2022 පෙබරවාරි 6 ඉරිදා සාමාන්‍ය සමය පස්වන සතිය
පළමු කියවීම යෙසායා 6:1-2A, 3-8
1 උශ්ශියා රජු මරණයට පත් වූ අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ උස් වූ උදාර වූ සිංහාසනයක් මත වැඩ හිඳිනු මම දිටිමි. උන් වහන්සේගේ සළුවෙන් දේව මාලිගාව පිරී තිබුණේ ය. 2සෙරාප්වරු උන් වහන්සේ සිසාරා සිටියෝ ය.
3එක් කෙනෙක් අනිකෙකුට හඬගසමින් මෙසේ කී ය:
“සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය.
සව් බලැති සමිඳාණන් වහන්සේ සුවිශුද්ධ ය.
උන් වහන්සේගේ තේජසින් මුළු ලොව පිරී ගියේ ය.”
4 ඔවුන්ගේ මොරගැසීමේ හඬට දේව මාලිගාවේ අත්තිවාරම සෙලවුණේ ය; දේව මාලිගාව ද දුමෙන් පිරුණේ ය.
5එවිට මම මෙසේ කීමි: “අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.”
6එවිට සෙරාප්වරුන්ගෙන් එක් කෙනෙක් අඬුවකින් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් රැගෙන මා ළඟට පියාසර කර අවුත්, 7එය මාගේ මුඛයෙහි තවරා, “මෙය නුඹේ තොල්වල තැවරුණේ ය; මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේ ය; නුඹේ පාපය කමා කරන ලද්දේ ය”යි කී ය. 8එවිට, “මම කවරෙකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවරෙක් දැ”යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ මට ඇසුණේ ය. මම ද, “මෙන්න, මම මෙහි ය, මා යැව්ව මැනවැ”යි කීමි.
පිළිතුරු ගීය ගීතාවලිය 138:1-2, 2-3, 4-5, 7-8
1සමිඳාණන් වහන්ස, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි.
දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි.
2ඔබේ ශුද්ධ මාලිගාව දෙස බලා නමස්කාර කරමින් ඔබේ කරුණා ගුණය සහ විශ්වාසවන්තභාවය නිසා ඔබේ නාමයට තුති පුදන්නෙමි.
ඔබේ නාමයත්, ආඥාත් උත්තරීතර බව ඔබ පෙන්වූ සේක.
3මා ඔබ යැදි දවසේ දී ඔබ මට පිළිතුරු දුන් සේක;
මාගේ සිත සවි කොට, මට ධෛර්යය දුන් සේක.
4සමිඳුනි, මෙලොව සියලු රජවරු ඔබේ පොරොන්දු ඇසූ බැවින් ඔබට තුති පුදන්නෝ ය.
5එසේ ය, සමිඳුන්ගේ මහිමය උතුම් වන්නේ ය;
ඔව්හු සමිඳුන්ගේ මාර්ග ගැන ගී ගයන්නෝ ය.
6සමිඳාණෝ උසස් නමුත්, පහත් අය සලකන සේක.
එහෙත්, උඩඟු අය දුර සිට ම හැඳිනගන්න සේක.
7මම විපත්ති මැද හැසිරෙම් නමුත් ඔබ මා රැක බලාගන්න සේක.
ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධ ව ඔබේ හස්තය දිගු කරන සේක.
ඔබේ සුර’තින් ඔබ මා ගළවන සේක.
8සමිඳාණෝ මා සම්බන්ධ ව අදහස් කරන දේ ඉටු කරන සේක.
සමිඳුනි, ඔබේ ප්‍රේමය සදා පවත්නේ ය.
ඔබ ඇරඹුවා වූ දේ නිම කළ මැනව.
දෙවන කියවීම 1 කොරින්ති 15:1-11 Or 1 Corinthians 15:3-8, 11
1තවද, සහෝදරවරුනි, මා ඔබට දේශනා කළ සුබ අස්න වෙත ඔබගේ අවධානය දැන් යොමු කරනු කැමැත්තෙමි. ඔබ එය පිළිගත්තහු ය; එහි පිහිටා සිටින්නහු ය. 2ඒ මඟින් ඔබ ගැළවීම ලබන්නහු ය. එසේ වන්නේ මා ඔබට දෙසූ ලෙස ම, ඒ සුබ අස්න නිසැක ව පිළිගෙන, එය නිෂ්ඵල නොවන ලෙස විශ්වාස කළොත් පමණකි.
3 මා ඔබට බාර දුන්නේ මා ලබාගත් දෙය ම බව ප්‍රධාන කොට කිව යුතු ය. එනම් ශුද්ධ ලියවිල්ල ප්‍රකාර ක්‍රිස්තුන් වහන්සේ අපගේ පාප උදෙසා මළ බවත්, 4 වළලනු ලැබූ බවත්, ශුද්ධ ලියවිලි ප්‍රකාර තුන් වන දා උත්ථාන කරනු ලැබූ බවත්, 5 කේපස්ට හා පසුව දොළොස් දෙනාට දර්ශනය වූ බවත් ය. 6ඉන්පසු උන් වහන්සේ පන් සියයකට වැඩි සහෝදර සමූහයකට එක විට ම දර්ශනය වූ සේක. මොවුන්ගෙන් සමහරුන් මියගිය ද, වැඩි දෙනා තවමත් ජීවත් ව සිටිති. 7ඉන්පසු උන් වහන්සේ ජාකොබ්ට ද අනතුරුව සියලු අපෝස්තුළුවරුන්ට ද දර්ශනය වූ සේක.
8 අවසන් වශයෙන් අකලට උපන්නෙකු වැනි මට ද උන් වහන්සේ දර්ශනය වූ සේක. 9 මන්ද, මම අපෝස්තුළුවරයන්ගෙන් ඉතා සුළු තැනැත්තා ය. දෙවියන් වහන්සේගේ සභාවට පීඩා කළ බැවින් අපෝස්තුළුවරයෙකැ යි කියනු ලබන්නට වත් මම නොවටිමි. 10එහෙත් මම යම් තත්ත්වයකට පැමිණ සිටිම් ද, එසේ පැමිණ සිටින්නේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ය. උන් වහන්සේ මට දුන් වරප්‍රසාදය නිෂ්ඵල නො වී ය. ඇත්තට ම මම ඔවුන් සියල්ලන්ට ම වඩා බොහෝ සෙයින් වැඩ කෙළෙමි. එහෙත් එසේ කෙළේ මා නොව මා තුළ වූ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ය. 11එබැවින් මා වේවා, ඔවුන් වේවා, අප දේශනා කරන්නේ එක ම පණිවුඩය යි. ඔබ එය අදහාගත්තහු ය.
ආලේලූයියා මතෙව් 4:19
“මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක.
සුබාරංචිය ලුක් 5:1-11
1 දිනක් උන් වහන්සේ ගෙන්නෙසරෙත් විල අසල සිටිය දී, සමූහයා දෙවියන් වහන්සේගේ දහම් පණිවුඩය අසනු පිණිස උන් වහන්සේ වටා තෙරපි තෙරපී සිටි කල, 2විල අයිනේ ඔරු දෙකක් තිබෙනු උන් වහන්සේ දුටු සේක. ධීවරයෝ ඒවායින් බැස විත් දැල් සෝදමින් සිටියහ. 3උන් වහන්සේ ඒ ඔරුවලින් එකක් වූ සීමොන්ගේ ඔරුවට නැඟී එය වෙරළින් මඳක් ඈතට දියත් කරන්න කියා එහි වැඩහිඳ, සමූහයාට අනුශාසනා කළ සේක. 4එය නිම වූ කල උන් වහන්සේ සීමොන්ට කතා කොට, “මසුන් අල්ලන පිණිස දියඹට ගොස් දැල් හෙළන්නැ”යි වදාළ සේක. 5 සීමොන් පිළිතුරු දෙමින්, “ස්වාමීනි, රෑ මුළුල්ලේ ම වෙහෙස වූ නමුත් අපි කිසිවක් නොලදිමු. එහෙත් ඔබ කියන සේක් නම් දැල් හෙළමි”යි කී ය. 6 එසේ කළ විට ඔව්හු මසුන් මහා රාශියක් අල්ලාගත්හ. ඔවුන්ගේ දැල් ද ඉරෙන්නට වන. 7ඔව්හු ද තමන්ගේ උදව්වට එන ලෙස අනික් ඔරුවෙහි සිටි හවුල් කාරයන්ට සංඥා කළහ. ඔව්හු අවුත් ඔරු දෙක කිඳා බසින තරමට පුරවාගත්හ. 8සීමොන් පේදුරු ඒ දැක, ජේසුස් වහන්සේගේ පාමුල දණින් වැටී, “ස්වාමීනි, මා වෙතින් ඉවත් වනු මැනව, මම පව්කාර මිනිසෙකැ”යි කී ය. 9මන්ද, ඔහු ද ඔහු සමඟ සිටි සියල්ලෝ ද තමන් ඇල්ලූ මසුන් රාශිය දැක විස්මිත වූ හ. 10සීමොන්ගේ හවුල්කාරයන් වූ සෙබදීගේ පුත් ජාකොබ් ද ජොහන් ද එසේ ම විස්මිත වූ හ. ජේසුස් වහන්සේ සීමොන්ට කතා කරමින්, “බිය නොවන්න, මෙතැන් සිට ඔබ මිනිසුන් දිනනු ඇතැ”යි වදාළ සේක. 11ඔව්හු තමන්ගේ ඔරු වෙරළට ඇද ඒ සියල්ල හැරදමා උන් වහන්සේ අනුව ගියහ.

0 Comments