꧁☆༒✟✟ 𝟚𝟘𝟚𝟛 අප්‍රේල් 2 ✟✟༒☆꧂

 




                                        2023 අප්‍රේල් 2 ඉරිදා ගොබ් ඉරිදා                                      

   ගොබ් අතු රැගත් පෙරහැරේ දී   මතෙව් 21:1-11

1ඔව්හු ජෙරුසලමට ළං ව ඔලීව කන්ද සමීපයෙහි වූ බෙත්පාගයට පැමිණියහ. ජේසුස් වහන්සේ ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්, 2“ඉදිරිපිට තිබෙන ගමට යන්න, ගිය කෙණෙහි ම එහි බැඳ සිටින කොටළු දෙනක හා ඈ සමඟ කොටළු නාම්බෙකු ඔබට සම්බ වනු ඇත. උන් ලිහා මා වෙතට ගෙනෙන්න. 3යම් කෙනෙකු යමක් කීවොත්, ‘සමිඳාණන් වහන්සේට උන්ගෙන් වැඩක් ඇතැ’යි කියන්න; එවිට ඔහු වහාම උන් එවනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක. 4මෙසේ වූයේ දිවැසිවරයා ලවා කියවන ලද මේ දෙය ඉටු වන පිණිස ය. එනම්:
5  “බලන්න, ඔබේ රජ කොටළුවෙකු පිට, එසේ ය, කොටළු වස්සෙකු පිට නැඟී, යටහත් පහත් ලෙස ඔබ වෙත එන්නේ යයි සියොන් වැසියන්ට දන්වන්න”
යනුයි. 6‘ශ්‍රාවකයෝ ගොස් ජේසුස් වහන්සේ නියම කළ ලෙස කළහ: 7කොටළු දෙන ද පැටියා ද ගෙනවුත් තමන්ගේ උතුරුසළු උන් පිට එළාලූහ. උන් වහන්සේ හිඳගත් සේක. 8සමූහයාගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ උතුරුසළු මඟ අතුළෝ ය; තවත් සමහරු ගස්වලින් අතු කපා මඟ අතුළෝ ය. 9පෙරටුව හා පසුව ගමන් කළ සමූහයෝ, “දාවිත් රජුගේ පුත්‍රයාණන්ට හෝසන්නා! සමිඳුන්ගේ නමින් වඩිනා මෙතුමාණන් හට, ආසිරි වේ වා! ඉතා උසස් තැන්හි හෝසන්නා!” කියා මොරගැසූ හ.

10උන් වහන්සේ ජෙරුසලමට පිවිසි කල, මුළු නුවර වැසියෝ කැළඹී, “මේ කවරෙක් දැ”යි ඇසූ හ. 11සමූහයෝ ද, “මෙතුමාණෝ ගලීලයේ නාසරෙත් නුවර දිවැසිවර ජේසුස් වහන්සේ ය”යි පිළිතුරු දුන්හ.

පළමුවන කියවීම   යෙසායා    50:4-7

4විඩාවට පත්වූවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිඳාණෝ හැම උදයක ම මා තුළ උනන්දුවක් ඇති කරවන සේක.
5දෙවි සමිඳුන් මාගේ කන් පහදා ඇත.
මා එතුමන්ට විරුද්ධ ව කැරලි ගැසුවේ වත්, එතුමන්ට පිටුපා ගියේ වත් නැත.
6 මට පහර දෙන්නන්ට මම මාගේ පිට පෑවෙමි.
මාගේ රැවුල් ගස් උදුරන්නන්ට මම මුහුණ දුන්නෙමි.
මාගේ මුහුණ නින්දාවෙනුත්, කෙළ ගැසීමෙනුත් හරවා නොගතිමි.
7මහෝත්තම දෙවි සමිඳාණන් මට උපකාර කරන බැවින් මම වියවුල් නොවන්නෙමි.
මම නිර්භීත ලෙස මුහුණ පාන්නෙමි.
මා ලජ්ජාවට නොපැමිණෙන බව දනිමි.

පිළිතුරු ගීය   ගීතාවලිය   22:8-9, 17-18, 19-20, 23-24

පිළිතුර මාගේ දෙවියෙනි, මාගේ දෙවියෙනි, ඔබ මා අත්හැරියේ මන් ද?

8 “සමිඳුන්ට ඔහු බාර විණි, එතුමාණෝ ඔහු ගළවා නොගන්නේ මන් ද?
සමිඳුන්ට ඔහු ප්‍රිය මනාප විණි, එතුමාණෝ ඔහු මුදා නොගන්නේ මන් ද?”
9මව් කුසයෙන් මා බිහි කළ, මවගේ ළයෙහි මා සැතපූ උතුමාණෝ ඔබ නොවන සේක් ද?
පිළිතුර මාගේ දෙවියෙනි, මාගේ දෙවියෙනි, ඔබ මා අත්හැරියේ මන් ද?
17 මාගේ ඇටකටු ගණන් කළ හැකි තරමට පෑදී ඇත.
සතුරෝ මා දෙස රවා ඔරවා බලති.
18 මාගේ වස්ත්‍ර තම තමන් අතර බෙදා ගනිති;
මාගේ සළුව ගැනීමට දාදු දමති.
පිළිතුර මාගේ දෙවියෙනි, මාගේ දෙවියෙනි, ඔබ මා අත්හැරියේ මන් ද?
19 හිමිතුමාණෙනි, මා හැර දමා ඈත් නොවනු මැනව;
මාගේ බලය වන ඔබ මට පිහිට වන්නට කඩිනම් වුව මැනව.
20කඩුවෙන් මා මිදුව මැනව;
ඒ බල්ලන්ගේ උවදුරෙන් මා ගැළෙවුව මැනව. 
පිළිතුර මාගේ දෙවියෙනි, මාගේ දෙවියෙනි, ඔබ මා අත්හැරියේ මන් ද?
23 හිමි සමිඳාණන්ට ගරුබිය ඇත්තෙනි, එතුමාණෝ පසසන්න;
ජාකොබ් වංශයේ සියල්ලෙනි, එතුමාණන්ට ගෞරවය දෙන්න;
ඉශ්රායෙල් වංශයේ සියල්ලෙනි, එතුමාණෝ ඉදිරියෙහි ගරු බියෙන් සිටින්න;
24එතුමාණෝ විපතට පත් අයගේ විපතට අවමන් නොකළ සේක;
එය පිළිකුල් කොට නොසිතූ සේක;
ඔහු කෙරෙන් සිය මුහුණ අහකට හරවා නොගත් සේක;
ඔහු හඬගැසූ කල එතුමාණෝ සවන් දුන් සේක.
පිළිතුර මාගේ දෙවියෙනි, මාගේ දෙවියෙනි, ඔබ මා අත්හැරියේ මන් ද?

දෙවන කියවීම    පිලිප්පි    2:6-11

6උන් වහන්සේ, දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත්, දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන ම තබාගත යුතු වස්තුවකැ යි නොසිතා,
7තමන් වහන්සේ ම ත්‍යාජ කරගනිමින්, වහලෙකුගේ ස්වරූපයක් ගෙන, අප හා සමාන මිනිස් කෙනෙක් වූ සේක.
8මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, උන් වහන්සේ, මරණය, එනම් කුරුසියේ මරණය දක්වා, පහත් වී කීකරු වූ සේක.
9එබැවින් දෙවියන් වහන්සේ උන් වහන්සේ අති උසස් තැනට නංවා, සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන් වහන්සේට දුන් සේක.
10  එසේ කළේ, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, පාතාල ලෝකයෙහි ද සියල්ලන්, ‘ජේසුස්’ යන නාමයට දණ නමන පිණිසත්,
11ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සමිඳාණන් වහන්සේ යයි දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා, සෑම දිවකින් ම ප්‍රකාශ කරන පිණිසත් ය.

සුබාරංචියට පෙර   පිලිප්පි    2:8-9

8මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, උන් වහන්සේ, මරණය, එනම් කුරුසියේ මරණය දක්වා, පහත් වී කීකරු වූ සේක.
9එබැවින් දෙවියන් වහන්සේ උන් වහන්සේ අති උසස් තැනට නංවා, සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන් වහන්සේට දුන් සේක.

සුබාරංචිය  මතෙව්    26:14- 27 :66

14තවද දොළොස් දෙනාගෙන් කෙනෙකු වූ ජූදස් ඉස්කාරියොත් නායක පූජකයන් වෙත ගොස්, 15 “ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක් දැ”යි ඇසී ය. ඔව්හු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ. 16එතැන් පටන් ඔහු උන් වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් සෙවී ය.
17නුමුහුන් පූප මංගල්‍යයේ පළමු වන දින ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, “පාස්කු භෝජනය වළඳන පිණිස අප කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ. 18ජේසුස් වහන්සේ ද, “ඔබ නගරයේ සිටින අසවල් මනුෂ්‍යයා වෙතට ගොස්, ‘මාගේ නියමිත මොහොත ළං ව ඇත; මාගේ ශ්‍රාවකයන් සමඟ ඔබේ නිවසේ දී පාස්කු භෝජනය පවත්වමි යි ගුරුදේවයන් වහන්සේ කියන සේකැ’යි ඔහුට දන්වන්නැ”යි වදාළ සේක. 19ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ ඔවුන්ට අණ කළ ලෙස පාස්කු භෝජනය පිළියෙළ කළහ. 20සවස් වූ කල උන් වහන්සේ අපෝස්තුළුවරුන් දොළොස් දෙනා සමඟ කෑමට හිඳගත් සේක. 21ඔවුන් කෑම කමින් සිටිය දී, උන් වහන්සේ කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක. 22ඔව්හු අතිශයින් ශෝක ව එකිනෙකා, “ස්වාමීනි, ඒ මම දැ”යි අසන්න පටන් ගත්හ. 23 උන් වහන්සේ උත්තර දෙමින්, “මා සමඟ එක පාත්‍රයේ අතලන තැනැත්තේ මා පාවා දෙන්නේ ය. 24මනුෂ්‍ය-පුත්‍රයාණන් ගැන ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස ම ඔහු නියමිත ගමන යන්නේ ය. එහෙත්, මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන යම් මනුෂ්‍යයෙක් වේ ද, ඔහුට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳ ය”යි වදාළ සේක. 25උන් වහන්සේ පාවා දුන් ජූදස් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඒ මම දැ”යි ඇසී ය. “වෙන කවුදැ”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක.
26ඔවුන් කෑම කමින් සිටිය දී ජේසුස් වහන්සේ පූප ගෙන ආශීර්වාදය පවසා ඒවා කඩා ශ්‍රාවකයන්ට දී, “රැගෙන වළඳන්න, මේ මාගේ ශරීරය”යි වදාළ සේක. 27උන් වහන්සේ කුසලානක් ද ගෙන තුති පුදා ඔවුන්ට දී, 28“ඔබ සියල්ලෝ ම මෙයින් පානය කරන්න. මෙය පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ. 29මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහි දී මා ඔබ සමඟ අලුත් මිදියුස පානය කරන දවස එන තුරු මෙතැන් පටන් මේ මිදියුස තවත් නොබොන්නෙමි යි ඔබට කියමි”යි වදාළ සේක. 30ඔව්හු ගීතයක් ගයා නිම කොට ඔලීව කන්දට නික්ම ගියහ.
31  තවද ජේසුස් වහන්සේ ශ්‍රාවකයන්ට කතා කොට, “ඔබ හැම දෙන ම අද රාත්‍රියෙහි මා නිසා අධෛර්යයට පත් වන්නහු ය. මන්ද, ‘මම එඬේරාට පහර දෙන්නෙමි, එවිට රැළේ බැටළුවෝ විසුරුවනු ලබන්නෝ ය’යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා තිබේ. 32 “එහෙත්, මම උත්ථාන කරනු ලැබූ පසු ඔබට පෙරටුව ගලීලයට යමි”යි වදාළ සේක. 33පේදුරු උන් වහන්සේට උත්තර දෙමින්, “අන් හැම දෙන ම ඔබ නිසා අධෛර්ය වුවත් මම නම් කවදාවත් අධෛර්ය නොවන්නෙමි”යි කී ය. 34ජේසුස් වහන්සේ ද, “සැබැවින් ම මම ඔබට කියමි, අද රෑ කුකුළා අඬලන්නට පෙර ඔබ මා හඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහි ය”යි ඔහුට වදාළ සේක. 35පේදුරු, “ඔබ සමඟ මැරෙන්න සිදුවුණත්, මම ඔබ නාඳුනමි යි කවදාවත් කියන්නේ නැතැ”යි උන් වහන්සේට කී ය. සියලු ශ්‍රාවකයෝ ද එසේ ම කී හ.
36එකල ජේසුස් වහන්සේ ඔවුන් හා සමඟ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණ, “මා එතැනට ගොස් යාච්ඤා කරන අතර ඔබ මෙහි සිටින්නැ”යි සිය ශ්‍රාවකයන්ට වදාළ සේක. 37උන් වහන්සේ පේදුරු ද සෙබදීගේ පුත්‍රයන් දෙදෙනා ද කැඳවාගෙන ගිය සේක. ඉන්පසු උන් වහන්සේ ශෝක වන්ටත්, සන්තාප වන්ටත් පටන්ගත් සේක. 38එකල උන් වහන්සේ ඔවුන් අමතමින්, “මැරෙන තරමට මාගේ සිත අතිශයින් ශෝකාන්විත ය. ඔබ මෙහි නැවතී මා සමඟ අවදි ව ඉන්නැ”යි වදාළ සේක. 39උන් වහන්සේ මඳක් ඉදිරියට ගොස් මුණින් වැටී, “අහෝ මාගේ පියාණෙනි, හැකි නම් මේ කුසලාන මා කෙරෙන් පහ කළ මැනව. එහෙත්, මා කැමැති ලෙස නොව, ඔබ කැමැති ලෙස වේ වා”යි යාච්ඤා කළ සේක. 40උන් වහන්සේ ශ්‍රාවකයන් වෙත අවුත් ඔවුන් නිදා හිඳිනු දැක, පේදුරුට කතා කොට, “සැබැවින් ම මා සමඟ එක පැයක් වත් අවදි ව ඉන්න ඔබට බැරිවුණා ද? 41ඔබ පරික්ෂාවට නොවැටෙන පිණිස අවදි ව සිට යාච්ඤා කරන්න. හිත නම් කැමැති ය; ගත නම් දුබල ය”යි වදාළ සේක. 42උන් වහන්සේ නැවත දෙ වන වරටත් නික්ම ගොස්, “අහෝ මාගේ පියාණෙනි, මා විසින් පානය නොකොට මේ කුසලාන පහ කළ නොහැකි නම්, ඔබගේ කැමැත්ත වේ වා”යි කියා යාච්ඤා කළ සේක. 43උන් වහන්සේ නැවත ආ කල ඔවුන් නිදා හිඳිනු දුටු සේක. ඔවුන්ගේ ඇස් නිදිබර ව තිබිණි. 44යළිත් උන් වහන්සේ ඔවුන් හැර ගොස්, තුන් වන වරත් එම වචන කියා යාච්ඤා කළ සේක. 45ඉන්පසු උන් වහන්සේ ශ්‍රාවකයන් වෙතට අවුත්, “ඔබ තවමත් නිදාගෙන විඩා හරිමින් සිටින්නහු ද? මෙන්න, නියමිත මොහොත ළං වී ඇත; මනුෂ්‍ය-පුත්‍රයාණෝ පවිටුන් අතට පාවා දෙනු ලබන සේක. 46නැඟිටින්න, අපි යමු. අන්න, මා පාවා දෙන්නා ඉතා ළඟ ය”යි වදාළ සේක.
47උන් වහන්සේ කතා කරද්දී, දොළොස් දෙනාගෙන් කෙනෙකු වන ජූදස් ද, ඔහු සමඟ නායක පූජකයන් හා ප්‍රජා මූලිකයන් වෙතින් යවන ලද කඩු මුගුරු ගත් මහත් ජනකායක් ද එහි පැමිණියහ. 48උන් වහන්සේ පාවා දෙන්නා, “මම යමෙකු සිඹිම් ද, ඔබ සොයන තැනැත්තා ඔහු ය; ඔහු අල්ලාගන්න” කියා ඔවුන්ට ලකුණක් දී තිබිණි. 49එකෙණෙහි ම ඔහු ජේසුස් වහන්සේ වෙතට අවුත්, “ගුරුදේවයෙනි, ඔබට සෙත් වේ!” කියා උන් වහන්සේ සිඹගත්තේ ය. 50ජේසුස් වහන්සේ ද, “මිත්‍රය, ඔබ කරන්න ආ දෙය කරන්නැ”යි ඔහුට වදාළ සේක. එවිට ඔව්හු අවුත්, ජේසුස් වහන්සේ අත්අඩංගුවට ගෙන, තදින් අල්ලාගත්හ. 51උන් වහන්සේ හා සමඟ සිටි අයගෙන් කෙනෙක්, අතින් කඩුව ගෙන නායක පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපා දැමී ය. 52එවිට ජේසුස් වහන්සේ කතා කොට, “ඔබගේ කඩුව කොපුවේ දමන්න, කඩු ගන්නා සියල්ලෝ ම කඩුවෙන් ම නසිති. 53දේව දූතයන් සේනාංක දොළොසකට වඩා වහා ම එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්න මට නොහැකි ය යි ඔබ සිතන්නෙහි ද? 54එහෙත්, එසේ කළොත්, මේ දෙය මෙලෙස ම විය යුතු යයි ශුද්ධ ලියවිලිවල කියන දේ ඉටු වන්නේ කෙසේ දැ”යි ඔහුට වදාළ සේක. 55 ඒ පැයේ දී ම ජේසුස් වහන්සේ ජනකායට කතා කොට, “ඔබ සොරෙකුට විරුද්ධ ව මෙන් කඩු මුගුරු ගෙන මා අල්ලන්නට ආවහු ද? මම දිනපතා ම දේව මාලිගාවෙහි උගන්වමින් සිටියෙමි. එහෙත්, ඔබ මා අල්ලාගත්තේ නැත. 56මේ සියල්ල සිදුවූයේ දිවැසිවරයන්ගේ ලියවිලි ඉෂ්ට වන පිණිස ය”යි වදාළ සේක. එවිට ශ්‍රාවකයෝ සියල්ලෝ ම උන් වහන්සේ අත්හැර පලා ගියහ.
57ජේසුස් වහන්සේ අල්ලාගත් අය උත්තම පූජක කායාපස් වෙතට උන් වහන්සේ ගෙන ගියහ. විනයධරයෝ ද ප්‍රජා මූලිකයෝ ද එහි රැස් වී සිටියහ. 58එහෙත් පේදුරු, උත්තම පූජකයාගේ මළුව දක්වා උන් වහන්සේ පසුපස්සේ දුරින් ගොස්, එහි ඇතුළු වී, කුමකින් කුමක් වේ දැ යි බලන පිණිස මුර සේවකයන් හා සමඟ හිඳගත්තේ ය.
59නායක පූජකවරු ද මුළු ශ්‍රේෂ්ඨාධිකරණය ද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන් වහන්සේට විරුද්ධ ව බොරු සාක්ෂි සෙවූ හ. 60බොහෝ බොරු සාක්ෂිකාරයන් ඉදිරිපත් වූ නමුත්, කිසි සාක්ෂියක් සම්බ නො වී ය. පසුව දෙදෙනෙක් ඉදිරිපත් වී, 61 “ ‘දේව මාලිගාව කඩාදමා එය තුන් දිනකින් යළි ගොඩනඟන්න මට පුළුවන’ කියා මොහු කීවේ ය”යි කී හ. 62එවිට උත්තම පූජකයා නැඟිට, “ඔබ කිසි උත්තරයක් දෙන්නේ නැද් ද? මොවුන් ඔබට විරුද්ධ ව ගෙනෙන මේ සාක්ෂිය කුමක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. 63එහෙත්, උන් වහන්සේ නිශ්ශබ්ද ව සිටි සේක. එවිට උත්තම පූජකයා, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණෝ දැ යි දිවුරා අපට කියන ලෙස ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි”යි උන් වහන්සේට කී ය. 64 ජේසුස් වහන්සේ ද, “ඔබ කියන දෙය හරි ය. තවදුරටත් මම ඔබට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය-පුත්‍රයාණන් පරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩ සිටිනවාත්, අහසේ වළාකුළු මත වඩිනවාත් ඔබ දකින්නෙහි ය”යි ඔහුට වදාළ සේක. 65 එවිට උත්තම පූජකයා සන්තාපයෙන් යුතු ව තමාගේ වස්ත්‍ර ඉරාගෙන මොහු දේවාපහාසයක් කෙළේ ය. තවත් අපට සාක්ෂිකාරයන්ගෙන් වැඩක් නැත, මොහුගේ දේවාපහාසය දැන් ඔබට ඇසුණේ ය. 66ඔබ කුමක් සිතන්නහු දැ”යි කී ය. ඔව්හු උත්තර දෙමින්, “මොහු මරණයට සුදුසු ය”යි කී හ.
67  එවිට ඔව්හු උන් වහන්සේගේ මුහුණට කෙළ ගසා, මිට මොලවා පහර දුන්හ. සමහරෙක් උන් වහන්සේට අතුල් පහර දී, 68“ක්‍රිස්තුවරයාණෙනි, ඔබට ගැසුවේ කවරෙක් දැ යි දිවැසින් බලා අපට කියන්නැ”යි කී හ.
69පේදුරු මළුවෙහි පිටත වාඩි වී සිටියේ ය. සේවිකාවක් ඔහු වෙත අවුත්, “ඔබත් ඒ ජේසුස් නම් ගලීලයා සමඟ සිටියෙහි ය”යි කීවා ය. 70“මොන බොරු ද? ඔය කතාව මට තේරෙන්නේ නැතැ”යි ඔහු සියල්ලන් ඉදිරියෙහි කී ය. 71ඔහු පිටත දොරටුව ළඟට ගිය කල, තව සේවිකාවක් ඔහු දැක, “මොහුත් නාසරෙත්හි ජේසුස් සමඟ සිටියේ ය”යි එහි සිටියවුන්ට කීවා ය. 72ඔහු යළිත්, “මා ඒ මනුෂ්‍යයා අඳුනන්නේ නැතැ”යි දිවුරා කී ය. 73මඳ වේලාවකට පසු එතැන සිටි අය අවුත්, “සැබැවින් ම ඔබත් ඔවුන්ගෙන් එක් කෙනෙක් ය; ඒ බව ඔබගේ කතා ලීලාවෙන් පෙනේ ය”යි පේදුරුට කී හ. 74එවිට ඔහු, “ඒ මිනිසා නාඳුනමි”යි කියමින් දෙස් තබාගන්න ද දිවුරන්න ද පටන්ගත්තේ ය. එකෙණෙහි ම කුකුළා හැඬලී ය. 75“කුකුළා හඬලන්න පළමු ඔබ මා හඳුනන්නේ නැත කියා තුන් වරක් කියනු ඇතැ”යි ජේසුස් වහන්සේ වදාළ වචනය සිහි කොට පේදුරු පිටතට ගොස් ඉකි බිඳිමින් හැඬී ය.
1පහන් වූ කල සියලු නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන් වහන්සේට විරුද්ධ ව මන්ත්‍රණය කළහ. 2ඔව්හු උන් වහන්සේට විලංගු ලා ගෙන ගොස් ආණ්ඩුකාර පිලාත්ට භාර දුන්හ.
3  උන් වහන්සේ පාවා දුන් ජූදස්, උන් වහන්සේ වරදට පත් කරනු ලැබූ බව දැක, ශෝකයෙන් පෙළී, රිදී මිල තිහ නායක පූජකවරුන් ද ප්‍රජා මූලිකයන් ද වෙත ආපසු ගෙන ගොස්, 4“නිදොස් කෙනෙකු මරණයට පාවා දීමෙන් මම පව් කෙළෙමි”යි කී ය. එහෙත් ඔව්හු, “එයින් අපට කමක් නැත, ඔබ ම එය බලාගන්නැ”යි කී හ. 5එවිට ඔහු ඒ රිදී මිල ශුද්ධස්ථානයෙහි වීසි කොට දමා, නික්ම ගොස් එල්ලී මළේ ය.
6නායක පූජකවරු ඒ රිදී මිල ගෙන, “මේවා ලේ-මිල බැවින් දේව මාලිගාවේ මුදල් ගබඩාවට දැමීම යුතු නැතැ”යි කී හ. 7එසේ කියා ඔව්හු මන්ත්‍රණය කොට, විජාතීන් සඳහා සුසාන භූමියක් වන පිණිස ඒ මුදලින් ‘කුඹල් කෙත’ මිල දී ගත්හ. 8එහෙයින් අද දක්වා ඒ කෙතට ‘ලේ කෙත’ යයි කියනු ලැබේ.
9  මෙසේ දිවැසිවර ජෙරමියාගේ කීමක් සැබෑ විය. එනම්: “යම් කිසි කෙනෙකුගේ වටිනාකමේ හැටියට ඉශ්රායෙල් ජනතාව අතර සම්මත ව තිබූ මිලය වන රිදී මිල තිහ, 10සමිඳාණන් වහන්සේ මට අණ දුන් පරිදි, කුඹල් කෙත සඳහා දුනිමි” යනු යි.
11ජේසුස් වහන්සේ ආණ්ඩුකාරයා ඉදිරියෙහි පෙනී සිටි සේක. “ඔබ ජුදෙව්වන්ගේ රජ දැ”යි ඔහු උන් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. “එසේ කියන්නේ ඔබ ය”යි ජේසුස් වහන්සේ උත්තර දුන් සේක. 12නායක පූජකවරුන් ද ප්‍රජා මූලිකයන් ද උන් වහන්සේට වරද තැබූ විට, උන් වහන්සේ කිසි උත්තරයක් නුදුන් සේක. 13එවිට පිලාත්, “මොවුන් ඔබට විරුද්ධ ව නඟන චෝදනා ඇසෙන්නේ නැද්දැ”යි ඇසී ය. 14එහෙත්, ජේසුස් වහන්සේ එක වචනයකින් පමණ වත් උත්තර නුදුන් සේක. එබැවින් ආණ්ඩුකාරයා අතිශයින් මවිත විය.
15මංගල්‍යයේ දී ජනතාව ඉල්ලා සිටින සිරකරුවෙකු ආණ්ඩුකාරයා විසින් නිදහස් කර හරිනු ලැබීමේ සිරිතක් තිබිණි. 16එකල්හි ජේසුස් බරබ්බස් යයි නම් දැරූ ප්‍රසිද්ධ සිරකරුවෙක් විය. 17එහෙයින් සෙනඟ රැස් වූ විට, “මා ඔබට කවරෙකු නිදහස් කර දෙනවාට ඔබ කැමැති ද? බරබ්බස් කියන ජේසුස් ද? නැතහොත් ක්‍රිස්තුස් කියන ජේසුස් දැ”යි පිලාත් ඔවුන්ගෙන් ඇසී ය. 18එසේ ඇසුවේ, ඔවුන් ඊර්ෂ්‍යාවෙන් උන් වහන්සේ පාවා දුන් බව පිලාත් දැන සිටි හෙයිනි.
19තවද, ඔහු විනිශ්චයාසනයෙහි සිටිය දී, ඔහුගේ භාර්යාව, “ඒ නිදොස් මනුෂ්‍යයාට කිසිවක් නොකරන්න. ඊයේ රෑ ඔහු නිසා මම සිහිනයකින් බොහෝ දුක් වින්දෙමි”යි පිලාත්ට කියා යැවුවා ය.
20එහෙත්, නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද බරබ්බස් ම ඉල්ලන්ටත්, ජේසුස් වහන්සේ නසාලන්ටත් ජනකාය කැමැති කරවාගත්හ. 21ආණ්ඩුකාරයා ඔවුන්ට උත්තර දෙමින්, “මේ දෙදෙනාගෙන් කවරෙකු මා ඔබට නිදහස් කර දෙනවාට කැමැති දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. “බරබ්බස්” යයි ඔව්හු කී හ. 22“එසේ නම් ක්‍රිස්තුස් ය කියන ජේසුස්ට මා කුමක් කරන්න දැ”යි පිලාත් ඔවුන්ගෙන් ඇසී ය. “ඔහු කුරුසියේ ඇණ ගසන්නැ”යි සියල්ලෝ ම එක හඬින් කී හ. 23එවිට ඔහු, “මන් ද? මොහු මොන අපරාධයක් කෙළේ දැ”යි ඇසී ය. එහෙත්, “ඔහු කුරුසියෙහි ඇණ ගසන්නැ”යි ඔව්හු වැඩි වැඩියෙන් හඬ නඟමින් මොරගැසූ හ. 24 මෙසේ කෝලාහලයක් හට ගනු මිස, තමාගේ ප්‍රයත්නයෙන් වැඩක් සිදු නොවන බව දුටු පිලාත්, වතුර ගෙන, ජනකාය ඉදිරියේ අත් සෝදමින්, “මේ මනුෂ්‍යයාගේ ලේ ගැන මම නිදොස් ය. ඔබ ම වගබලා ගන්නැ”යි කී ය. 25මුළු සමූහයා උත්තර දෙමින්, “ඔහුගේ ලේවල පල විපාකය අප පිට ද අපේ දරුවන් පිට ද වේ වා”යි කී හ. 26එකල පිලාත්, ඔවුන්ට බරබ්බස් නිදහස් කර දුන්නේ ය. එහෙත්, ඔහු ජේසුස් වහන්සේට තළවා, කුරුසියෙහි ඇණ ගැසීමට භාර දුන්නේ ය.
27එකල ආණ්ඩුකාරයාගේ මුරසෙබළෝ ජේසුස් වහන්සේ ප්‍රෙතෝරියම් නම් රජ වාසලට ගෙන ගොස් මුළු සේනාංකය උන් වහන්සේ වෙත රැස් කළහ. 28ඔව්හු උන් වහන්සේගේ ඇඳුම් ගලවාදමා, නීල-රක්ත සළුවක් උන් වහන්සේට ඇන්දෙව්වෝ ය. 29තවද ඔව්හු කටු ඔටුන්නක් ගොතා උන් වහන්සේගේ හිස මත තබා, බට දණ්ඩක් දකුණතට දී, උන් වහන්සේ අබිමුවෙහි දණ නමා, “ජුදෙව්වන්ගේ රජුනි, සැරදේ!” කියා උන් වහන්සේට සරදම් කළහ. 30ඔව්හු උන් වහන්සේට කෙළ ගසා, බට දණ්ඩ ගෙන, උන් වහන්සේගේ හිසට ගැසූ හ. 31මෙසේ ගැරහුම් කළ පසු ඔව්හු උන් වහන්සේට ඇන්දූ සළුව ගලවා, උන් වහන්සේගේ ම ඇඳුම් අඳවා, උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසන පිණිස ගෙන ගියහ.
32ඔවුන් නික්ම යද්දී සීමොන් නම් කිරේනියේ මනුෂ්‍යයෙකු සම්බ වී, උන් වහන්සේගේ කුරුසිය උසුලාගෙන යන්න ඔව්හු ඔහුට බල කළහ. 33ඔව්හු කපාල පිටිය යන අර්ථ ඇති ‘ගොල්ගොතා’ නම් ස්ථානයට පැමිණ, 34 තික්ත මිශ්‍ර කළ මුද්‍රික පානය උන් වහන්සේට බොන්න දුන්හ. උන් වහන්සේ එය දිව ගා බලා බොන්න අකමැති වූ සේක. 35 උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ පසු, ඔව්හු උන් වහන්සේගේ ඇඳුම් දාදු දමා බෙදාගත්හ. 36ඔව්හු එහි හිඳගෙන උන් වහන්සේ මුර කළහ. 37තවද, “මොහු ජුදෙව්වරුන්ගේ රජ වන ජේසුස් ය” කියා උන් වහන්සේ පිළිබඳ චෝදනා පත්‍රය ලියා උන් වහන්සේගේ හිසට ඉහළින් තැබූ හ.
38එවිට සොරු දෙදෙනෙක්, එක් කෙනෙක් දකුණු පසෙහි ද එක් කෙනෙක් වම් පසෙහි ද උන් වහන්සේ හා සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ හ. 39 මඟ යන්නෝ තමන් හිස් වන වනා උන් වහන්සේට නින්දා කරමින්, 40 “දේව මාලිගාව කඩාදමා තුන් දවසකින් එය ගොඩනඟන ඔබ, ඔබ ම ගළවාගන්න; ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, කුරුසියෙන් බැස එන්නැ”යි කී හ. 41එම අයුරින් නායක පූජකවරු ද විනයධරයන් හා ප්‍රජා මූලිකයන් සමඟ උන් වහන්සේට කවටකම් කොට, 42“මොහු අනුන් ගැළෙව්වේ ය; දැන් තමාට ම ගැළවෙන්ට නුපුළුවන; මොහු ඉශ්රායෙල්වරුන්ගේ රජ නොවේ ද? එසේ නම් දැන් කුරුසියෙන් බසී වා, එවිට අපි මොහු විශ්වාස කරන්නෙමු. 43 මොහු දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ ය; උන් වහන්සේ ඔහුට කැමැති සේක් නම් දැන් ඔහු මුදා හරින සේක් වා. මන්ද, ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙමි’යි මොහු කීවේ ය”යි කී හ. 44උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ සොරු ද එසේ ම උන් වහන්සේට නින්දා කළහ.
45මද්දහනේ සිට අපරභාග තුන දක්වා රට පුරා තද අන්ධකාරයක් පහළ විය. 46 තුනට පමණ ජේසුස් වහන්සේ, “ඒලී, ඒලී, ලාමා සබක්තානී” කියා මහහඬින් මොරගැසූ හ. එහි අර්ථය “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසා ද” යනු යි. 47එහි සිටියවුන්ගෙන් සමහරෙක් ඒ අසා, “මොහු එලියා අමතන්නේ ය”යි කී හ. 48 එකෙණෙහි ම ඔවුන්ගෙන් එක් කෙනෙකු දිව ගොස්, මූදු හත්තක්ගෙන ඇඹුල් මිදියුසවල පොඟවා බට දණ්ඩක ගසා, උන් වහන්සේට බොන්න දුන්නේ ය. 49සෙස්සෝ කතා කොට, “නිකම් ඉන්න, මොහු ගළවන්ට එලියා එන්නේ දැ යි බලමු”යි කී හ. 50ජේසුස් වහන්සේ යළිත් මහහඬින් හඬගා අවසන් හුස්ම හෙළූ සේක. 51 දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩ ව ඉරුණේ ය; පොළොව කම්පා විය; ගිරිකුළු දෙදරිණි; 52සොහොන් ගෙවල් විවර විය; දිවංගත ශුද්ධවරයෝ උත්ථාන කරනු ලැබූ හ. 53උන් වහන්සේගේ පුනරුජ්ජීවනයෙන් පසු, ඔව්හු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුළු ව, බොහෝ දෙනෙකුට පෙනුණාහ. 54ශතාධිපතියා ද ඔහු සමඟ ජේසුස් වහන්සේ මුර කරමින් සිටි අය ද පොළෝකම්පාවත්, සිදු වූ දේත් දැක ඉතා බියපත් ව, “සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි කී හ. 55 ගලීලයේ සිට උන් වහන්සේ කැටුව අවුත්, උන් වහන්සේට ආවතේව කළ බොහෝ කාන්තාවෝ ද එහි දුරින් සිට බලා සිටියහ. 56මග්දලායේ මරියා ද ජාකොබ්ගේ සහ ජෝසෙප්ගේ මව වූ මරියා ද සෙබදීගේ පුත්‍රයන්ගේ මව ද ඔවුන් අතර වූ හ.
57සවස් වූ කල ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෙකු ව සිටි ජෝසෙප් නම් ධනවත් මනුෂ්‍යයෙක් අරිමාතියේ සිට අවුත්, 58පිලාත් වෙත ගොස්, උන් වහන්සේගේ මෘත ශරීරය ඉල්ලී ය. එවිට පිලාත් එය භාර දෙන්න අණ කෙළේ ය. 59ජෝසෙප් ඒ මෘත ශරීරය ගෙන පිරිසිදු හණ රෙද්දකින් වෙළා, 60පර්වතයෙහි කප්පා තිබුණු තමාගේ ම අලුත් සොහොන් ගැබෙහි තබා, එහි දොරකඩට විශාල ගලක් පෙරළා තබා යන්න ගියේ ය. 61මග්දලායේ මරියා ද අනික් මරියා ද එතැන සොහොන් ගෙය ඉදිරියෙහි හිඳගෙන උන්හ.
62පසු දා එනම් සිකුරාදාට පසු දා, නායක පූජකවරු ද පරිසිවරු ද පිලාත් වෙත රැස් ව, 63 “ස්වාමීනි, ඒ වංචාකාරයා ජීවත් ව සිටිය දී, ‘මම තුන් දවසකට පසු මරණින් උත්ථාන වන්නෙමි’යි කී බව අපට මතක ය. 64එහෙයින් තුන් වන දවස දක්වා සොහොන් ගෙය ආරක්ෂා කරන්න අණ දුන මැනවි. නැතහොත්, සමහර විට ඔහුගේ ශ්‍රාවකයන් අවුත් ඔහු සොරාගෙන ගොස්, ‘ඔහු මරණින් උත්ථාන වී ය’යි සෙනඟට කියනු ඇත. මෙසේ අවසාන වංචාව මුල් වංචාවට වඩා මහත්වන්නේ ය”යි කී හ. 65“වුවමනා නම්, මුර කණ්ඩායමක් රැගෙන ගොස් සොහොන හැකි පමණ සුරක්ෂිත කොට තබන්නැ”යි පිලාත් ඔවුන්ට කී ය. 66ඔව්හු ගොස් සොහොන් ගල පිට මුද්‍රාව තබා, මුර කණ්ඩායම එහි සිටුවා, සොහොන් ගෙය සුරක්ෂිත කළහ.

Post a Comment

0 Comments