✟✯🌷 ලූර්දු දේව මාතා මංගල්‍යය 🌷✯ ✟

ප්‍රංශයේ ලුර්දු නුවර අද ලොව පුරා ඉතාමත්ම ප්‍රසිද්ධි යට පත් ව තිබෙන්නේ දේව මාතාවන්ගේ අසිරිමත් දර්නයක් නිසාවෙනි. 

ලූර්දු නගරයේ මසබියෙල් කඳු ශිඛරයේ දර්ශනය වූ "නිර්මල පිළිසිඳීමේ මාතාවන්" හෙවත් 'ලූර්දු මාතාවන්ගේ' නාමය මුළු ලෝකය පුරාම මෙම දර්ශනය හේතුවෙන් පැතිර යන ලදි.

ප්‍රංශයේ ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව ඇති පීරනීස් කඳුවැටිය පාමුල පිහිටා ඇති ලුර්දු නගරයේ කුඩා නිවසක ප්‍රංශුවා සුබිරොස් සහ ලූවි කැස්ටෙරෝ යන යුවළට දාව 1844 ජනවාරි මස 07 වන දින පුංචි සිගිත්තියක් උපත ලැබුවාය. ඇයට දෙමව්පියන් බර්නාඩ් යන නම තැබුවත් ඇයව හඳුන්වනු ලැබුවේ බර්නදෙත් යනුවෙනි. දරුවන් නව දෙනෙකුගෙන් සමන්විත විශාල පවුලක වැඩිමහල් දියණිය ලෙස ඇය උපත ලැබුවත් ඉන් පසු ඉපදුණු දරුවන් තිදෙනෙක්ම කුඩාකල අකාලේ මිය යනු ලැබිණි. බර්නදෙත්ගේ පියා වූ ප්‍රංශුවාගේ තිරිගු පිටි ව්‍යාපාරය බංකෙලොත් වීම නිසා ණය ගෙවීමට ඔවුන්ගේ නිවස විකිණිමට සිදු විය. එම නිසා සියලු දෙනාට මවගේ ඥාති නිවසක නැවතීමට සිදුවිය. මේ කාලයේ දී කුඩා බරණදෙත් දැරියට විධිමත් අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවය සැලසේ. ඇයට බාල අනෙක් සොහොයුරු සොහොයුරියන්වත් බලා ගැනීමට මේ කාලයේ දී බරණදෙත් හට සිදුවිය. මේ කාලයේදි ඇයට ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමට හැකියාව ලැබිණි. 


1858 පෙබරවාරි 11 වන දින සුපුරුදු පරිදි  කුඩා බර්නදෙත් තමන්ගේ සොයුරියක සහ අසල් වැසි මිතුරියක සමග දර කැඩීමට මසබියෙල් පර්වතය අසලට ඔබ්බෙන් ගලා ගිය දිය කඩිත්තක් හරහා ගමන් කරන්නට පැමිනියාය. එම දිය පහර තරණය කරන්නට ඈ පැළද සිටි මේස් හා පාවහන් ඉවත් කිරීමට නැඹුරුවත්ම දැඩි සුළගක් හමා එන්නාක් මෙන් ශබ්දයක් ඇසුුුණු නිසා ඈ අවට ගැන විමසිලිමත් විය.

වයස අවුරුදු 14ක් වූ බර්නදෙත් දැරිය ඉතා සුවිශේෂ වූ ආලෝක ධාරාවකින් මසබියෙල් පර්වතය වැසී යන අයුරු හා සුළි සුළඟක් ඇති වන විට නැගෙන හඬකින් අවට පරිසරයේ නිහඩතාව බිදී ගිය අයුරුත් අත් දුටුවාය. 

එවිට ඇයට පෙනී යන්නේ එම දිය දහරට ඔබ්බෙන් වූ මසබියෙල් පර්තයෙහි වු ගුහාවට මදක් ඉහලින් වු විවරයක් පාමුල රෝස මල් පඳුරක් පමණක් සුළගකට හසුවු කලෙක මෙන් දැඩිව සෙලවෙන ආකාරයයි. එයින් තරමක් පුදුමයට පත්වන ඇය ඒ දර්ශනය දෙස විමසිලිමත්ව බලා සිටිය දී පර්වතයේ වු ගුහාව අභ්‍යන්තරයෙන් සුදෝ සුදු ඇඳුමින් හා හිස පලදනාවකින් ද, බඳවටා නිල් පටියකින් සැරසුණු අතෙහි ජපමාලය රැගත් ඉතා 'සුන්දර වූ කාන්තාවක්' ඇයට ඒ මොහොතේ දර්ශනය විය.

අතීශය සුන්දර කාන්තාව මඳ සිනාහවක් නගා කුඩා බරනදෙත් දෙසට පා ඔසවත්ම ඇය සුරතින් ජපමාලය ගෙන දණ ගසන ලදි. ඒ ක්‍රියාව අනුමත කළ ආකාරයෙන් එම කාන්තාවත් ජපමාලය උච්චාරණය කරන අයුරු බර්නදෙත්ට දර්ශනය විය. ජපමාලය අවසානයේ මෙනෙහි කරන අභිරහස් උච්චාරණයට ඇය ද සම්බන්ධ විය. ජපමාලය අවසානයේ කාන්තාව නොපෙනි යන අතර ඉන් පසුව අනෙක් දැරියන් දෙදෙනා තමන්ගේ දරමිටි රැගෙන බරනදෙත් සොයා පැමිණයෝය. එම දැරියන් දෙදෙනා මෙම දර්ශන නොදුටු නිසා බරනදෙත් මෙම රහස ඇයගේ සොහොයුරියට පැවසූ අතර එම සොයුරිය රහස මවට පවසන ලදි.  බර්නදෙත් ගේ මව එය තම දියණියගේ මනංකල්පිත කතාවක් ලෙස නොසළකා හරින ලදි.

ඉන් දින දෙකකට පසුව එනම් පෙබරවාරි 14 වන දින නැවතත් බර්නදෙත් හා නැගණියත්, ඔවුන්ගේ යෙහෙලියත් මසබියෙල් කඳු ශිඛරය අසලට පැමිණි අතර එදින බර්නදෙත් පැමිණියේ ආසිරි පැන් ද සමගය. මෙහි දර්ශනය වන්නේ භූතයෙක් නම් ආසිරි පැන් ඉසින විට එම භූතයා පලා යනු ඇති බව බර්නදෙත් විශ්වාස කළාය. බර්නදෙත් විශ්වාස කළ ලෙසම දෙවන වරටත් එම 'සුන්දර කාන්තාව' දර්ශනය වූ විට ඇය ආසිරි පැන් ඉසින ලද නමුත් එම 'සුන්දර කාන්තාව' ඉතාමත් සුන්දර වූ සිනහවක් ඇය වෙත හෙළන ලදි.

බර්නදෙත් ට නැවතත් එම සුන්දර කාන්තාව පෙබරවාරි 18 වන දින දී දර්ශනය වී දින පහළවක් එක දිගටම එම ස්ථානයට පැමිණ යාච්ඤා කරන ලෙස ඇයගෙන් ඉල්ලීමක් කළාය. 

මෙම සිදුවීම ලූර්දු ග්‍රාමය පුරා ප්‍රචාරය වූ අතර ඒ නිසාම බර්නදෙත්ට මසබියෙල් පර්වතය අසලට යාමට තහංචි දමන ලදි.

නමුත් එම බාධක නොසලකා බර්නදෙත් තමාට දිගින් දිගටම දර්ශනය වූ එම 'සුන්දර කාන්තාවගේ' ඉල්ලීම ඉටුකිරීමට මසබියෙල් කඳු අසලට ගියාය. පෙබරවාරි 19 දින සිදුවූ හතරවන දර්ශනයේදී බර්නදෙත් ගේ පවුලම එම අත්දැකීම ලැබූ අතර එතෙක් එය බර්නදෙත් ගේ මනංකල්පිතයක් ලෙස සිතූ බර්නදෙත් ගේ පවුලේ අය ඇය කියූ දේ පිළිබඳ එදින පටන් විශ්වාස කරන්නට පටන් ගන්නා ලදි.

පෙබරවාරි 20 වන දින සිදු වූ පස්වන දර්ශනයේදී ආශිර්වාද කරන ලද ඉටි පන්දමක් රැගෙන විත් යාච්ඤා කරන ලෙස 'සුන්දර කාන්තාව' බර්නදෙත්ගෙන් ඉල්ලා සිටියාය. 

පෙබරවාරි 21 වන දින සිදුවූ හයවන දර්ශනයේ දී බොහෝ පිරිසක් එම ස්ථානයේ රැස්ව සිටි අතර පව්කාරයින්ගේ ජීවිත වෙනස් වීම සඳහා යාච්ඤා කරන ලෙස 'සුන්දර කාන්තාව'  ඉල්ලා සිටින්නේ එම දර්ශනයේ දී ය.

හත්වන දර්ශනය සිදු වූ පෙබරවාරි 23 බර්නදෙත් හට රහස් තුනක් දේවමාතාවන් වහන්සේ ප්‍රකාශ කොට ඇති නමුත් කිසිදිනක බර්නදෙත් එම රහස් මොනවා දැයි හෙළි කළේ නැත.

අටවන දර්ශනය පෙබරවාරි 24 සිදුවූ අතර 'පශ්චත්තාපය' යන වදන තුන් වරක් ඇය ප්‍රකාශ කොට ඇත. 

නමවන දර්ශනය සිදු වූ පෙබරවාරි 25 වන දින මසබියෙල් පර්වතය අසල ඇති දිය උල්පතින් වතුර පානය කරන්නටත් ස්නානය කරන ලෙසත්, 'සුන්දර කාන්තාව' ඉල්ලා සිටියා ය.

එවිට ඒ අසල දිය පහරක් නොතිබුණු බැවින් බර්නදෙත් තම දෑතින් පොළව හාරන්නට පටන් ගත් විට දිය උල්පතක් මතු විය. (අදටත් එම ස්ථානයේ දිය උල්පත දැක ගත හැකි අතර දිනකට ගැලුම් 27000 කි පමණ ඉන් ජලය සැපයෙන අතර ලූර්දු පැමිණෙන සියලු දෙනා පානය කරන්නේ සහ ස්නානය කරන්නේ මෙම ජලයෙනි.)

පෙබරවාරි 28 වන දින සිදුවූ එකොළොස් වන දර්ශනයේදී එම ස්ථානයේ දේවස්ථානයක් ගොඩනගන ලෙසද, පෙරහැරින් එම දෙව්මැදුරට පැමිණෙන ලෙසද 'සුන්දර කාන්තාව' ඉල්ලා සිටියාය.

මෙම 'සුන්දර කාන්තාවගේ' ඉල්ලීම එවකට එම ප්‍රදේශය භාරව කටයුතු කළ ගරු පියවරුන්ට දැන්වුව ද ඔවූහූ එය එකහෙළාම ප්‍රතික්ෂේප කරන ලදි. 

මාර්තු 25 සිදු වූ දහසයවන දර්ශනයේ දී මෙම 'සුන්දර කාන්තාව' තමන් නිර්දෝෂ පිළිසිඳීමේ මාතාව ලෙස ඇයව හඳුන්වා දෙන ලදි. දේව මාතාවන් තමන් කවුදැයි බර්නදෙත් සහ රැස්ව සිටි සියලු දෙනාට හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව මෙය විය.

සිය දහස් ගණන් ජනයා මෙම ස්ථානයට ඇදී එන්නට පටන් ගත් අතර යාච්ඤාව, ජීවිත වෙනස් වීම, රෝග සුව වීම සහ ප්‍රාතිහාර්යයන් ආදිය මෙම ස්ථානය කේන්ද්‍ර කොට ගෙන සිදු වන්නට පටන් ගැනුණි. 1862 ජනවාරි 18 එම ප්‍රදේශය භාරව සිටි රදගුරු තුමා විසින් මෙම ස්ථානය විශේෂිත වන්දනා ස්ථානයක් ලෙස ප්‍රථම වරට පිළිගන්නා ලදී.

1876 ජූනි 3 දින නමවන පියුස් ශුද්ධෝත්තම පියතුමා විසින් ලූර්දුව 'ඉතා විශේෂ වන්දනා ස්ථානයක්' ලෙස කතෝලික සභාව තුළ නිල වශයෙන් පිළිගන්නා ලදී.

ලූර්දු මාතාවන්ගේ මංගල්‍යය සෑම වසරකම ශු බර්නදෙත් තුමියට දේවමාතාවන් පළමුවරට දර්ශනය වූ පෙබරවාරි 11 වැනි දින සමරනු ලැබේ.

 


Post a Comment

0 Comments