꧁☆༒☬✟✟ 2022 පෙබරවාරි 27 ✟✟☬༒☆꧂




                              2022 පෙබරවාරි 27 ඉරිදා සාමාන්‍ය සමය අටවන සතිය            

පළමු කියවීම සිරාක්  27:4-7

4පිටි හලන පෙණේරයෙහි රොඩු ඉතුරු වන්නේ ය.
එසේ ම, මනුෂ්‍යයෙකුගේ අඩුලුහුඬුකම් ඔහුගේ කතාවෙන් හෙළි වන්නේ ය.
5කුඹලාගේ භාජන පෝරණුවෙහි පරීක්ෂා කර බලනු ලැබේ.
මිනිසෙකු පරීක්ෂා කරනු ලබන්නේ ඔහුගේ කතාවෙනි.
6ගස වැවෙන පලතුරු වත්තේ තත්ත්වය එහි ගෙඩිවලින් දැනගත හැකි ය.
එසේ ම, මනුෂ්‍යයෙකුගේ කතාවෙන් ඔහුගේ හැඟීම් දැනගත හැකි ය.
7කතා කරන්නට පෙර කිසිවෙකුට ප්‍රශංසා නොකරන්න.
ඔවුන්ගේ උරගල ඇත්තේ එහි ය.

පිළිතුරු ගීය ගීතාවලිය 92:2-3, 13-14, 15-16

2උදෑසන ඔබේ පෙම පැවසීම හොබනේ ය.
රෑ යාමයේ දී ඔබේ විශ්වාසවන්තකම පැවසීම යහපත් ය.
3තත් දසයේ වීණාවේ හා කුඩා වීණාවේ වාදන මඟින් ද මහ වීණාවේ තනුවට ද ඔබේ ගුණ වැණීම හොබනේ ය.
13සමිඳුන්ගේ නිවෙසෙහි ඔබ ඒවා රෝපණය කළ සේක.
දේව මණ්ඩපයෙහි ඒවා සරු ලෙස වැඩෙන්නේ ය.
14වයස ගිය පසු පවා ඒවා පලදාව දෙන්නේ ය;
සාරවත් ව නිල් පැහැ ව ඒවා පවතින්නේ ය.
15එසේ වන්නේ, සමිඳාණන් සාධාරණ බව ද මාගේ ආරක්ෂකයාණන් තුළ වරදක් නොමැති බව ද දක්වනු පිණිස ය.

දෙවන කියවීම 1 කොරින්ති 15:54-58

54 දිරන සුලු මේ ස්වභාවය නොදිරන සුලු බවටත්, මැරෙන සුලු මේ ස්වභාවය අමරණීයත්වයටත් පැමිණි කල්හි “මරණය පැරදිණි; ජය අත්විණි”යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන වචන සම්පූර්ණ වේ.
55  “එම්බා මරණය, තාගේ ජය කොයි ද?
එම්බා මරණය, තාගේ විෂ දළය කොයි ද?”
56මරණයේ විෂ දළය පාපයයි. පාපයේ බලය ව්‍යවස්ථාවයි. 57එහෙත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන අපට ජය අත් කර දෙන දෙවියන් වහන්සේට ස්තුති වේ වා!
58එහෙයින් මාගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, සමිඳාණන් වහන්සේ තුළ ඔබගේ සේවය නිරර්ථක නොවන බව ඔබ දන්නා බැවින් ස්ථිර වන්න. නොසෙල් වී සිටින්න. සමිඳාණන් වහන්සේගේ සේවයෙහි අධික ලෙස නිරතවන්න.

ආලේලුයියා  පිලිප්පි 2:15D, 16A

15එවිට ඔබ නිදොස් හා අහිංසක වන්නහු ය. ඔබ වංක, හිතුවක්කාර පරම්පරාවක් මධ්‍යයෙහි, දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන් ව, 16ඔවුන් අතර ජීවන පණිවුඩය ප්‍රදානය කරමින්, අඳුරු ලෝකයක දීප්තිමත් තාරකා මෙන් බබළන්නහු ය. 

සුබාරංචිය ලූක් 6:39-45

39  තවද, උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක: “අන්ධයෙකුට මඟ පෙන්වීමට අන්ධයෙකුට හැකි ද? ඔවුන් දෙදෙනා ම වළක වැටෙන්නේ නැද් ද? 40 ගෝලයා ගුරුවරයාට වඩා උසස් නොවේ. එහෙත්, පූර්ණ පුහුණුව ලත් සැම දෙන ම තම ගුරුවරයා හා සම වන්නෝ ය. 41ඔබේ ම ඇසෙහි තිබෙන ලී කොටය නොබලා සහෝදරයාගේ ඇසෙහි තිබෙන ලී කුඩ සොයන්නේ මන් ද? 42නොහොත් ඔබේ ම ඇසෙහි තිබෙන ලී කොටය නොබලා, ‘සහෝදරය, ඔබේ ඇසෙහි තිබෙන ලී කුඩ ඉවත ලන්නට ඉඩ දෙන්නැ’යි සහෝදරයාට කියන්නට ඔබට කෙසේ හැකි වේ ද? කෛරාටික ය, පළමු කොට ඔබේ ම ඇසින් ලී කොටය ඉවත ලන්න. එවිට සහෝදරයාගේ ඇසෙහි තිබෙන ලී කුඩ ඉවත ලන්න ඔබට මැනවින් පෙනෙනු ඇත.”
43“නරක පල දෙන හොඳ ගසක් වත්, හොඳ පල දෙන නරක ගසක් වත් නැත. 44 එක එක ගස එහි පලවලින් හඳුනාගනු ලැබේ. මිනිස්සු කටු ගස්වලින් අත්තික්කා පල නෙළා නොගනිති; ගොකටු පඳුරකින් මිදි පල කඩා නොගනිති. 45 යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙයින් යහපත් දෙය ද, අයහපත් මිනිසා අයහපත් දෙයින් අයහපත් දෙය ද උපදවයි. මන්ද, සිතෙන් උතුරා යන දෙය කටින් පිට වේ.”



Post a Comment

0 Comments