✟✟ 𝟚𝟘𝟚𝟛 ජනවාරි 12 ✟✟



 පළමුවන කියවීම හෙබ්‍රෙව් 3:7-14

7  එබැවින් ශුද්ධාත්මයාණෝ මෙසේ වදාරන සේක:
“අද නුඹලා උන් වහන්සේගේ හඬට සවන් දෙන්නහු නම්,
8පාළුකරයේ දී නුඹලා
උන් වහන්සේ පරීක්ෂා කළ දවසේ දී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න.
9එහි දී නුඹලාගේ පියවරු
සතළිස් අවුරුද්දක් මාගේ ක්‍රියා දැක දැකත් මා සෝදිසි කිරීමෙන් පරීක්ෂා කළහ.
10එබැවින් මම ඒ පරම්පරාවට උදහස් වී:
‘ඔව්හු නිතර ම සිතින් මුළා වෙති;
මාගේ මාර්ග ද ඔව්හු තේරුම් නොගත්හ.
11ඔව්හු මාගේ විශ්‍රාමයට ඇතුළු
නොවන්නෝ ය යි මාගේ උදහසින් දිවුළෙමි ය’යි කීවෙමි.”
12එබැවින් සහෝදරයෙනි, ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් වෙන්වීමට හේතු වන, ඇදහිල්ලක් නැති නපුරු සිතක් ඇති කිසිවෙකු, ඔබ අතර නොසිටින හැටියට බලාගන්න. 13ඔබගෙන් කිසිවෙකු පාප මායාවෙන් දැඩි නොවන පිණිස, ‘අද දවස’ යයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කරන්න. 14මන්ද, මුලදී අප තුළ වූ විශ්වාසය, අග දක්වා අපි තරයේ පවත්වාගනිමු නම්, අපි ක්‍රිස්තුන් වහන්සේගේ උරුමක්කාරයෝ වම්හ.

පිළිතුරු ගීය ගීතාවලිය 95:6-7C, 8-9, 10-11

පිළිතුර එතුමන් පරම්පරා දහසක් දක්වා අණ කළ සිය ගිවිසුම සදහට ම සිහි කරන සේක.

5-6එතුමන්ගේ මෙහෙකරුන් වූ ඉශ්රායෙල් වංශයෙනි, එතුමන් තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි, එතුමන් කළ පුදුම ක්‍රියා ද එතුමන්ගේ ආශ්චර්යයන් ද එතුමන් දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.
7එතුමාණෝ අපේ දෙවි සමිඳාණෝ ය.
එතුමන්ගේ විනිසය මුළු පොළොවෙහි ය.
පිළිතුර එතුමන් පරම්පරා දහසක් දක්වා අණ කළ සිය ගිවිසුම සදහට ම සිහි කරන සේක.
8එතුමන් පරම්පරා දහසක් දක්වා අණ කළ සිය ගිවිසුම සදහට ම සිහි කරන සේක.
9 ඒ ගිවිසුම එතුමාණෝ ආබ්‍රහම් සමඟ කළ සේක.
ඊසාක්ට ද දිවුරුම් දුන් සේක.
පිළිතුර එතුමන් පරම්පරා දහසක් දක්වා අණ කළ සිය ගිවිසුම සදහට ම සිහි කරන සේක.
10 එය, එතුමාණෝ ජාකොබ්ට පණතක් ද ඉශ්රායෙල්ට සදාකාල ගිවිසුමක් ද කොට ස්ථිර කරමින්,
11“නුඹලාගේ උරුමය වශයෙන් කානාන් දේශය නුඹලාට දෙන්නෙමි”යි වදාළ සේක.
පිළිතුර එතුමන් පරම්පරා දහසක් දක්වා අණ කළ සිය ගිවිසුම සදහට ම සිහි කරන සේක.

ආලේලූයියා මතෙව් 4:23

23 තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක. 

සුබාරංචිය මාක් 1:40-45

40එකල, ලාදුරු රෝගියෙක් උන් වහන්සේ වෙත අවුත් දණින් වැටී, “ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට හැකි ය”යි අයැද සිටියේ ය. 41උන් වහන්සේ මහානුකම්පාවෙන් අත දිගු කොට ඔහු පිට තබා, “මම කැමැත්තෙමි, පවිත්‍ර වන්නැ”යි වදාළ සේක. 42එකෙණෙහි ම ලාදුරු රෝගය පහ වී ඔහු පවිත්‍ර කරනු ලැබී ය. 43උන් වහන්සේ, “මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස බලාගන්නැ”යි ඔහුට තදින් අණ දී, 44 “යන්න, පූජකයා ඉදිරියෙහි පෙනී සිටින්න; මෝසෙස්ගේ නියමය පරිදි පවිත්‍රවීමේ සහතිකයක් ලෙස පූජා ඔප්පු කරන්න” කියා ඔහු වහා පිටත් කර යැවූ සේක. 45එහෙත්, ඔහු ගොස් ඒ මුළු සිද්ධිය ප්‍රසිද්ධ ලෙස කිය කියා, දස දෙස පතුරුවා හැරියේ ය. එහෙයින්, කිසි නුවරකට ප්‍රසිද්ධියේ පිවිසෙන්නට ඉන්පසු උන් වහන්සේට නොහැකි වූයෙන්, ජේසුස් වහන්සේ පාළු පෙදෙස්වල නැවතුණ සේක. එසේ වුව ද, සමූහයා සියලු දිශා භාගවලින් උන් වහන්සේ වෙත පැමිණියහ.


Post a Comment

0 Comments