✟✟ 𝟚𝟘𝟚𝟛 ජනවාරි 16 ✟✟

 


පළමුවන කියවීම හෙබ්‍රෙව්  5:1-10
1සෑම නායක පූජකයෙක් ම, පඬුරුත් පාප පූජාත් ඔප්පු කිරීම පිණිස ස්වකීය සෙනඟ අතුරින් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් දෙවියන් වහන්සේ සඳහා වූ කටයුතු කිරීම පිණිස පත් කරනු ලබයි. 2ඔහුත් දුර්වලකම්වලට භාජන වී සිටින බැවින් අනුවණයන් ද මුළාවෙන්නන් ද ගැන ඉවසිල්ලෙන් ක්‍රියා කිරීමට ඔහුට පිළිවන. 3 ඒ දුර්වලකම් නිසා සෙනඟ උදෙසා මෙන් ම තමා උදෙසාත් ඔහු විසින් පාප පූජා ඔප්පු කරනු ලැබීම අවශ්‍ය ව ඇත. 4තවද ආරොන් මෙන්, දෙවියන් වහන්සේ විසින් කැඳවන ලද අය මිස, අන් කිසිවෙක් ඒ නිලය තමාට ම පවරා නොගන්නේ ය.
5  එසේ ම ක්‍රිස්තුන් වහන්සේත් නායක පූජකයෙකු වීමේ ගෞරවය තමන් වහන්සේ ම පවරා නොගත් සේක. එහෙත්:
“ඔබ මාගේ පුත්‍රයා ය;
අද මම ඔබ ජනිත කෙළෙමි”යි
උන් වහන්සේට කී තැනැන් වහන්සේ ම ඒ ගෞරවය පැවරූ සේක. 6 එලෙස ම වෙන තැනක:
“ඔබ මෙල්කිසදෙක් පූජක පරපුර අනුව, සදහට ම පූජකයෙක් වන්නෙහි ය”යි
ඒ තැනැන් වහන්සේ වදාරන සේක.
7  ක්‍රිස්තුන් වහන්සේ මිනිසත්බව ගෙන සිටිය දී තමන් මරණයෙන් ගළවන්නට පිළිවන් වූ තැනැන් වහන්සේට බලවත් හැඬීමෙනුත් කඳුළු සැලීමෙනුත්, යාච්ඤා ද කන්නලවු ද ඔප්පු කළ සේක. උන් වහන්සේගේ දේව ගරුබිය නිසා, දෙවියන් වහන්සේ එයට සවන් දුන් සේක. 8උන් වහන්සේ පුත්‍රයාණන් වූ නමුත්, තමන්ගේ දුක් විඳීමෙන් කීකරුකම ඉගෙනගත් සේක. 9මෙසේ උන් වහන්සේ සම්පූර්ණත්වය ලැබ, තමන් වහන්සේට කීකරු වන සියල්ලන්ගේ සදාතන විමුක්තිදායකයාණෝ වූ සේක. 10තවද මෙල්කිසදෙක් පූජක පරපුර අනුව, උත්තම පූජක නාමය ද දෙවියන් වහන්සේගෙන් ලත් සේක.
පිළිතුරු ගීය ගීතාවලිය 110:1, 2, 3, 4
පිළිතුරනුඹ මෙල්කිසදෙක්ගේ පරපුරෙන් සදහට ම පූජකයෙක් ය
1 සමිඳාණෝ මා සමිඳුන්ට කතා කොට, “මා නුඹේ සතුරන් නුඹේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්නැ”යි වදාළ සේක.
2සමිඳාණන් සියොන්හි සිට ජයකොන්තය ඔබ අතට දුන් විට ඔබේ සතුරන් මැද රජකම් කළ මැනව.
3ඔබ සතුරන් සමඟ සටන් කරන දවසේ දී ඔබේ සෙනඟ සිය කැමැත්තෙන් ඔබට එකතු වන්නෝ ය.
අලුයම පිනි මෙන්, ඔබේ තරුණයෝ ඔබ වෙත පැමිණෙති.
4 “නුඹ මෙල්කිසදෙක්ගේ පරපුරෙන් සදහට ම පූජකයෙක් ය”යි සමිඳාණෝ දිවුළ සේක;
එය වෙනස් නොකරන සේක.


ආලේලූයියා හෙබ්‍රෙව් 4:12
දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය.

සුබාරංචිය මාක්  2:18-22
18වරක් ජොහන්ගේ ගෝලයෝ ද පරිසිවරු ද උපවාසයෙහි යෙදුණාහ. එවිට සමහරෙක්, “ජොහන්ගේ ගෝලයෝ ද පරිසිවරුන්ගේ ගෝලයෝ ද උපවාස කරති; ඔබේ ශ්‍රාවකයන් උපවාස නොකරන්නේ මන්දැ”යි ජේසුස් වහන්සේගෙන් ඇසූ හ.
19උන් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක: “මනාලයා ඔවුන් සමඟ සිටිය දී ඔහුගේ ඥාති මිත්‍රාදීන්ට උපවාස කළ හැකි ද? මනාලයා ඔවුන් සමඟ සිටින තුරු ඔවුන්ට උපවාස කළ නොහැකි ය. 20එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණෙයි. ඒ දවසේ දී ඔවුන් උපවාස කරනු ඇත. 21තාන් රෙදි කඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙක් නැත, එසේ කළොත්, අලුත් රෙදි කඩට පරණ රෙද්ද ඇදී ඉරුම වඩා ලොකු වේ. 22අලුත් මිදියුස පැරණි සම් බඳුන්වල වක්කරන කිසිවෙක් නැත. එසේ කළොත්, මිදියුසින් සම් බඳුන් පැළී, මිදියුසත් බඳුනුත් දෙක ම නැති වේ. නව මිදියුස දැමිය යුත්තේ නව බඳුන්වලට ම ය.”

Post a Comment

0 Comments