✟✟ 𝟚𝟘𝟚𝟛 ජනවාරි 14 ✟✟

 


පළමුවන කියවීම හෙබ්‍රෙව් 4:12-16

12දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය. 13උන් වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේ ම නැත. උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ. අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය.
14එබැවින් අහස් මඬල ඉක්මවා ගිය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් නම් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයෙකු අපට සිටින නිසා, අපේ ඇදහිල්ලෙහි නොසෙල්වී පවතිමු. 15මන්ද, අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකු නොව, හැම අයුරින් ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි. 16එබැවින් අපේ අවශ්‍යතාවන්හි දී අපේ සරණ සඳහා දයානුකම්පාව ලබන පිණිස බිය සැක නැති ව කරුණාවේ සිංහාසනය වෙත ළඟා වෙමු.

පිළිතුරු ගීය ගීතාවලිය 19:8, 9, 10, 15

පිළීතුර මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි.


8සමිඳුන්ගේ අණපණත් සාධාරණ ය;
සිතට සතොස වඩන්නේ ය.
සමිඳුන්ගේ අණසක පැහැදිලි ය;
දෙනෙතට එළිය දෙන්නේ ය,
පිළීතුර මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි.
9සමිඳුන් කෙරෙහි ගරුබිය නිර්මල ය;
එය සදහට ම පවතින්නේ ය.
සමිඳුන්ගේ විනිශ්චය යුක්තිසහගත ය;
මුළුමනින් දැහැමි වේ ම ය.
පිළීතුර මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි.
10රනට වඩා, පෙරූ රනට වඩා, එය මනහර ය;
පැණියට වඩා, මී පැණියට වඩා, එය සුමිහිරි ය.
පිළීතුර මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි.
14මාගේ පර්වතය ද මාගේ මිදුම්කරු ද වන සමිඳුනි, මා මුවේ වචන ද මා සිතෙහි භාවනා ද ඔබ හට ප්‍රිය මනාප වේ වා!
පිළීතුර මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි.

ආලේලූයියා ලූක් 4:18

 “සමිඳාණන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසා ද දිළිඳුන් හට සුබ ආරංචිය දේශනා කරනු වස්, උන් වහන්සේ මා ආලේප කළ සේක.
වහලුන්ට මිදීම ද අන්ධයන්ට පෙනීම ද ලැබෙන බව දන්වන්ටත්, පීඩිත වූවන් මුදන්ටත්, 19සමිඳාණන් වහන්සේගේ ප්‍රසාදය ලත් වසර ප්‍රකාශ කරන්ටත් මා එවා වදාළ සේක.”

සුබාරංචිය මාක් 2:13-17

13නැවත උන් වහන්සේ පිටත් ව මුහුද අසලින් ගිය සේක. මුළු සමූහයා උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ ඔවුන්ට ඉගැන්වූ සේක. 14උන් වහන්සේ මඟ වඩින විට, අල්පෙවුස්ගේ පුත් ලෙවී නැමැත්තා රේගු පොළේ හිඳිනු දැක, “මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය.
15තවද, උන් වහන්සේ ඔහුගේ නිවෙසහි කෑමට වැඩහුන් කල අයකැමියන් සහ පව්කාරයන් බොහෝ දෙනෙක් ද උන් වහන්සේ සහ උන් වහන්සේගේ ශ්‍රාවකයන් සමඟ හිඳගත්හ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේගේ අනුගාමිකයෝ වූ හ. 16උන් වහන්සේ පව්කාරයන් හා අයකැමියන් සමඟ ආහාර වළඳනු දුටු පරිසිවරුන්ගේ පක්ෂයේ විනයධරයෝ, “බලන්න, උන් වහන්සේ අයකැමියන් හා පව්කාරයන් සමඟ කන බොන සැටි”යි ශ්‍රාවකයන්ට කී හ. 17ජේසුස් වහන්සේ ඒ අසා, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත; මා ආයේ දමිටුන් නොව අදමිටුන් කැඳවීමට ය”යි වදාළ සේක.

Post a Comment

0 Comments