක් වෙන් ව, හුදකලා තැනකට අවුත් මඳ වේලාවක් විවේක ගන්නැ”යි ඔවුන්ට වදාළ සේක. එසේ කීවේ, ඔවුන්ට කෑම කන්න වත් අවකාශයක් නැති තරමට යන එන අය බොහෝ වූ බැවිනි. 32එවිට ඔව්හු පමණක් ඔරුවෙන් හුදකලා තැනකට ගියෝ ය.

33බොහෝ දෙනෙක් ඔවුන් යනවා දැක, ඔව්හු කවරහු දැ යි හැඳින, සියලු නුවරවලින් එක් වී ගොඩින් දිව අවුත්, ඔවුන්ට පෙර එහි පැමිණියහ. 34 උන් වහන්සේ ගොඩට ආ කල, මහ පිරිසක් දැක, එඬේරෙකු නැති බැටළුවන් වැනි වූ, ඔවුන්ට අනුකම්පා කොට, ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත් සේක.



Post a Comment

0 Comments