2022 පෙබරවාරි 21 සඳුදා සාමාන්‍ය සමය හත්වන සතිය
පළමු කියවීම ජාකොබ් 3:13-18
13ඔබ අතර පැණවත් නැණවත් යමෙක් සිටී ද? එසේ නම් ඔහු තමාගේ සදාචාරයෙන් ද ප්‍රඥාවෙන් ඇති වන විනීත ක්‍රියාවලින් ද එය ප්‍රකාශ කෙරේ වා. 14එහෙත් ඔබගේ සිත්වල දැඩි ඊර්ෂ්‍යාව ද, උන්නතිකාමය ද, ඇත්නම් පුරසාරම් දොඩමින් සත්‍යයට විරුද්ධ ව ක්‍රියා නොකරන්න. 15එවැනි ප්‍රඥාව ඉහළින් පැමිණෙන්නක් නොවේ. එය ලෞකික ය, කාමුක ය, අමානුෂික ය. 16මන්ද, ඊර්ෂ්‍යාවත් උන්නතිකාමයත් කොතැන ද එතැන අවුල්වියවුල් ද සියලු නපුරු ක්‍රියා ද ඇත්තේ ය. 17එහෙත් ලෝකෝත්තර ප්‍රඥාව පළමුකොට නිර්මල ය, ඊළඟට සාමකාමී ය, සානුකම්පිත ය, යුක්ති සහගත ය; එය දයාවෙන් හා යහපත් ඵලවලින් පූර්ණ ව, පක්ෂවාදිකමින් ද කුහකකමින් ද තොර ව පවතී. 18සැබෑ දමිටුකම වූකලී සාම දූතයන් සාමයෙන් වපුළ බීජවලින් නිපදවන අස්වැන්නකි.
පිළිතුරු ගීය ගීතාවලිය19:8, 9, 10, 15
8සමිඳුන්ගේ අණපනත් සාධාරණ ය;
සිතට සතොස වඩන්නේ ය.
සමිඳුන්ගේ අණසක පැහැදිලි ය;
දෙනෙතට එළිය දෙන්නේ ය,
9සමිඳුන් කෙරෙහි ගරුබිය නිර්මල ය;
එය සදහට ම පවතින්නේ ය.
සමිඳුන්ගේ විනිශ්චය යුක්තිසහගත ය;
මුළුමනින් දැහැමි වේ ම ය.
10රනට වඩා, පෙරූ රනට වඩා, එය මනහර ය;
පැණියට වඩා, මී පැණියට වඩා, එය සුමිහිරි ය.
ආලේලූයියා 2 තිමති1:10
10එහෙත් මෙය දැන් එළිදරව් කරන ලද්දේ අපේ මිදුම්කාරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීමෙන් ය. උන් වහන්සේ මරණයේ බලය බිඳදමා, ජීවනයත්, අමරණීය භාවයත්, සුබ අස්න මඟින් හෙළි කර වදාළ සේක.
සුබාරංචිය මාක් 9:14-29
14ඔව්හු ශ්‍රාවකයන් වෙත ආ කල ඔවුන් වටකරගෙන මහත් සමූහයක් සිටිනවාත්, විනයධරයන් ඔවුන් සමඟ විවාද කරනවාත් දුටුවෝ ය. 15එකෙණෙහි ම මුළු සමූහයා උන් වහන්සේ දැක ඉතා විස්මිත ව, උන් වහන්සේ සමීපයට දිව ගොස් ආචාර කළහ. 16“ඔබ ඔවුන් සමඟ කුමක් ගැන වාද කරන්නහු දැ”යි උන් වහන්සේ විනයධරයන්ගෙන් ඇසූ සේක. 17සමූහයාගෙන් එක් කෙනෙක් උන් වහන්සේට උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, මාගේ පුත්‍රයා ඔබ වෙතට ගෙනාවෙමි; ඔහුට ගොළු ආත්මයක් ආවේශ වී ඇත. 18ඒ ආත්මය ඔහු මැඩලන කොතැනක දී වුව ද ඔහු බිම හෙළයි. එවිට ඔහු කටින් පෙණ දමයි; දත්මිටි කයි; දරදඬු වෙයි. මේ ආත්මය දුරු කරන ලෙස මම ඔබේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලුවෙමි. එහෙත් ඔවුන්ට එය කළ නොහැකි වී ය”යි කී ය. 19උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “අහෝ! ඇදහිලි හීන පරම්පරාව, මා කොපමණ කල් ඔබ සමඟ සිටින්න ද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්න ද? ඔහු මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක. 20ඔව්හු උන් වහන්සේ වෙතට ළමයා ගෙනාහ. උන් වහන්සේ දුටු කෙණෙහි ම ඒ ආත්මය ඔහු තදින් සලිත කරලී ය. ඔහු ද බිම වැටී පෙරළි පෙරළී කටින් පෙණ දමන්න වන. 21“මොහුට මෙය සිදු වී කොපමණ කල් දැ”යි උන් වහන්සේ පියාගෙන් ඇසූ සේක. ඔහු උත්තර දෙමින්, “ළමා වයසේ පටන් ය, 22තවද, ඒ ආත්මය ඔහු විනාශ කරන පිණිස වරින් වර ගින්නෙහි ද වතුරෙහි ද හෙළයි. ඔබට යමක් කළ හැකි නම්, අපට අනුකම්පා කොට පිහිට වුව මැනවැ”යි කී ය. 23ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ඔබට හැකි නම්, කියා ඔබ කීවෙහි ද? අදහන්නාට සියල්ල හැකි ය”යි වදාළ සේක. 24එකෙණෙහි ම දරුවාගේ පියා, “මම අදහමි, මාගේ ඇදහිල්ල මදිකම ගැන පිහිටවුව මැනවැ”යි මොරගා කීවේ ය.
25සමූහයා එක් ව දුවගෙන එන බව ජේසුස් වහන්සේ දුටු කල උන් වහන්සේ අශුද්ධාත්මයට තරවටු කොට, “ගොළු බිහිරි ආත්මය, මොහු කෙරෙන් දුරු වෙව, තවත් මොහුට ආවේශ නොවන්නට තට අණ දෙමි”යි වදාළ සේක. 26එවිට දුෂ්ට ආත්මය මොරගසා ඔහු බොහෝ සේ සලිත කොට පිටතට ආවේ ය. ළමයා ද මළකඳක් මෙන් විය. ඒ නිසා වැඩි දෙනා “ඔහු මැරිලා ය”යි කී හ. 27එහෙත් ජේසුස් වහන්සේ ඔහු අතින් අල්ලා එසෙවූ සේක. ඔහු සිටගත්තේ ය.
28උන් වහන්සේ ගෙට පිවිසි කල ශ්‍රාවකයෝ කතා කොට, “ඒ ආත්මය දුරු කරන්න අපට නොහැකි වූයේ මන්දැ”යි උන් වහන්සේගෙන් රහසින් විචාළහ. 29උන් වහන්සේ ද “යාච්ඤාවෙන් මිස අන් මඟකින් මෙවැනි ආත්ම දුරු කළ නොහැකි ය”යි ඔවුන්ට වදාළ සේක.
0 Comments