✟✯🌷 පාතිමා අප ස්වාමි දුවගේ මංගල්‍යය 🌷✯ ✟

 


පෘතුගාලයේ ලිස්බන් අග නගරයේ සිට කිලෝමීටර 110 පමණ ඈතින් පිහිටි පාතිමා නගරයේ ඇති පාතිමා සිද්ධස්ථානය ලෝකය පුරා විසිරී සිටින  කතෝලික හා කතෝලික නොවන බැතිමතුන්ගේ ආදරය දිනාගත් ශුද්ධවූ සිද්ධස්ථානයකි.


1910 වසන්ත සෘතුවේදී ලුසියා දොස් සන්තොස් ( Lucia dos Santos), ෆ්‍රැන්සිස්කෝ (Francisco) හා ජසින්තා මාර්තෝ (Jacinta Marto) යන දරුවන් තිදෙනා 'කෝවා ද ඉරියා' ( Cova da Iria) යන ස්ථානයේ බැටළුවන් බලමින් සිටින විට දේවදූතයෙක් තෙවරක් ම දර්ශනය වූ බවත්, දේව දූතයා තමන් 'සාමයේ දේව දූතයා' සහ 'පෘතුගාලයේ ආරක්ෂක දේවදූතයා' ලෙස හඳුන්වා දුන් බවත් සඳහන් වේ. එසේම යාච්ඤාව, පරිත්‍යාගය සහ සත්ප්‍රසාද වන්දනාව සඳහා දරුවන්ට යොමුවන ලෙස එම දරුවන් තිදෙනාගෙන් දේව දූතයා ඉල්ලා ඇති බව කියැවේ. පාතිමාවේ සිදුවූ දේවමාතා දර්ශනයන් පෙළෙහි ආරම්භය මෙය විය.

නැවතත් 1917 මැයි 13 වනදා ඉහත සඳහන් කළ ස්ථානයේදීම එම දරුවන් තිදෙනාට දේවමාතාවන් වහන්සේ දර්ශනය වීය. හිරුටත් වඩා අති සුන්දර වූ දීප්තියකින් බැබළුණු ඇය ශුද්ධවු ත්‍රිත්වයට ජීවිතය කැප කරන ලෙසත්, යාච්ඤාවට යොමුවන ලෙසත් දරුවන් තිදෙනාගෙන් ඉල්ලා සිටියාය. මෙම  කාල වකවානුව පළමුවන ලෝක යුද්ධය පැවතුණු සමය විය. ලෝක යුද්ධය අවසන් වීම සඳහා ජපමාලය උච්චාරණය කිරීමට සියලු දෙනා යොමු විය යුතු බව ඇය ප්‍රකාශ කරන ලදී.

නැවතත් 1917 ජූනි 13 වන දින දෙවන වරටත් දේවමාතාවන් වහන්සේ  මෙම දරුවන් තිදෙනාට දර්ශනය වී, නිරය පිළිබඳ දර්ශනයක්  ලබා දී ඇත. එසේම ෆ්‍රැන්සිස්කෝ සහ ජසින්තාව මෙලොව ජීවිතයෙන් ඉතා ඉක්මනින් කැඳවා ගන්නා බවත්, දේවමාතාවන් වහන්සේගේ  'නිර්මල හෘදයේ බැතිය' ලොව පුරා පතළ කිරීම සඳහා ලුසී ජීවත් විය යුතු බවත් දේවමාතාවන් වහන්සේ දෙවන දර්ශනයේ දී  මෙම දරුවන් තිදෙනාට දන්වා ඇත.

මෙම දර්ශනයන් පිළිබඳව ප්‍රදේශය පුරා ප්‍රසිද්ධ වූ අතර ජනතාව වැල නොකැඩී එම ස්ථානයට පැමිණෙන්නට පටන් ගෙන ඇත. නමුත් දරුවන් තිදෙනාගේ එම ප්‍රරකාශයන් නිසා සමාජය කැළඹෙන බව චෝදනා කොට ඇති එම ප්‍රදේශය භාරව සිටි ආණ්ඩුකාරවරයා වන ආතර් සන්තොස් (Artur Santos), දරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. එමනිසා එම මාසයේ දී දේවමාතාවන් වහන්සේ අගෝස්තු 13 දර්ශනය නොවූ අතර දර්ශනය වූයේ අගෝස්තු 19 දින 'වැලින්හොස්' ( Valinhos) නැමැති ස්ථානයේ දී ය. ජපමාලය උච්චාරණය කරන ලෙස ඇය එවිට ද දරුවන්ගෙන් ඉල්ලා සිටියා ය. එසේ ම ඔක්තෝබර් 13 දින විශේෂ ලකුණක් ලබාදෙන බව ඇය දන්වා ඇත.

1917 ඔක්තෝම්බර් 13 පාතිමාවේ සිදුවූ පුදුම සහගත සිදුවීම හඳුන්වනු ලබන්නේ 'හිරුගේ ප්‍රාතිහාර්යය'  (Miracle of the Sun) ලෙසය. දේවමාතා වහන්සේගේ දර්ශනය වීම පිළිබඳව ආරංචිය ලැබුණු පනස් දහසකට අධික පිරිසක් එම ස්ථානයේ රැස්ව සිටි අතර මහා වර්ෂාවක් ඒ මොහොතේ කඩා වැටී ඇත. නමුත් වර්ෂාව අවසන් වීමත් සමගම අහසේ තිබුණු කළු වලාකුළු අතරින් මතු වූ සූර්යයා විවිධාකාර ලෙස අහස මත චලනය වන්නට පටන් ගෙන ඇත. මුළු පරිසරයම දේදුන්නක හැඩයකින් සහ අමුතුම වර්ණ වලින් පිරී ගොස් තිබේ.

දරුවන් තිදෙනා ජේසුස් වහන්සේ, වික්ෂෝප දේව මාතාවන්, කාර්මෙල් දේවමාතාවන්, ශුද්ධ වූ ජුසේ මුනිඳුන්, රැස්ව සිටි ජනතාවට ආශිර්වාද කරන ආකාරය දැක ඇත. මෙම ප්‍රාතිහාර්යය දෑසින්ම දුටු බොහෝ පිරිසක් ඒ අතර සිටි අතර පාතිමා දර්ශනය පිළිබඳ  පුවත ලෝකය පුරා ප්‍රසිද්ධ වන්නට හේතු වූයේ ප්‍රධාන වශයෙන්ම මෙම ප්‍රාතිහාර්යය වේ.

පාතිමා දර්ශනය හා බැඳුණු විශේෂ රහස් තුනක් පිළිබඳව සියලු දෙනාගේම අවධානය යොමු වන්නට පටන් ගත්තේ ය. නිරයේ දර්ශනය දැකීම පළමු රහස බවත්, නිර්මල හෘදය ට ඇති බැතිය වර්ධනය කිරීම, රුසියාවේ සිත් හැරීම සඳහා යාච්ඤා කිරීම හා පළමුවන සෙනසුරාදා දේවමාතා බැතියට යොමු විය යුතු දිනය ලෙස දෙවන රහස බවත්, ශුද්ධෝත්තම පියතුමෙකු ඝාතනය කිරීම තුන්වන රහස බවත් හඳුනා ගන්නා ලදි.

1930 දී එම ප්‍රදේශය භාරව සිටි රදගුරුතුමා විසින් පාතිමාවේ සිදුවූ සිද්ධීන් විශ්වාස කලයුතු සිද්ධීන් බවට මුල්වරට ප්‍රකාශ කරන ලදී. එසේම 'පාතිමාවේ ශුද්ධෝත්තම පියා' (Pope of Fatima) ලෙස හඳුන්වනු ලබන 12 වන පයස් ශුද්ධෝත්තම පියා විසින් 1946 මැයි 13 වන දින පාතිමාවේ ස්ථාපිත කර ඇති පාතිමා මාතාවන්ගේ ප්‍රතිමාවට ඔටුනු පළඳවන ලදී.

එසේම පැවැදි ජීවිතයට ඇතුළත් වුණු ලුසී කන්‍යා සොහොයුරිය ගේ ඉල්ලීම පරිදි 1942 දෙසැම්බර් 8 වැනිදා එම ශුද්ධෝත්තම පියාණන් විසින් රුසියාව දේව මාතාවන්ගේ නිර්මල හෘදයට කැප කරන ලදී.

1981 මැයි 13 වනදා, එනම් පාතිමාවේ මංගල්‍යය දා, වතිකානුවේ දී ශුද්ධ වූ දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමාට වෙඩි වැදුණු අතර උන් වහන්සේගේ දිවි ගැලවුණේ පාතිමා මාතාවන්ගේ මැදිහත් කම තුළ බව ප්‍රකාශ විය. ඒ නිසාම ශුද්ධවූ දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියාණන් ලැබූ එම අත්දැකීමට පාතිමාවේ දේව මාතාවන්ට ස්තූති කරමින් තම සිරුරේ තිබූ මූනිස්සම 1987 මැයි 13 වැනිදා පාතිමා මාතාවන්ගේ ප්‍රතිමාවේ ඇති රන් ඔටුන්නෙහි තැන්පත් කරන ලදී.

පාතිමා මාතාවන් මුළු ලෝකයම පළමු ලෝක යුද්ධය නිසා විනාශ වූ යුගයක දර්ශනය වී ප්‍රකාශ කරන ලද්දේ සිදු වෙමින් පවතින විනාශයෙන් ගොඩ එන්නට නොකඩවා යාච්ඤා කරන ලෙසය. 

වර්තමාන ශ්‍රී ලංකාව අර්බුද රැසකින් පීඩා විදින මෙවන් කාලයක අපිත් පාතිමාවේ මෑණීයන්ට යාච්ඤා කරමු මේ විනාශකාරී ක්‍රියාවලින් අප රට සහ ජනතාව රැක දෙන ලෙස...

Post a Comment

0 Comments