✟✟✟ මහා බ්‍රහස්පතින්දා 🅼🅰🆄🅽🅳🆈 🆃🅷🆄🆁🆂🅳🅰🆈 ✟✟✟

 


මහා බ්‍රහස්පතින්දා Maundy Thursday යනු ශුද්ධ සතියේ ස්වමින් වහන්සේගේ අවසන් රාත්‍රී භෝජනය, පාද සේදීම සිහිපත් කරන දිනයයි. සම්මත ශුභාරංචි වල විස්තර කර ඇති පරිදි ප්‍රේරිතයන් සමඟ ජේසුස් ක්‍රිස්තුස්ගේ අවසන් භෝජන සංග්‍රහය මෙදින සිදු කර ඇත.


මෙය ශුද්ධ වූ සතියේ පස්වන දිනය වන අතර, මෙදිනට  පසුව මහා සිකුරාදා දිනය එළඹේ වේ.  "Maundy" යන වචනය පැමිණෙන්නේ ලතින් වචනය වන mandatum යන වචනය අනුසාරයෙනි. එහි අරුත වන්නේ ආඥාවක් යන්නය.  එය ජේසුස් වහන්සේගේ එදින පැවසූ වචන පිළිබිඹු කරමින් "මම ඔබට නව ආඥාවක් දෙමි." යන ප්‍රකාශය ඇසුරෙන් සකස් වී ඇත.


මෙම දිනය සෑම විටම මාර්තු 19 සහ අප්‍රේල් 22 අතර පැමිණෙන දිනයක් වන අතර, ග්‍රෙගෝරියන් දින දර්ශනයට අනුව ‌දිනය වෙනස් වේ. නැගෙනහිර සභාවන් සාමාන්‍යයෙන් ජූලියන් දින දර්ශනය භාවිත කරයි.


මහා බුහස්පතින්දා දිනෙන Paschal Triduum  ආරම්භ වේ. එහිදී ජේසුස් වහන්සේගේ දුක්විදීම, මරණය සහ උත්ථානය සිහිපත් කරයි; මෙම කාල සීමාව මහ සිකුරාදා සහ ආලේලූයියා සෙනසුරාදා ඇතුළත් වන අතර, පාස්කු ඉරිදා දිනෙන් අවසන් වේ.


සමිඳාණන් වහන්සේගේ රාත්‍රී භෝජන සංග්‍රහය සාමාන්‍යයෙන් සමරනු ලබන්නේ ජුදෙව් සම්ප්‍රදායට අනුව සවස් වරුවේ දීය. අවසාන රාත්‍රී භෝජනය යනු සමදර්ශක ශුභාරංචි තුනට අනුව පාස්කු මංගල්‍යය පැවැත්වීමයි.


මහා බ්‍රහස්පතින්දා
ශුද්ධවූ සතියේ සුවිශේෂී දිනයක් වන මහ බ්‍රහස්පතින්දා ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයට සහභාගී වී පාද දෝවනය කර ඉන්පසු ගෙත්සමනියට ගිය සේක. මේ සමගම මෙදින ජේසුස් වහන්සේ ශුද්ධවූ දිව්‍ය සත්ප්‍රසාදය සහ තම එඩේරික ජීවිතය තුලින් පුජත්වරය නම් වූ දේව ප්‍රසාද නිධාන ස්ථාපිත කිරීම ද ඉතා සුවිශේෂී සිදුවීම් වේ.

මහා බුහස්පතින්දා දින දේවස්ථානය තුල සවස් භාගයේදී මෙම සිදුවීම් සිහිපත් කරනු ලබන අතරම තවත් එදින පෙරවරුවේ සිදු කරනු ලබන සුවිශේෂී උත්සවයක් වන්නේ තෛල ආශිර්වාද කිරීමය. වර්ෂය පුරාවට දේවස්ථානයන්හි භාවිතයට ගැනෙන ශුද්ධවූ තෛලය ආශිර්වාද කර පුජා ප්‍රසාදිවරුන්ගේ කැපවීම අලුත් කරනු ලබන්නේද මහා බුහස්පතින්දා දිනයේදීය. සෑම රදගුරු වසමකම රදගුරු තුමා ප්‍රමුඛ පුජාප්‍රසාදීන් වහන්සේලා එක්වී ගිහි ජනතාව සහ පැවදි අය සමගින් දිව්‍ය පුජාවක් පවත්වා සක්‍රමේන්තු සදහා අවශ්‍ය කරන ශුද්ධවූ තෛලය ආශිර්වාද කර පුජාප්‍රසාදිවරුන්ගේ කැපවීම අලුත් කිරීම මහා බුහස්පතින්දා දිනයේ සිදු කරනු ලබයි.

මහා බුහස්පතින්දා සවස ඉර බැසීමත් සමගම ජේසුස් වහන්සේගේ අවසන් රාත්‍රී භෝජනය ලෙස සැලකෙන දිව්‍ය පුජාව සිදු කරනු ලබයි. ගොබ් ඉරුදින , සදුදා , අගහරුවාදා , බදාදා සහ බ්‍රහස්පතින්දා සවස් වරුව වනතෙක්ම චතාරිකය ලෙස සැලකේ. පාස්කුව ආරම්භ වන්නේ මහා බුහස්පතින්දා ඉර බැසීමත් සමගම සිදුවන දිව්‍ය පුජාවෙනි. පාස්කුව ආරම්භ වන්නේ ආලේලුයියා සෙනසුරාදා නොවේ.

මහා බුහස්පතින්දා ඉර බැසීමත් සමගම ආරම්භ වන පාස්කුව මහ සිකුරාදා සහ ආලේලුයියා සෙනසුරාදා යන දින තුන පුරාවට සිදු වන්නේ එකම වන්දනා පිලිවතක් වේ. එම දින තුන තුලදී සිදු කරන්නේ වන්දනා පිළිවෙත් තුනක් නොව එකම වන්දනා පිළිවෙතකි. දේවස්ථානය තුළ මහා බුහස්පතින්දා සවස සිදු කරන වන්දනා පිළිවෙත් එදින අවසන් නොවේ. පසු දින වන මහ සිකුරාදා දිනයේ පිළිවෙත්හි ආරම්භයක් හෝ අවසානයක් ද නොවේ. ආලේලුයියා සෙනසුරාදා පිළිවෙත්හි ආරම්භයක්ද නොවන අතර පිළිවෙත් අවසන් වන්නේ ආලේලුයියා සෙනසුරාදා මධ්‍යම රත්‍රී දිව්‍යය පුජවෙනි. සරලවම සදහන් කල හොත් මහා බුහස්පතින්දා සවස ආරම්භ වන පාස්කු පිලිවෙත් අවසන් වන්නේ ආලේලුයියා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පුජාවෙනි.

මහා බුහස්පතින්දා දින සංකේතාත්මකව අප සිහිපත් කරන සුභාරංචි පොත් වල සඳහන්ව ඇති ජේසුස් වහන්සේ සිදු කළ ක්‍රියාවන්

# පාස්කු භෝජනය පිළියෙල කිරීමට තම ශ්‍රාවකයන් දෙදෙනෙකුව පිටත් කර හැරීම හා ඔවුන් උඩුමහල් මැදුරක එය සූදානම් කිරීම (ලූක් 22 : 7 - 13)
7පාස්කු බැටළුවා පූජා කළ යුතු නුමුහුන් පූප මංගල්‍යය පවත්වන දවස පැමිණියේ ය. 8එවිට උන් වහන්සේ පේදුරු ද ජොහන් ද යවමින්, “ඔබ ගොස් අප විසින් පාස්කු භෝජනය වළඳන පිණිස පිළියෙළ කරන්නැ”යි වදාළ සේක. 9“කොතැන පිළියෙළ කරනවාට ඔබ වහන්සේ කැමැති සේක් දැ”යි ඔව්හු ඇසූ හ. 10උන් වහන්සේ, “ඔබ නුවරට ඇතුළු වූ විට, වතුර කළයක් ගෙන යන මිනිසෙක් ඔබට හමු වන්නේ ය; ඔහු පස්සේ ගොස් ඔහු යන ගෙදරට ඇතුළු වී, 11ගෘහ මූලිකයාට කතා කොට, ‘මා විසින් මාගේ ශ්‍රාවකයන් සමඟ පාස්කු භෝජනය වැළඳීම සඳහා වෙන් කර ඇති කාමරය කොයි ද කියා ගුරුදේවයාණෝ අසන සේකැ’යි කියන්න. 12සූදානම් ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. එහි පිළියෙළ කරන්නැ”යි වදාළ සේක. 13ඔව්හු ගොස්, උන් වහන්සේ වදාළ ලෙස ම සියල්ල සම්බවූයෙන්, පාස්කු භෝජනය පිළියෙළ කළහ.
# ජේසුස් වහන්සේ නියමිත වේලාවට එම ස්ථානයට තම ශ්රාවකයන් සමග වැඩම කර, ඔවුන්ගේ පාද දෝවනය කිරීම (ජොහාන් 13 : 4 - 11)
4රාත්‍රි භෝජනයෙන් පසු උන් වහන්සේ නැඟිට තම සළුව ගලවා තබා, තුවායක් ගෙන ඉණ වටා බැඳගත් සේක. 5ඉන්පසු උන් වහන්සේ භාජනයකට වතුර වත්කොට, ශ්‍රාවකයන්ගේ පාද සෝදන්නටත්, තමන් ඉණ බැඳගෙන සිටි තුවායෙන් පිසදමන්නටත් පටන්ගත් සේක. 6උන් වහන්සේ සීමොන් පේදුරු ළඟට ආ විට, “ස්වාමීනි, ඔබ වහන්සේ මාගේ පාදත් සෝදන සේක් දැ”යි ඔහු ඇසී ය. 7ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා කරන්නේ කුමක් දැ යි ඔබ දැන් නොදන්නෙහි ය; එහෙත් පසුව ඔබට වැටහෙනු ඇතැ”යි වදාළ සේක. 8එවිට පේදුරු, “මා දිවි ඇතිතෙක් කවදාවත් මාගේ පාද සෝදන්නට නම් ඔබ වහන්සේට ඉඩ නොදෙමි”යි කී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබ නොසේදුවොත් මා සමඟ සම්බන්ධකමක් ඔබට නැතැ”යි ඔහුට වදාළ සේක. 9එවිට සීමොන් පේදුරු, “ස්වාමීනි, මාගේ පාද පමණක් නොව අත් ද හිස ද සේදුව මැනවැ”යි කී ය. 10ජේසුස් වහන්සේ ද, “ස්නානය කළ තැනැත්තේ මුළුමනින් ම පවිත්‍ර ය; පාද සේදීම හැර ඔහු තවත් සෝදනු ලබන්න වුවමනා නැත. ඔබ ද පවිත්‍ර ය; එහෙත් හැම කෙනෙක් ම එසේ නොවෙති”යි වදාළ සේක. 11“හැම කෙනෙක් ම පවිත්‍ර නොවෙති”යි උන් වහන්සේ වදාළේ, තමන් පාවා දෙන්නා කවරෙක් දැ යි දැන සිටි බැවිනි.

# ප්රේමයේ නව පණත ප්රකාශ කිරීම (ජොහාන් 13 : 34)
34  මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.
# තම ශ්රාවක ජුදාස් ස්කාරියොත් විසින් තමන්ව පාවා දෙනු ලැබීම ගැන ඉඟි කිරීම (ජොහාන් 13 : 21 - 30)
21ජේසුස් වහන්සේ මෙසේ පවසා, බොහෝ සේ කැළඹී, “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ඔබ අතරෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි ප්‍රකාශ කළ සේක. 22උන් වහන්සේ එසේ කීමෙන් කවරෙකු අදහස් කළ සේක් දැ යි වියවුල් වූ ශ්‍රාවකයෝ එකිනෙකා දෙස බැලූ හ. 23ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් අතරෙන් උන් වහන්සේ ප්‍රේම කළ තැනැත්තා උන් වහන්සේගේ ළයට ළං ව හාන්සි වී සිටියේ ය. 24එබැවින් සීමොන් පේදුරු ඔහුට සංඥා කොට, “උන් වහන්සේ කවරෙකු අදහස් කළ සේක් දැ යි කිව මැනැවැ”යි ඔහුට කී ය. 25ඔහු ද, සිටි ලෙස ම ජේසුස් වහන්සේගේ ළයට නැඹුරු වී, “ස්වාමීනි, ඒ කවුරු දැ”යි ඇසී ය. 26එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මම රොටි කෑල්ලක් පොඟවා යමෙකුට දෙම් ද, ඒ ඔහු ය”යි වදාළ සේක. මෙසේ උන් වහන්සේ ඒ කෑල්ල පොඟවා සීමොන් ඉස්කාරියොත්ගේ පුත් ජූදස්ට දුන් සේක. 27ඔහු ඒ කෑල්ල අතට ගත් විගස ඔහුට සාතන් ආවේශ විය. එවිට ජේසුස් වහන්සේ ඔහු අමතා, “ඔබේ අදහස වහා ම ඉටු කරන්නැ”යි වදාළ සේක. 28උන් වහන්සේ කුමක් නිසා මෙසේ වදාළ සේක් දැ යි කෑමට හිඳගත් අයගෙන් කිසිවෙක් තේරුම් නොගත්හ. 29ජූදස් පොදු මුදල් පසුම්බිය භාර ව සිටි බැවින්, මංගල්‍යයට වුවමනා දේ මිල දී ගන්න කියා හෝ දිළිඳුන්ට යමක් දෙන්න කියා හෝ ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේකැ යි සමහරු සිතූ හ. 30ඔහු ඒ රොටි කෑල්ල අතට ගත් පසු, නොපමා ව පිටතට ගියේ ය. එය රෑ කාලය වී ය.

# සැබෑ ශ්රාවකයන් මෙන් ජේසුස් වහන්සේගේ මරණයෙන් පසුව සාක්ෂි දැරීම ගැන අවවාදානුශාසනා දීම (ජොහාන් 14 : 1 - 16 : 33)

# පාස්කු අන්තිම රාත්රී භෝජනයේ දී ආසිරි ගැන්වූ රොටිය හා මිදියුෂ කුසලානය තම ශ්රී ශරීරය හා ශ්රී රුධිරය ලෙසින් තම ශ්රාවකයන්ට බෙදා දීම (ලූක් 22 : 14 - 20)
14නියම වේලාව පැමිණි කල, උන් වහන්සේ කෑමට හිඳගත් සේක. අපෝස්තුළුවරු ද උන් වහන්සේ සමඟ හිඳගත්හ. 15උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “මා වද විඳීමට පළමුවෙන්, මේ පාස්කු භෝජනය ඔබ සමඟ වළඳන්නට අතිශයින් ආශා වීමි. 16ඒ මන්දැ යි මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දී එය මුදුන්පත් වනතුරු මම එය තවත් නොවළඳමි”යි වදාළ සේක. 17උන් වහන්සේ කුසලානක් ගනිමින්, තුති පුදා, “මෙ‍ය ගෙන ඔබ අතරෙහි බෙදාගන්න. 18මන්ද, මම ඔබට කියමි, මෙ‍තැන් පටන්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තුරු, මම මිදියුස පානය නො කරන්නෙමි”යි වදාළ සේක. 19උන් වහන්සේ පූප ගෙන තුති පුදා, ඒවා කඩා, ඔවුන්ට දී, “ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මේ ය; මා සිහි කිරීම පිණිස මෙ‍ය කරන්නැ”යි වදාළ සේක. 20 එලෙස ම භෝජනයෙන් පසු කුසලාන දී, “මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම ය.
# මෙම අභිරහස්යමය පිළිවෙත (Sacred Rite) එනම්, "රොටි කැඩීමේ පිළිවෙත" තුළ පාස්කු භෝජනය අර්ථවත් හා ජීවමාන කරමින් ජේසුස් වහන්සේගේ නැවත පැමිණීම තෙක් සිදු කිරීමට අවශ්ය පූජක බලතල තම ශ්රාවකයන්ට පවරා දීම (ලූක් 22 : 19)
19 උන් වහන්සේ පූප ගෙන තුති පුදා, ඒවා කඩා, ඔවුන්ට දී, “ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මේ ය; මා සිහි කිරීම පිණිස මෙ‍ය කරන්නැ”යි වදාළ සේක.
# අන්තිම රාත්රී භෝජනයෙන් පසුව ගීතිකාවක් ගායනා කර ගෙත්සෙමනියට (ඔලීව කන්දට) යාච්ඤාව පිණිස වැඩම කිරීම (මාර්ක් 14 : 26)
26 ඔව්හු ගීතයක් ගයා ඔලීව කන්දට නික්ම ගියහ.
# ජේසුස් වහන්සේ මරණසන්න දුකින් දෙවි පියාණන් වහන්සේට යාච්ඤා කිරීම හා යාච්ඤාව පිළිබඳව තම ශ්රාවකයන්ට අවවාදානුශාසනා දීම (මාර්ක් 14 : 32 - 42)
32ශ්‍රාවකයෝ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණියෝ ය. උන් වහන්සේ ද, “මා යාච්ඤා කරන අතර, ඔබ මෙහි සිටින්නැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක. 33උන් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජොහන් ද කැඳවාගෙන ගිය සේක. ඉන්පසු උන් වහන්සේ අතිශයින් බියපත් වන්න ද ශෝක වන්න ද පටන් ගත් සේක. 34උන් වහන්සේ ඔවුන් අමතා, “මැරෙණ තරමට මාගේ සිත අතිශයින් ශෝකාකූල ය; මෙහි නැවතී අවදි ව සිටින්න” කියා, 35මඳක් පෙරට ගොස් මුණින්තලා වී, හැකි නම්, ඒ පැය තමන් කෙරෙන් පහ ව යන ලෙස යාච්ඤා කරමින්, 36“අබ්බා, පියාණෙනි, ඔබට සියල්ලක් ම හැකි ය; මේ කුසලාන මා කෙරෙන් ඉවත් කළ මැනව; එහෙත් මාගේ කැමැත්ත නොව, ඔබගේ කැමැත්ත වේ වා”යි වදාළ සේක.
37පසුව උන් වහන්සේ අවුත්, ඔවුන් නිදා හිඳිනු දැක, පේදුරු අමතා, “සීමොන් ඔබ නිදි ද? පැයක් වත් අවදි ව ඉන්න ඔබට නොහැකි වූයේ ද? 38පරීක්ෂාවට නොවැටෙන පිණිස අවදි ව හිඳ යාච්ඤා කරන්න; හිත නම් කැමැතිය, එහෙත් ගත නම් දුබලය”යි වදාළ සේක.
39උන් වහන්සේ යළිත් ගොස් එම වචන ම පවසමින් යාච්ඤා කළ සේක. 40ඉන්පසු නැවතත් හැරී අවුත් ඔවුන් නිදා හිඳිනු දුටු සේක. ඔවුන්ගේ ඇස් නිදිබර ව තිබිණි. උන් වහන්සේට කුමන පිළිතුරක් දෙන්න දැ යි ඔව්හු නොදත්හ.
41උන් වහන්සේ තෙ වන වරත් අවුත් ඔවුන් අමතමින්, “තවමත් නිදි ද? තවමත් විවේකයෙන් ද? ඉතින් ඇති; නියමිත මොහොත පැමිණ තිබේ; මෙන්න, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පවිටුන්ගේ අත්වලට පාවා දෙනු ලබන සේක; 42නැඟිටින්න; අපි යමු; මෙන්න මා පාවා දෙන්නා ළඟ ම ය”යි වදාළ සේක.
# ජූදස් ස්කාරියොත් නමැති ශ්රාවකයා සිපාචාර කිරීමේ සළකුණෙන් ජේසුස් වහන්සේව ජුදෙව් මූලිකයන්ට පාවා දීම (ලූක් 22 : 47 - 48/ මතෙව් 26 : 51 - 56)
47උන් වහන්සේ මෙ‍වදන් පවසත් ම සමූහයක් පැමිණියහ. දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ ජූදස් නමැත්තා ඔවුන්ට පෙරටුව අවුත්, ජේසුස් වහන්සේ සිඹින පිණිස උන් වහන්සේ වෙතට ළං විය. 48ජේසුස් වහන්සේ ද “ජූදස්, ඔබ සිඹීමකින් මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන්නෙහි දැ”යි ඇසූ සේක.
# ජේසුස් වහන්සේව අන්නාස් නමැති උත්තම පූජකවරයාගේ නිවසේ දී සැන්හෙඩ්රින් මන්ත්රණ සභාව විසින් ප්රතික්ෂේප කොට මරණයට සුදුසු යැයි තීන්දු කිරීම (මතෙව් 26 : 57 - 66)

57ජේසුස් වහන්සේ අල්ලාගත් අය උත්තම පූජක කායාපස් වෙතට උන් වහන්සේ ගෙන ගියහ. විනයධරයෝ ද ප්‍රජා මූලිකයෝ ද එහි රැස් වී සිටියහ. 58එහෙත් පේදුරු, උත්තම පූජකයාගේ මළුව දක්වා උන් වහන්සේ පසුපස්සේ දුරින් ගොස්, එහි ඇතුළු වී, කුමකින් කුමක් වේ දැ යි බලන පිණිස මුර සේවකයන් හා සමඟ හිඳගත්තේ ය.
59නායක පූජකවරු ද මුළු ශ්‍රේෂ්ඨාධිකරණය ද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන් වහන්සේට විරුද්ධ ව බොරු සාක්ෂි සෙවූ හ. 60බොහෝ බොරු සාක්ෂිකාරයන් ඉදිරිපත් වූ නමුත්, කිසි සාක්ෂියක් සම්බ නො වී ය. පසුව දෙදෙනෙක් ඉදිරිපත් වී, 61 “ ‘දේව මාලිගාව කඩාදමා එය තුන් දිනකින් යළි ගොඩනඟන්න මට පුළුවන’ කියා මොහු කීවේ ය”යි කී හ. 62එවිට උත්තම පූජකයා නැඟිට, “ඔබ කිසි උත්තරයක් දෙන්නේ නැද් ද? මොවුන් ඔබට විරුද්ධ ව ගෙනෙන මේ සාක්ෂිය කුමක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. 63එහෙත්, උන් වහන්සේ නිශ්ශබ්ද ව සිටි සේක. එවිට උත්තම පූජකයා, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණෝ දැ යි දිවුරා අපට කියන ලෙස ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි”යි උන් වහන්සේට කී ය. 64 ජේසුස් වහන්සේ ද, “ඔබ කියන දෙය හරි ය. තවදුරටත් මම ඔබට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය-පුත්‍රයාණන් පරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩ සිටිනවාත්, අහසේ වළාකුළු මත වඩිනවාත් ඔබ දකින්නෙහි ය”යි ඔහුට වදාළ සේක. 65 එවිට උත්තම පූජකයා සන්තාපයෙන් යුතු ව තමාගේ වස්ත්‍ර ඉරාගෙන මොහු දේවාපහාසයක් කෙළේ ය. තවත් අපට සාක්ෂිකාරයන්ගෙන් වැඩක් නැත, මොහුගේ දේවාපහාසය දැන් ඔබට ඇසුණේ ය. 66ඔබ කුමක් සිතන්නහු දැ”යි කී ය. ඔව්හු උත්තර දෙමින්, “මොහු මරණයට සුදුසු ය”යි කී හ.


Post a Comment

0 Comments