꧁☆༒☬✟✟ 2022 පෙබරවාරි 22 ✟✟☬༒☆꧂

 



                             2022 පෙබරවාරි 22 අඟහරුවාදා සාමාන්‍ය සමය හත්වන සතිය            

පළමු කියවීම 1 පේදුරු5:1-4

1  ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීමට සාක්ෂිකාරයෙකු ද එළිදරව් වන්නට තිබෙන උන් වහන්සේගේ තේජසට පංගුකාරයෙකු ද වන්නට බලාපොරොත්තුවෙන් සිටින සභා මූලිකයෙකු වන මම, ඔබ අතර සිටින සභා මූලිකයන්ගෙන් ඉල්ලීමක් කරමි: 2ඔබට භාර දෙන ලද දෙවියන් වහන්සේගේ බැටළු රැළ පෝෂණය කරන්න; බල කිරීමක් නිසා නොව දේව කැමැත්ත අනුව සතුටු සිතින් එසේ කරන්න; මුදලට ඇති ගිජුකමින් නොව, සේවයට ළැදියාවෙන් එසේ කරන්න. 3ඔබට භාර ව සිටින අය කෙරෙහි ආධිපත්‍යය පෑමෙන් වැළකී රැළට ආදර්ශයක් වන්න. 4එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශ වන කල්හි ඔබ නොමැලවෙන මහිමාන්විත කිරුළ ලබන්නහු ය.

පිළිතුරු ගීය ගීතාවලිය 23:1-3A, 4, 5, 6

1සමිඳාණෝ මා එඬේරාණෝ ය;
අග හිඟ මට නොවන්නේ ය.
2 එතුමාණෝ නිල් තණ බිම් මත මා සතප්වා, නිසල දිය වෙත පමුණුවා,
3මා පණගන්වන සේක.
සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිටු මඟ මා ගෙන යන සේක.
4මරණය වැනි ගන’ඳුරු රුදුරු නිම්නය මැදින් ගියත්, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේ ය.
ඔබේ කෙවිට ද සැරයටිය ද මා නියත සැනසිල්ල වන්නේ ය.
5ඔබ මාගේ සතුරන් ඉදිරියේ දී, මංගල බොජුනක් පිළියෙළ කර දී, මා සිරස තෙලින් ආලේප කරන සේක.
මාගේ කුසලාන උතුරා යන්නේ ය.
6ඔබේ දයාව හා කරුණාව නියත ව, දිවිහිමියෙන් මා අනුව එන්නේ ය.
සමිඳුන්ගේ නිවාසය මාගේ සදාතන වාසය වන්නේ ය.

ආලේලූයියා මතෙව්16:18

18 මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය.

සුබාරංචිය මතෙව් 16:13-19

13ජේසුස් වහන්සේ පිලිප්පි කායිසාරියේ පෙදෙස්වලට පැමිණි කල, “මනුෂ්‍ය-පුත්‍රයාණෝ කවරෙක් ය කියා මිනිස්සු කියත් දැ”යි සිය ශ්‍රාවකයන්ගෙන් ඇසූ සේක. 14 ඔව්හු කතා කොට, “සමහරෙක්, ‘ස්නාවක ජොහන් ය’ කියා ද සමහරෙක්, ‘එලියා ය’ කියා ද, අන් සමහරෙක් ‘ජෙරෙමියා නොහොත් දිවැසිවරයන්ගෙන් කෙනෙක් ය’ කියා ද කියති”යි කී හ. 15“එහෙත් ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. 16 සීමොන් පේදුරු උත්තර දෙමින්, “ඔබ ක්‍රිස්තුවරයාණෝ ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කී ය. 17ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ජෝනාගේ පුත් සීමොන්, ඔබ ඉතා භාග්‍යවන්ත ය. මන්ද, ස්වර්ගයෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මඟකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේ ය. 18මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය. 19 ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි දී යමක් බඳින්නෙහි ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නෙහි ද එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය”යි වදාළ සේක. 



Post a Comment

0 Comments