✟✟ 𝟚𝟘𝟚𝟛 ජනවාරි 2 ✟✟

 


පළමුවන කියවීම 1 ජොහන් 2:22-28

22බොරුකාරයා කවරෙක් ද? ඔහු අන් කිසිවෙකු නොව, ජේසුස් වහන්සේ ක්‍රිස්තුස් නොවේ යයි කියන තැනැත්තා ය. ක්‍රිස්තු-විරෝධියාත් ඔහු ම ය. ඔහු පියාණන් වහන්සේත් පුත්‍රයාණන් වහන්සේත් ප්‍රතික්ෂේප කරන්නේ ය. 23යමෙක් පුත්‍රයාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ද, ඔහු පියාණන් වහන්සේත් ප්‍රතික්ෂේප කරයි; යමෙක් පුත්‍රයාණන් වහන්සේ පිළිගන්නේ ද, ඔහු පියාණන් වහන්සේත් පිළිගන්නේ ය. 24ඔබ මුල සිට ම ඇසූ දේ සිතෙහි නිදන් කරගන්න. මුල සිට ම ඔබ ඇසූ දේ ඔබ තුළ පවතී නම් ඔබ පුත්‍රයාණන් වහන්සේ තුළත්, පියාණන් වහන්සේ තුළත් ජීවමාන ව සිටින්නහු ය. 25උන් වහන්සේ අපට දුන් පොරොන්දුව නම් මේ සදාතන ජීවනය ය.
26මා මේ කාරණා ඔබට ලිව්වේ ඔබ මුළා කරන්නට උත්සාහ කරන අය සම්බන්ධයෙන් ය. 27උන් වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ තුළ පවතින හෙයින් ඔබට ඉගැන්වීමට අන් කිසිවෙක් වුවමනා නැත. උන් වහන්සේගේ ඒ ආලේපය ඔබට සියල්ල උගන්වනු ඇත. එය සත්‍යම ය; අසත්‍යයක් නොවේ. ඒ ආලේපය ඔබට ඉගැන්වූ පරිදි, උන් වහන්සේ තුළ පැවතී සිටින්න.
28ඉතින් මාගේ ප්‍රිය දරුවෙනි, උන් වහන්සේ තුළ පවතින්න. එසේ කළ යුත්තේ උන් වහන්සේ ප්‍රකාශ වූ විට ඔබ නිසැක ව සිටින පිණිසත්, උන් වහන්සේගේ ආගමනයේ දී ඔබ උන් වහන්සේ ඉදිරියේ ලජ්ජා රහිත ව සිටින පිණිසත් ය. 29උන් වහන්සේ ධර්මිෂ්ඨ බව ඔබ දන්නහු නම්, දමිටුකම් කරන සියල්ලන් උන් වහන්සේගෙන් උපත ලබා සිටින බව ඔබට තේරුම් යනු ඇත.

පිළිතුරු ගීය ගීතාවලිය 98:1, 2-3AB, 3CD-4

පිළිතුර මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.

1සමිඳාණන් වහන්සේට නව ගීයක් ගයන්න;
මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක.
සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක.
පිළිතුර මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.
2සමිඳාණෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කළ සේක;
විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක.
3එතුමාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එතුමාණන්ගේ ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් සිහි කළ සේක.
පිළිතුර මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.
මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.
4එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න;
ප්‍රීති ගී ගයමින් එතුමාණෝ පසසන්න.
පිළිතුර මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.

ආලේලූයියා හෙබ්‍රෙව් 1:1-2

1දෙවියන් වහන්සේ ආදි යුගවල දී, නොයෙක් විට ද විවිධාකාරයෙන් ද, දිවැසිවරයන් මඟින් අපේ පියවරුන්ට කතා කළ සේක. 2එහෙත් දැන් මේ අවසාන කාලයේ දී උන් වහන්සේ සිය පුත්‍රයාණන් මඟින් අපට කතා කළ සේක. 

සුබාරංචිය ජොහන් 1:19-28

19“ඔබ කවරෙක් දැ”යි අසන පිණිස ජුදෙව්වරුන් විසින් ජෙරුසලමෙන් පූජකයන් ද ලෙවීයයන් ද යැවූ කල, ජොහන් සාක්ෂි දෙමින්, 20“මම ක්‍රිස්තුස් නොවෙමි”යි නොසඟවා ම ප්‍රකාශ කෙළේ ය. 21 “එසේ නම් කිමෙක් ද? ඔබ එලියා දැ”යි ඔව්හු ඇසූ හ. “නැතැ”යි ඔහු කී ය. “ඔබ ඒ දිවැසිවරයා ද?” යන ප්‍රශ්නයටත්, “නැතැ”යි ඔහු කී ය. 22“එසේ නම්, ඔබ කවරෙක් ද? අප එවූ අයට පිළිතුරක් දිය යුතු යි; ඔබ ගැන ම ඔබ කියන්නේ කිමෙක් දැ”යි ඔව්හු ඇසූ හ. 23 “මම නම්, යෙසායා දිවැසිවරයා කී පරිදි, ‘සමිඳාණන්ගේ මඟ පිළියෙළ කරන්නැ’යි පාළුකරයෙහි මොරගසන්නෙකුගේ හඬ වෙමි”යි ජොහන් පිළිතුරු දුනි.
24එවන ලද සමහරෙක් පරිසිවරු ය. 25ඔව්හු ප්‍රශ්න කරමින්, “ඉදින් ඔබ ක්‍රිස්තුස් වත්, එලියා වත්, ඒ දිවැසිවරයා වත් නොවන්නෙහි නම්, බව්තීස්ම-ස්නාපනය කරන්නේ කුමක් නිසා දැ”යි ඇසූ හ. 26ජොහන් ද පිළිතුරු දෙමින්, “මම වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි; එහෙත්, ඔබ නාඳුනන කෙනෙක් ඔබ මැද වැඩ සිටිති. 27එනම්, මට පසුව වඩින තැනැන් වහන්සේ ය; උන් වහන්සේගේ පාවහන් පටි මුදන්නට වත් මම නොවටිමි”යි කී ය. 28මෙය සිදුවූයේ, ජොහන් බව්තීස්ම-ස්නාපනය කරමින් සිටි ජොර්දානෙන් එතෙර‍ බෙතානියේ දී ය.



Post a Comment

0 Comments