✟✟ 𝟚𝟘𝟚𝟛 ජනවාරි 5 ✟✟



පළමුවන කියවීම 1 ජොහන්  3:11-21

11  පටන්ගැන්මේ සිට ඔබ ඇසූ පණිවුඩය නම්, අප එකිනෙකාට ප්‍රේම කළ යුතු ය යනු යි. 12 සිය සහෝදරයා මැරූ, නපුරාට අයිති වූ කායින් මෙන් අප නොවිය යුතු ය. කායින් සිය සහෝදරයා මැරුවේ මන් ද? තමාගේ ක්‍රියා නපුරු ව ද සහෝදරයාගේ ක්‍රියා යහපත් ව ද තිබුණු බැවිනි.
13සහෝදරයෙනි, ලෝකයා ඔබට වෛර කරන්නේ නම් පුදුම නොවන්න. 14 අපි සහෝදරයන්ට ප්‍රේම කරන බැවින් මරණයෙන් ජීවනයට පැමිණ සිටින බව දනිමු. ප්‍රේම නොකරන්නා මරණයෙහි පවතියි. 15තම සහෝදරයාට වෛර කරන කවරෙක් නමුත් මිනී මරන්නෙකි. කිසි මිනී මරන්නෙකු තුළ සදාතන ජීවනය නොමැති බව ඔබ දන්නහු ය. 16ප්‍රේමය යනු කිමෙක් දැ යි අප දන්නේ, ක්‍රිස්තුන් වහන්සේ සිය ජීවිතය අප උදෙසා පරිත්‍යාග කළ බැවිනි. අප ද, සහෝදරයන් උදෙසා අපේ ජීවිත පරිත්‍යාග කළ යුතු ය. 17ලෞකික සම්පත් ඇති කෙනෙක්, තම සහෝදරයාගේ අගහිඟකම දැක දැකත්, ඔහුට අනුකම්පා නොකරත් නම්, දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේ ද? 18මාගේ ප්‍රිය දරුවෙනි, අපගේ ප්‍රේමය වචනයෙන් වත්, කතාවෙන් වත් නොව, ක්‍රියාවෙන් ප්‍රකාශ වන සත්‍ය ප්‍රේමයක් විය යුතු ය.
19අප සත්‍යයේ පිහිටා සිටින බව දන්නේත්, ඒ ගැන දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ සිතේ සහතිකයක් අපට ඇති විය හැක්කේත් මෙසේ ය: 20අපේ සිත අපට දෝෂාරෝපණය කරයි නම්, දෙවියන් වහන්සේ අපේ සිතට වඩා උතුම් බවත්, උන් වහන්සේ සියල්ල දන්නා බවත් අපි දනිමු. 21ප්‍රේමවන්තයෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරයි නම්, දෙවියන් වහන්සේ ඉදිරියේ අපට බියවීමට කරුණක් නැත.

පිළිතුරු ගීය ගීතාවලිය 100:1B-2, 3, 4, 5

පිළිතුරමුළු පොළෝ වැසියෙනි, සමිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.

1මුළු පොළෝ වැසියෙනි, සමිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
2සමිඳුන් හට ප්‍රීතියෙන් වැඳ පුදා, ප්‍රීති ගී ගයමින් එතුමන් ඉදිරියට පැමිණෙන්න.
පිළිතුරමුළු පොළෝ වැසියෙනි, සමිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
3සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න.
අප මැව්වේ එතුමාණෝ ය;
අපි එතුමන්ගේ ය, එතුමන්ගේ සෙනඟ ය.
එතුමන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.
පිළිතුරමුළු පොළෝ වැසියෙනි, සමිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
4තුති පුදා, එතුමන්ගේ වාසල් දොරටුවලට ද තුති ගී ගය ගයා, එතුමන්ගේ මන්දිරවලට ද ඇතුළු වන්න.
පිළිතුරමුළු පොළෝ වැසියෙනි, සමිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
5 මන්ද, සමිඳාණෝ යහපත් ය;
එතුමන්ගේ ප්‍රේමය ස්ථිර ය;
සදහට ම පවත්නේ ය.
පරපුරෙන් පරපුරට එතුමන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.
පිළිතුරමුළු පොළෝ වැසියෙනි, සමිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.


සුබාරංචිය ජොහන්  1:43-51

43පසු දින ජේසුස් වහන්සේ ගලීලයට යන්නට ඉටාගත් සේක. එහි දී පිලිප් හමු වී, “මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක. 44පිලිප් වනාහි ඇන්ඩෘගේ සහ පේදුරුගේ ගම වූ බෙත්සයිදාවෙන් ආ තැනැත්තෙකි. 45පිලිප් ද නතානියෙල් සොයා ගෙන, “මෝසෙස් ව්‍යවස්ථාවලියෙහි හා දිවැසාවලියෙහි සඳහන් කර ඇති තැනැන් වහන්සේ, එනම්, ජෝසෙප්ගේ පුත් නාසරෙත්හි ජේසුස් වහන්සේ අපට හමු වූ සේකැ”යි කී ය. 46නතානියෙල් ද කතා කරමින්, “වැදගැම්මක් ඇති කිසිවක් නාසරෙතින් නික්මේ දැ”යි ඇසී ය. “ඇවිත් බලන්නැ”යි පිලිප් කී ය. 47ජේසුස් වහන්සේ නතානියෙල් තමන් වෙත එනු දැක, “මෙන්න, හොරබොරු නැති, සැබෑ ඉශ්රායෙල් ජාතිකයෙකැ”යි ඔහු ගැන වදාළ සේක. 48“ඔබ මා ගැන කෙසේ දන්නෙහි දැ”යි නතානියෙල් උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “පිලිප් ඔබ කැඳවන්නටත් පෙර, අත්තික්කා ගස යට ඔබ සිටිනු මම දිටිමි”යි වදාළ සේක. 49නතානියෙල් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඔබ වහන්සේ නම්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඔබ වහන්සේ නම්, ඉශ්රායෙල්හි රජිඳාණෝ ය”යි කී ය. 50ජේසුස් වහන්සේ ද පිළිතුරු දෙමින්, “ඔබ අත්තික්කා ගස යට සිටිනු මම දිටිමි, යි මා ඔබට වදාළ බැවින් ද, ඔබ අදහා ගත්තේ? මීට වඩා මහත් දේ ඔබ දකින්නෙහි ය”යි වදාළ සේක. 51 තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි; ස්වර්ගය විවර වී, මනුෂ්‍ය-පුත්‍රයාණන් වෙත දෙවියන් වහන්සේගේ දූතයන් නැඟ යනවාත්, බැස එනවාත් ඔබ දකින්නෙහි ය”යි වදාළ සේක.


Post a Comment

0 Comments