꧁☆༒☬✟✟ 2022 පෙබරවාරි 12 ✟✟☬༒☆꧂



                                2022 පෙබරවාරි 12 සෙනසුරාදා සාමාන්‍ය සමය පස්වන සතිය            

පළමු කියවීම 1 රාජාවලිය12:26-32; 13:33-34

26තවද, ජෙරොබෝවම් කල්පනා කරමින්, ‘දැන් තිබෙන තත්ත්වය අනුව මේ රාජ්‍යයේ සෙනඟ දාවිත්ගේ වංශයට හැරී යනු ඇත. 27මේ සෙනඟ ජෙරුසලමේ තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පූජා ඔප්පු කරන්න ගියොත්, මේ සෙනඟගේ සිත් තම ස්වාමීන් වූ ජුදාවරුන්ගේ රජ වන රෙහොබෝවම් වෙත ඇදී යන්නේ ය, එවිට ඔවුන් මා මරාදමා ජුදාහි රජ වන රෙහොබෝවම් වෙත හැරී යනු ඇතැ’යි සිතී ය.
28 මෙසේ රජ කල්පනා කොට රන් වස්සන් දෙන්නෙකු සාදා සෙනඟට කතා කොට, “පූජා කිරීම පිණිස ඔබ ජෙරුසලමට මෙතෙක් කල් ගියා ඇති. ඉශ්රායෙල්වරුනි, මිසර දේශයෙන් ඔබ ගෙනා ඔබේ දෙවිවරු මේ ය”යි ඔවුන්ට කී ය. 29ඔහු එකෙකු බෙතෙල්හි සිටුවා අනිකා දාන්හි තැබී ය. 30මෙසේ කිරීම පාපයක් විය. මන්ද, මිනිස්සු ඒ ඉදිරියෙහි වඳින පිණිස දාන් දක්වා ගියෝ ය. 31තවද, ඔහු ගිරිකුළු දේවාල සාදා, ලෙවීගේ වංශයට අයත් නුවූ අය මුළු සෙනඟ අතරෙන් පූජකයන් වශයෙන් පත් කෙළේ ය.
32  ජුදාහි පවත්වන මංගල්‍යය මෙන් ජෙරොබෝවම් අට වන මාසයේ පසළොස් වන දින මංගල්‍යයක් නියම කොට පූජාසනය පිට පූජා ඔප්පු කෙළේ ය. ඔහු බෙතෙල්හිදීත් එසේ ම කරමින් තමා සෑදූ වස්සන්ට පූජා කෙළේ ය. ඔහු තමා සෑදූ ගිරිකුළු දේවාලවල පූජකයන් බෙතෙල්හි සිටෙවුවේ ය. 
33මේ සිද්ධියට පසු ව වුව ද, ජෙරොබෝවම් තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරී, නැවතත් සියලු මිනිසුන්ගෙන් ගිරිකුළු දේවාලවලට පූජකයන් පත් කෙළේ ය. කැමැති වූ කොයි අය නමුත්, ගිරිකුළු දේවාලවල පූජකයන් වීමට ඔහු කැප කෙළේ ය. 34මේ කරුණ වූකලී ජෙරොබෝවම්ගේ වංශය පහකොට මිහි පිටින් විනාශ කිරීමට ඔවුන් කෙරෙහි පාපයක් විය.

පිළිතුරු ගීය ගීතාවලිය  106:6-7AB, 19-20, 21-22

6 අපි අපේ පියවරුන් මෙන් පව් කෙළෙමු;
නපුරුකම් කෙළෙමු;
දුෂ්ට ලෙස ක්‍රියා කෙළෙමු.
7අපේ පියවරු මිසරයේ දී ඔබේ පුදුම ක්‍රියා තේරුම් නොගත්තෝ ය.
ඔබේ අසීමිත ප්‍රේමය සිහි නොකළෝ ය.
රතු මුහුද ළඟ දී මහෝත්තමයාණන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය.
19 ඔව්හු හොරෙබ් කන්දෙහි වස්සෙකු සාදා වාත්තු රූපයකට නමස්කාර කළෝ ය.
20මෙසේ ඔව්හු, දෙවිඳුන්ගේ මහිමය තණ බුදින ගවයෙකුගේ ස්වරූපයට වෙනස් කළෝ ය.
21මිසරයේ දී බලවත් ක්‍රියා කර, ඔවුන් ගළවාගත් දෙවිඳුන් ඔව්හු අමතක කළෝ ය.
22එතුමාණෝ, ඒ දේශයේ දී අරුමපුදුම ක්‍රියා ද රතු මුහුද ළඟ බියකරු ක්‍රියා ද කළ තැනැන් වහන්සේ නොවන සේක් ද?

ආලේලූයියා මතෙව් 4:4B

“ ‘මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව; 
දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය’
කියා ලියා ඇතැ”යි

සුබාරංචිය මාක් 8:1-10

1ඒ දවස්වල දී නැවත මහත් සමූහයක් රැස් වූයෙන්, ඔවුන්ට කෑමට කිසිවක් නොතිබුණු නිසා උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා, 2“මේ සමූහයා ගැන මට ඉතා කණගාටු ය. ඔව්හු දැනට තුන් දිනක් මා සමඟ සිටිති. කෑමට කිසිවක් ඔවුන්ට නැත. 3කුසගින්නෙන් ගෙදර යන්න හැරියොත්, ඔවුන් මඟ දී ක්ලාන්ත වනු ඇත, ඔවුන්ගෙන් සමහරෙක් දුර සිට ඇවිත් සිටිති”යි වදාළ සේක. 4උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උත්තර දෙමින්, “මෙවැනි පාළුකරයක මොවුන්ට කොහෙන් කෑම සපයා දෙන්න දැ”යි උන් වහන්සේගෙන් ඇසුවෝ ය. 5“ඔබ ළඟ රොටි කීයක් තිබේ දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. “සතක්”යයි ඔව්හු කී හ.
6එවිට උන් වහන්සේ සමූහයාට බිම ඉඳගන්න අණ දී, රොටි සත ගෙන තුති පුදා කඩා, ඒවා ඔවුන් ඉදිරියේ තබන පිණිස ශ්‍රාවකයන්ට දුන් සේක. ඔව්හු එය සමූහයා ඉදිරියේ තැබූ හ. 7ඔවුන් ළඟ කුඩා මසුන් ස්වල්පයක් ද විය. උන් වහන්සේ ආශීර්වාදය පවසා, එය ද ඔවුන් ඉදිරියේ තබන්න අණ කළ සේක. 8ඔව්හු ද කා තෘප්තියට පැමිණියාහ. ඉතිරි වූ කැබෙලි එක් කොට කූඩා සතක් පුරවාගත්හ. 9එහි සෙනඟ හාරදහසක් පමණ වූ හ. උන් වහන්සේ ඔවුන් යන්න හැරිය සේක. 10එකෙණෙහි ම උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ ඔරුවකට නැඟී දල්මනූතා පළාතට වැඩිය සේක.

Post a Comment

0 Comments