✟✯✯ශු. පේදුරු අපෝස්තුළුතුමන්ගේ ශුද්ධාසනයේ මංගල්‍යය ✯ ✯ ✟



ශුද්ධ සභා මාතාව දේව වන්දනා වසරේ මංගල්‍යයන් අතර පෙබරවාරි මස 22 දින ශු. පේදුරු අපොස්තුළුතුමන්ගේ ශුද්ධාසනයේ මංගල්‍යය සමරනු ලබයි.  ලතින් බසින් Cathedra Petri ලෙස හැඳින්වෙන මෙම මංගලෝත්සවය තුළින් රෝමයේ ශුද්ධ පේදුරු තුමන්ගේ නිල අසුන සංකේතවත් කරයි.

ශාන්ත පේදුරුතුමාගේ පාප් පදවියේ මංගල්‍යය මෙන්ම රෝමයේ පළමු රදගුරුවරයා වීමේ මංගල්‍යය ද අද සමරනු ලබයි.

ශු. පේදුරු තුමාගේ ශුද්ධාසනය හෙවත් නිල අසුන 

ආසන දෙව්මැදුර යනු රදගුරුතුමන්ගේ නිල දෙව්මැදුර වේ. එය පදවියේ හදවත මෙන්ම කේන්ද්‍රස්ථානය යැයි නම් කළ හොත් නිවැරදි වේ. cathedra ලතින් වචනයේ අර්ථය 'ආසනය' වේ. එය ග්‍රීක වචනයෙන් καθέδρα නමින් හැදින්වෙන අතර රදගුරුතුමන්ගේ නිල අසුන සහිත දේවස්ථානය  “ආසන දෙව්මැදුර" Cathedral යනුවෙන්  නුතනයේ ව්‍යවහාර වේ. 

4 වන ශතවර්ෂයේදී ඉතාලිය, ගෝල්දේශය, ස්පාඤ්ඤය සහ උතුරු අප්‍රිකාව යන රටවල  ආසන දෙව්මැදුරු  ස්ථාපිතව පැවතුණු බව සදහන් වුණිද, විශ්ව සභාව තුළ මෙම සම්ප්‍රදාය ස්ථාවර වුයේ 12 වන සියවසේදී බව සදහන් වේ. 

රෝම රදගුරුතුමන් වූ ශුද්ධෝත්තම පියතුමාගේ ගුරු ආසනය හෙවත් නිල ආසනය පිහිටා ඇත්තේ ජෝන් ලැටරන් බැසිලිකාව  තුළ වන අතර , රෝම රදගුරුතුමන් සහ විශ්ව සභාවේ නායකයාණන් ලෙස ශුද්ධෝත්තම පියතුමා සමස්ථ සභාවටම තම අවවාද අනුශාසනා හා නීති නියෝග නිකුත් කරනු ලබන ප්‍රධාන ස්ථානය ද මේ ගරු ආසනය වේ. ශු. සභා සම්ප්‍රදාය තුළ මෙලෙස  ආසනයක් මත සිට සිදුකරනු ලබන ප්‍රකාශන ඉතා ප්‍රබල මෙන්ම බලසම්පන්නය.  බොහෝ ආසන දෙව්මැදුරු වල මෙම රදගුරු ආසනය ඉතා දර්ශනීය ලෙස නිරූපණය කර ඇති අතර, එමගින් පදවියේ උත්තම පුජකයා සහ ගුරුවරයා රදගුරු හිමිපාණන් බව සංකේතවත් කෙරේ. සභා සම්ප්‍රදායට අනුව රදගුරුතුමෙකුට අනන්‍ය වූ ආදර්ශ පාඨයක් සහ නිල ලාංඡනයක් මෙන්ම මුද්‍රාවක් ද පවතී. රෝම  රදගුරුතුමන් වන  ශුද්ධෝත්තම පියතුමාගේ ගරු ආසනය හෙවත් නිල ආසනය පිහිටා ඇත්තේ රෝමයේ ජෝන් ලැටරන් බැසිලිකා දෙව් විමන තුළ වන අතර , රෝම රදගුරු තුමන් සහ විශ්ව සභාවේ නායකයාණන් ලෙස ශුද්ධෝත්තම පියතුමා සමස්ත සභාවට ම තමා අවවාද අනුශාසනා හා නීති නියෝග නිකුත් කරනු ලබන ප්‍රධාන ස්ථානයද මේ ගරු ආසනය ලෙස සැලකේ. මෙලෙස සභා සම්ප්‍රදාය තුළ ආසනයක් මත සිට සිදු කරනු ලබන ප්‍රකාශන ඉතා ප්‍රබල මෙන්ම බලසම්පන්නය. සභා ධූරාවලිය තුළ සභා අධිකාරිත්වය තුළ නිල අසුන වැදගත් ස්ථානයක් හිමි කරගනියි. 

ශු. සභාවේ මුල් පුරුක හා අඩිතාලම වන ශුද්ධවූ පේදුරු අපොස්තුළු තුමන්ගේ ගෞරවය පතා එතුමන්ගේ නිල ආසනය රෝමයේ ශු. පීතර බැසිලිකාවේ දක්නට ඇත. මෙම නිල ආසනය හත්වන ඇලෙක්සැන්ඩර් ශුද්ධෝත්තම පියතුමාගේ ඇරයුමින් ගියොන් බර්නි නම් ශ්‍රේෂ්ඨ කලාකරුවා විසින් දැවයෙන් නිර්මාණය කරන ලදී. මෙහි ඉහළින් පරවියෙකුගේ ස්වරූපයෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ නිරූපණය කරන අතර , මෙම නිල අසුන දෙපස පෙරදිග සහ බටහිර සභාව නියෝජනය කරමින් සභා පීතෘවරුන් ද නියෝජනය කර ඇත. පෙරදිග සභාව නියෝජනය කරමින් ශු. අතනාසියුස් මුනිතුමා සහ ස්වර්ණ මුඛය යන නාමයෙන් විරුදාවලිය ලත් ශු. ජෝන් ක්‍රිසොස්තම් මුනිතුමන් ද , බටහිර සභාව නියෝජනය කරමින් ශු. අම්බ්‍රෝසි මුනිතුමන් සහ ශු. අගුස්තීනු මුනිතුමන් ද නිරූපණය කර ඇත.

අපෝස්තුලුවරුන්ගේ හා ප්‍රාණපරිත්‍යාගිවරුන්  සමරා දිව්‍ය යාගයන් සැමරීම සභා ඉතිහාසයේ මුල් යුගයේ සිට අප ලද දායාදයකි. ශුද්ධවූ පේදුරුතුමාගේ මුල් අසුනේ මංගලෝත්සවය තුන් වන සියවසේ සිටම සැමරූ බවට සාධක ඇත. පුරාවිද්‍යාත්මක සාධක වලට අනුව ප්‍රිස්කිලා කැටකොම්බ් ස් හි (රෝමයේ භූගත සොහොන්) මෙම මංගල්‍යය සැමරූ බවට ලිඛිත සාධක ඇත. මුල් කාලවලදී ජනවාරි 11ත් පෙබරවාරි 22 ත් අතර කාලයේදී මෙම මංගල්‍යය සමරා ඇති බවට සාධක හමුවේ. කල්යත්ම මනාව සංවිධානය වූ මෙම මංගල්‍යය රෝමයෙන් පිටතද ව්‍යාප්ත වූ අතර රෝමයේ ප්‍රධාන ස්ථානයක් ගනු ලැබූ මංගලෝත්සවයක් විය. එහෙත් පෙරදිග සභා විසින් මෙම මංගලෝත්සවය හඳුන්වනු ලැබුවේ  "අන්තියෝකයේ ශු. පේදුරු තුමාගේ ශුද්ධාසනයේ මංගලෝත්සවය " නමිනි. මෙලෙස රෝමයේ මෙම මංගල්‍යය ජනවාරි 18 වන දින ද , අන්තියෝකයේ දී මෙම මංගල්‍යය පෙබරවාරි 22 දින ද සමරන්නට වූ කළ ත්‍රිදෙන්තීනූ මන්ත්‍රණ සභාවෙන් පසු ශු. සභාවේ අනිවාර්‍ය අනුස්මරණ මංගලෝත්සවයක් ලෙස නිර්දේශ කරන ලදී. 1960 වසරේදී 23 වන ජුවාම් ශුද්ධෝත්තම පියතුමා විසින් නැවත වරක් මෙම මංගල්‍යය ජනවාරි 18 වන දිනට යොදා දෙවන කාණ්ඩයේ මංගලෝත්සවයක් ලෙස නිර්දේශ කරන ලදී. එහෙත් දෙවන වතිකාන මන්ත්‍රණ සභාවේ නිර්දේශ සහ ජන වන්දනා මංගලෝත්සව ලිතට අනුව මෙම මංගල්‍යය අනිවාර්ය නොවන අනුස්මරණ තත්ත්වයකට නම් කළ අතර , එහෙත් සමස්ත සභාවම සැමරිය යුතු මංගල්‍යයක් ලෙස නිර්දේශ කරන ලදී. 

ශු. පේදුරු අපොස්තුළුතුමා

ජේසුස් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයා වූ ද , මුල් කිතුනු සභාවේ නායකයා වූ ද , ශු. පේදුරු අපොස්තුළු තුමා වෘත්තියෙන් ගලීලයේ විසූ ධීවරයෙකි. මෙතුමා ගේ මුල් නාමය වූයේ " සීමොන්" ය. සීමොන් පේදුරු ලෙසින්ද හැදින්වුණු මෙතුමා ගලීලය හෙවත් ගෝලාන්ටිස් පළාතේ බෙත්සයිදා ගමෙහි ජීවත්වූ ජෝනාගේ පුත්‍රයාය.  එතුමන්ගේ සොයුරු ඇන්ඩෲතුමා ද ජේසු සමිඳුන් ගේ අපෝස්තුළුවරයකු විය. තම විවාහයෙන් පසු මෙතුමා පදිංචිව සිටියේ තම සොහොයුරු ඇන්ඩෲ සමග කපර්නාවුම් හීය. ජේසු සමිදාණෝ මෙතුමන් ව කැඳවනු ලැබුවේ ද මෙහිදීය. උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය තුළ ප්‍රධාන භූමිකාවක් මෙතුමා තුළින් විද්‍යාමාන වන්නේ ය. මේ නිසාම තමන් වහන්සේ අනාවරණය කිරීමේ මහා ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ වරමද , ආත්මයාණන් වහන්සේගේ මග පෙන්වීම  තුළ මෙතුමා ලැබුවේය. 

ජේසු සමිඳුන් ගේ ප්‍රසිද්ධ ජීවිතයේ විවිධ වූ , ප්‍රාතිහාර්යයන් , දේශනා සහ විවිධ අත්දැකීම් වලට කේන්ද්‍රගතව දායක වූ පේදුරුතුමා තාබෝර් කන්දේ උන්වහන්සේගේ අන්‍යරූපවිලාශයේ අත්දැකීම තුළ වූ දේවත්වයේ  උත්තරීතරභාවය සියැසින් දැක මනුෂ්‍ය ප්‍රතිචාරය තම මුවින්ම ප්‍රකාශ කරන ලදි.

ඇතැම් අවස්ථාවලදී මිනිස් දුර්වලකම හමුවේ ඇද වැටුනද , කරුණාබර දෙවි පියාණන්ගේ සුරැකි දෑත් වලට නතු විය. විශේෂයෙන් ජෙත්සමෙනි මල් උයනේ යාච්ඤාව පසු ජේසු සමිඳුන් ව ජුදෙව්වන් විසින් අත්අඩංගුවට පත්වීමෙන් පසු මිනිස් දුර්වලතා හමුවේ මෙතුමා උන්වහන්සේ නොහඳුනන බව ප්‍රකාශ කළද , උන් වහන්සේගේ උත්ථානයෙන් පසුව උන්වහන්සේගේ දූත මෙහෙවරට ශ්‍රාවක සංඝ ශක්තිමත් කරමින් ඔවුනට නායකත්වය දෙමින්  මෙතුමන් ක්‍රියා කළ මෙහෙවර අනූපමේය වේ.  ජේසු සමිඳුන්ගේ උත්ථානයේ  සාක්ෂිකරුවකු වූ මෙතුමා ශු. සභාවේ නායකයා වශයෙන් පත් කිරීම ස්ථීර කරන ලද්දේ උත්ථාන වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ විසින්ම ය. 

සභාවේ නායකත්වය  ස්වාමීන් වහන්සේ විසින් ම මෙතුමන් ට පවරා දෙනු ලැබූ අතර , උන්වහන්සේගේ ස්වර්ගාරෝහණ යෙන් පසු දේව මාතාවන් සහ ශ්‍රාවකයන් සමග සේනාකුළු භෝජන ශාලාවේ වෙසෙමින් ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආගමනය තෙක්  අඛණ්ඩ යැදුමෙන්  සාංඝික වූ බව සඳහන් වේ. පෙන්තකොස්ත දින දී ශුද්ධාත්මයාණන් වැඩම කළ පසු ඔව්හු සියල්ලෝම ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වී ආත්මයාණන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන් ගත් බව ක්‍රියා පොතේ සඳහන් වේ. එදින ජෙරුසලමේ සිටි විශාල ජනකාය අමතා ප්‍රථම ප්‍රසිද්ධ දේශනය සිදුකළේ ද පේදුරු තුමා විසිනි. ජෙරුසලමේ දී කළ එම දේශනාවේ ප්‍රතිඵල වශයෙන් ජුදෙව්වන් සහ අවිශ්වාස ක්යින් බොහෝ දෙනෙක් කිතුනු විශ්වාසය වැළඳ ගත්තෝය. ශුද්ධාත්ම ආගමනයෙන් පසුව ස්වාමීන් වහන්සේගේ සුභාරංචිය දේශනා කරමින් සභාවට කදිම නායකත්වය දුන් මෙතුමන්ගේ මෙහෙවර අනුපමේය වන්නේය. ක්‍රි.ව. 43 හෙරෝද් අග්‍රිපා රජු විසින් සභාවට පීඩන එල්ල කළ අවස්ථාවේදී පේදුරු තුමා ජෙරුසලම  හැරදමා අන්තියෝකියට ගියේය. එහිදී එතුමාව සිරභාරයට ගත් පසු දේවදූතයකු විසින් පුදුම ලෙස එතුමා නිදහස් කර හරින ලදී. (ක්‍රියා 12/6-11) 

නව ගිවිසුමේ 1 පේදුරු සහ 2 පේදුරු යන පොදු ලිපි දෙක මෙතුමා විසින් රචිත හෝ මෙතුමා ගේ ඉගැන්වීම් අනුසාරයෙන් සකස් කළ බවට පිළිගැනේ.  ඉන්පසු එතුමා අධිරාජ්‍යයේ අගනුවර වන රෝමයට ගියේය. එතැන් පටන් රෝමයේ සභාවේ මධ්‍යස්ථානය විය. ප්‍රථම රදගුරුතුමන් සහ පළමු ශුද්ධෝත්තම පියතුමා ලෙස සැලකෙන මෙතුමා ක්‍රි.ව. 68 දී නීරෝ අධිරාජයා විසින් මරණයට පත් කරන ලදී. නීරෝ රජු ඔහුගේ රජ මාළිගයෙහි පිහිටා තිබූ උද්‍යානයෙහි පේදුරු තුමා කුරුසියේ මරණයට තීන්දු කළේය. එතුමා මරණයට පත් කරනු ලැබුවේ , හිස පහත ටත් දෙපා ඉහළටත් සිටින සේ කුරුසේ ඇණ ගැසීමෙනි. ක්‍රි.ව. 68 දී මෙතුමා ගේ මරණය සිදුවී ඇතැයි ගණන් ගැනේ. ශු. පේදුරු තුමාගේ මෘත ශරීරය වතිකාන බැසිලිකාවේ මහා අල්තාරය යට තැන්පත් කර ඇතැයි විශ්වාස කෙරෙන අතර ප්‍රථම ශුද්ධෝත්තම පියතුමා පේදුරු තුමා ය. අනෙක් පාප්තුමන්ලා එතුමන්ගේ අනුප්‍රාප්තිකයන් වේ. 

 




Post a Comment

0 Comments