꧁☆༒✟✟ 𝟚𝟘𝟚𝟛 මැයි 21 ✟✟༒☆꧂



 ඉරුදින සුපුවත 311 පළමු වසර

සමිඳාණන්ගේ ස්වර්ගාරෝහණ මංගලෝත්සවය

උත්ථාන සමය - සත්වන ඉරුදින

පළමුවන දේව ප්‍රකාශනය ක්‍රියා 1 1-11

අපොස්තුළුවරුන්ගේ ක්‍රියා පොතෙන් උපුටා ගත් කොටසකි.

1  තියෝපිලස් තුමෙනි, ජේසුස් වහන්සේ කළා වූ ද ඉගැන්නුවා වූ ද සියලු දේ, 2උන් වහන්සේ තෝරාගත් අපෝස්තුළුවරුන්ට ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අණ දී උන් වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දවස දක්වා මාගේ ප්‍රථම කෘතියෙහි මම විස්තර කෙළෙමි. 3උන් වහන්සේගේ මරණයෙන් පසු, සතළිස් දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ද බොහෝ නිසැක සාක්ෂිවලින් උන් වහන්සේ ජීවමාන ව ප්‍රකාශ වූ සේක. 4උන් වහන්සේ ඔවුන් සමඟ ආහාර වළඳමින් සිටිය දී ඔවුන් අමතා, “ඔබ ජෙරුසලමෙන් ඉවත් ව නොගොස්, මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න. 5 මන්ද, ජොහන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කෙළේ ය; එහෙත් මින් නොබෝ දවසකින් ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලබන්නහු ය”යි වදාළ සේක.
ස්වර්ගාරෝහණය
6අපෝස්තුළුවරුන් එක්රැස් වූ කල, “ස්වාමීනි, ඔබ යළිත් ඉශ්රායෙල් රාජ්‍යය පිහිටුවන කාලය මෙය දැ”යි ඔව්හු උන් වහන්සේගෙන් ඇසූ හ. 7උන් වහන්සේ පිළිතුරු දෙමින්, “පියාණන් වහන්සේ ස්වකීය ආධිපත්‍යයෙන් නියම කළ කාලයන් ද, අවස්ථාවන් ද දැන ගැනීම ඔබට අයිති කාරියක් නොවේ. 8 එහෙත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල, ඔබ බලය ලබන්නහු ය. එවිට ඔබ ජෙරුසලමෙහි ද මුළු ජුදයෙහි හා සමාරියෙහි ද පොළොවේ සීමාන්තයන් දක්වා ද මාගේ සාක්ෂිකාරයෝ වන්නහු ය”යි වදාළ සේක. 9 උන් වහන්සේ මෙසේ වදාරා ඔවුන් බලා සිටිය දී ම ඔසවාගනු ලැබ, වලාකුළකින් වැසී ඔවුන්ට නොපෙනී ගිය සේක.
10උන් වහන්සේ යන කල, ඔවුන් අහස දෙස බලාගෙන සිටිය දී, සුදුවතින් සැරසුණු මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිට, 11“ගලීලයේ වැසියෙනි, ඔබ අහස දෙස බලාගෙන සිටින්නේ කුමට ද? ඔබ කෙරෙන් ඔසවාගනු ලැබූ මෙම ජේසුස් වහන්සේ ස්වර්ගයට නඟිනු දුටු සේ ම, ආපසු වඩිනු ඇතැ”යි කී හ.

 දේව වචනය මෙසේ ය.

පිළිතුරු ගීය ගීතාවලිය 47  1-2, 5-8

පිළිතුර දෙවිතුමන් හට පැසසුම් ගී ගයන්න. 

1සව් සතුනි, අත්පොළසන් දෙන්න;
ජය ගොස නංවා දෙවියන් වහන්සේට තුති දෙන්න.
2අති උතුම් සමිඳාණෝ බියකරු ය, මුළු මහ පොළොව කෙරේ අග රජ ය.
5ජය ගොස නංවා, කාහල හඬ පතුරා, එතුමාණෝ සිහසුන මත නැඟුණ සේක.
6දෙවි තුමන් හට ගී පසස් නඟන්න.
ගී පසස් නඟන්න.
අපේ නිරිඳු හට ගී පසස් නඟන්න;
ගී පසස් නඟන්න.
7දෙවිඳාණෝ මුළු දෙරණට නිරිඳාණෝ ය.
එතුමාණෝ හට ගී පැසසුම් ගයන්න.
8දෙවිඳාණෝ ජාතීන් අතර රජිඳාණෝ ය;
එතුමාණෝ සුවිශුද්ධ සිහසුන් අරා වැඩ සිටින සේක.


දෙවන දේව ප්‍රකාශනය   1  17-23

 17තේජසේ පියාණන් වූ, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දෙවියන් වහන්සේ, උන් වහන්සේ අවබෝධ කරගැනීම පිණිස, ප්‍රඥාව හා විදර්ශන ශක්තිය ඔබට දෙන මෙන් මම යාච්ඤා කරමි. 18තවද, උන් වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක් ද කියාත්, සැදැහැවතුන්ට හිමි වන තේජාන්විත උරුමයේ ධන සම්භාරය කිමෙක් ද කියාත්, 19ඇදහිලිවන්තයන් වන අප තුළ ක්‍රියා කරන, උන් වහන්සේගේ බලපරාක්‍රමයේ උදාරබව කිමෙක් ද කියාත්, ඔබ දැන ගන්නා පිණිස ඔබේ මනස පැහැදෙනසේ මම යාච්ඤා කරමි.
20 දෙවියන් වහන්සේගේ ඒ වික්‍රමාන්විත බලපරාක්‍රමය නම්, උන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථාන කර, ස්වර්ග ලෝකයෙහි ස්වකීය දකුණු පස සිංහාසනාරූඪ කිරීමෙන්, ක්‍රිස්තුන් වහන්සේ තුළ උන් වහන්සේ ඉටු කළ ක්‍රියාකාරී බලය ම ය. 21එම ක්‍රිස්තුන් වහන්සේ සියලු අධිපතීන්ටත්, බලධාරීන්ටත්, පරාක්‍රමවලටත්, අධිකාරීන්ටත්, එසේ ම, මේ යුගයේ පමණක් නොව, මතු පැමිණෙන යුගයෙහි ද, නම් කළ හැකි තාක් සියලු ප්‍රභූ නාමයන්ටත් ඉහළින් වැජඹෙන සේක. 22දෙවියන් වහන්සේ සියලු දේ ක්‍රිස්තුන් වහන්සේගේ පාදවලට යටත් කර, උන් වහන්සේ සභාවේ මහේශාක්‍ය නායකයාණන් කොට පත් කළ සේක. 23සභාව උන් වහන්සේගේ ශරීරය ය. ශරීරය එහි හිස වන, සියල්ල බද්ධ කරන, ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ වූ විට, එක ම සර්ව සම්පූර්ණත්වයක් ඇති වේ.

 දේව වචනය මෙසේ ය.


සුපුවත් ජය නද මතෙව් 28  19-20

ආලේලූයා ආලේලූයා

ඔබ ගොස්, සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න 

මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න 

ඔවුන්ට උගන්වන්න.

මම ද යුගාන්තය දක්වා 

සදහටම ඔබ හා සමග සිටිමි.” 

ආලේලූයා


සුවිශේෂය මතෙව් 28 16-20

සුවිශේෂක මතෙව් තුමාගේ ශුඳ්ධ වූ සුවිශේෂයෙන් උපුටා ගත් කොටසකි.

16  ශ්‍රාවකයෝ එකොළොස් දෙනා ජේසුස් වහන්සේ ඔවුන්ට නියම කළ පරිදි ගලීලයේ කන්දට ගියහ. 17ඔව්හු උන් වහන්සේ දැක පසඟ පිහිටුවා වැන්දෝ ය; එහෙත් සමහරෙක් සැක කළහ. 18ජේසුස් වහන්සේ ඔවුන් වෙතට අවුත් කතා කොට, “ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා තිබේ. 19 එබැවින් ඔබ ගොස්, සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න; පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්න; 20මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.

උත්ථාන සමය සමිඳාණන්ගේ ස්වර්ගාරෝහණ මංගලෝත්සවය

Post a Comment

0 Comments