꧁☆༒✟✟ 𝟚𝟘𝟚𝟛 මැයි 14 ✟✟༒☆꧂

 



ඉරුදින සුපුවත 307 පළමු වසර
උත්ථාන සමයේ සයවන ඉරුදින
පළමුවන දේව ප්‍රකාශනය ක්‍රියා 8 5-8, 14-17
අපොස්තුළුවරුන්ගේ ක්‍රියා පොතෙන් උපුටා ගත් කොටසකි.

5පිලිප් සමාරියේ නුවරකට ගොස් එහි ක්‍රිස්තුන් වහන්සේ ගැන දේශනා කෙළේ ය. 6පිලිප් කී දේ ඇසූ, ඔහු කළ අරුමපුදුම දේ දුටු, ජන සමූහයෝ ඔහුට එක සිතින් සවන් දුන්හ. 7අශුද්ධාත්මයන් වැහී සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මයෝ මහ හඬින් මොරගසමින් දුරු වී ගියහ. බොහෝ අංශභාග රෝගීහු ද කොරු ද සුව කරනු ලැබූ හ. 8ඒ නුවර මහත් ප්‍රීතියක් ඇති විය.
14සමාරීයයන් දෙවියන් වහන්සේගේ වචනය පිළිගත් බව ජෙරුසලමේ සිටි අපෝස්තුළුවරුන්ට සැළ වූයෙන් ඔව්හු පේදුරු සහ ජොහන් ඔවුන් වෙතට යැවූ හ. 15ඔව්හු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබෙන ලෙස යාච්ඤා කළහ. 16මන්ද, ඔවුන් ජේසුස් වහන්සේගේ නාමයට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබුවා මිස, ඒ වන තුරුත් ශුද්ධාත්මයාණන් ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණ තිබුණේ නැත. 17අපෝස්තුළුවරුන් ඔවුන් පිට අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබිණි.
දේව වචනය මෙසේ ය.

පිළිතුරු ගීය ගීතාවලිය 66  1-7, 16, 20
පිළිතුර ලෝ වැසි සියල්ලෙනි, දෙවිඳුන් හට ති ඝෝෂා පවත්වන්න
1ලෝ වැසි සියල්ලෙනි, දෙවියන් වහන්සේ හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
2එතුමාණන්ගේ කීර්තිමත් නාමයට ගී ගයන්න.
3දෙවි තුමන්ට මෙලෙස කියන්න:
“ඔබේ ක්‍රියා කොපමණ බියජනක ද?
ඔබේ බලපරාක්‍රමය අතිමහත් ය.
එබැවින් ඔබේ සතුරෝ ඔබ අබිමුව බියෙන් මිරිකෙන්නෝ ය.
4ලෝ වැසි සියල්ලෝ ඔබ නමදින්නෝ ය;
ඔබට ගී ගයා ඔබේ නම පසසන්නෝ ය.
5එන්න, දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා නරඹන්න.
එතුමාණන්ගේ ක්‍රියා මිනිසුන් අතර බියජනක ය.
6 එතුමාණෝ මුහුද වියළි බිමක් කළ සේක.
සෙනඟ එය මැදින් පයින් ගමන් කළෝ ය.
එබැවින් එතුමාණෝ තුළ අපි ප්‍රීති ප්‍රමෝද වන්නෙමු.
7එතුමාණෝ බලපරාක්‍රමයෙන් සදහට ම ලොව පාලනය කරන සේක;
එතුමාණෝ විජාතීන් දෙස නෙත් යොමා බලන සේක.
කිසි ම කැරලිකරුවෙක් එතුමාණන්ට එරෙහි ව නොනැඟිටී වා!
16දෙවිඳුන් නමදින සියල්ලෙනි!
එන්න, සවන් දෙන්න.
එවිට එතුමාණන් මට කළ දේ මම කියා දෙන්නෙමි.
20දෙවිඳුන්ට ප්‍රශංසා වේ වා!
මාගේ අයැදුම එතුමාණෝ ඉවත නොදැමූ සේක;
සිය පෙමින් මා ඈත් නොකළ සේක.
දෙවන දේව ප්‍රකාශනය 1පේඳුරු 3 15-18
ශුඳ්ධ වූ පේඳුරු තුමන් විසින් ලියන ලද පළමුවන හසුනෙන් උපුටා ගත් කොටසකි.
15ඔබගේ සිතින් ක්‍රිස්තුන් වහන්සේට සමිඳාණන් වහන්සේ හැටියට, ගෞරව කරන්න. ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලන්ට පිළිතුරු දීමට නිතර සූදානම් ව සිටින්න. 16එහෙත් ආචාරශීලී ව ද ගෞරවයෙන් යුක්ත ව ද එසේ කළ යුතු ය. ඔබ නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්න. එවිට ඔබට අපහාස කරමින් ඔබට විරුද්ධ ව කතා කරන අය, ක්‍රිස්තුන් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් ඔබේ යහපත් හැසිරීම දැක ලජ්ජාවට පැමිණෙනු ඇත. 17ඔබ යහපත කර දුක් විඳීම දේව කැමැත්ත වේ නම්, එය නපුර කර දුක් විඳීමට වඩා හොඳ ය.
18ක්‍රිස්තුන් වහන්සේ ඔබේ පව් උදෙසා වරක් දිවි පිදූ සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨ ව සිටි නමුත් දෙවියන් වහන්සේ වෙතට ඔබ පමුණුවන පිණිස අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දිවි පිදූ සේක. උන් වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් මරණයට පත් කරනු ලැබූ සේක; ආත්මික ස්වභාවයෙන් උත්ථාන කරනු ලැබූ සේක.
දේව වචනය මෙසේ ය.
සුපුවත් ජය නද ජොහන් 14  23
ආලේලූයා ආලේලූයා
යමෙක් මට ප්‍රේම කරන්නේ නම්,
හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේ ය.
මාගේ පියාණන් වහන්සේද ඔහුට  ප්‍රේම කරන සේක.
අපි ඔහු වෙතට පැමිණ ඔහු සමග වාසය කරන්නෙමු.
ආලේලූයා
සුවිශේෂය ජොහන් 14 15-21
සුවිශේෂක ජොහන්තුමන්ගේ ශුඳ්ධ වූ සුවිශේෂයෙන් උපුටා ගත් කොටසකි.
15“ඔබ මට ප්‍රේම කරන්නහු නම්, ඔබ මාගේ ආඥා පිළිපදින්නහු ය. 16එවිට මම පියාණන් වහන්සේගෙන් අයැදින්නෙමි; උන් වහන්සේ ද ඔබ සමඟ සදහට ම සිටින පිණිස වෙනත් සහායදායකයෙකු දෙන සේක. 17ඒ සහායදායකයාණෝ, සත්‍යයේ ආත්මයාණෝ ය. උන් වහන්සේ පිළිගැනීමට ලෝකයා අපොහොසත් ය. මන්ද, ලෝකයා උන් වහන්සේ දකින්නේ වත් හඳුනන්නේ වත් නැත. එහෙත්, ඔබ උන් වහන්සේ හඳුනන්නහු ය. මන්ද, උන් වහන්සේ ඔබ සමඟ නැවතී සිටිමින්, ඔබ තුළ වැඩ වසන සේක.
18“ඔබ අනාථ වීමට ඉඩ නොදෙන්නෙමි, මම නැවත ඔබ වෙතට එන්නෙමි. 19තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකිති. එහෙත් ඔබ මා දකින්නහු ය; කුමක් හෙයින් ද, මා ජීවත් වන නිසා ඔබත් ජීවත් වන බැවිනි. 20ඒ දවසේ දී, මා පියාණන් වහන්සේ තුළ ද ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින බව ඔබ දැනගන්නහු ය.
21“මාගේ ආඥා පිළිගෙන ඒවා පිළිපදින යම් තැනැත්තෙක් වේ ද, මට ප්‍රේම කරන්නේ ඔහු ය. යම් තැනැත්තෙක් මට ප්‍රේම කරන්නේ ද මාගේ පියාණන් වහන්සේත් ඔහුට ප්‍රේම කරන සේක. මම ද ඔහුට ප්‍රේම කොට ඔහුට එළිදරව් වන්නෙමි”යි වදාළ සේක.
සමිදාණන් වහන්සේගේ සුභාරංචිය මෙසේ ය.

Post a Comment

0 Comments