✟✟ 𝟚𝟘𝟚𝟚 දෙසැම්බර් 15 ✟✟

 



ළමුවන කියවීම යෙසායා 54:1-10

1 “දරුවන් නොලැබූ වඳ ස්ත්‍රියක වැනි ජෙරුසලම, ගී ගයන්න.
ප්‍රසව වේදනාව නොවින්ද නුඹ ගී හඬ නඟා මොරගසන්න.
මන්ද, විවාහක ස්ත්‍රියගේ දරුවන්ට වඩා, අත්හරිනු ලැබූ ගැහැණියක වැනි නුඹට දරු සම්පත් බොහෝ වෙති”යි සමිඳාණෝ වදාරන සේක.
2“නුඹේ කූඩාරම පිහිටා ඇති ස්ථානය විශාල කරන්න.
එහි සීමා පළල් කරන්න;
පසු නොබසින්න;
ලණු දික් කරගෙන ඇබ සවි කරන්න.
3මන්ද, නුඹේ සීමා වමටත් දකුණටත් පැතිරී යනු ඇත.
නුඹේ දරු පරපුර ජාතීන්ගේ දේශ හිමි කරගෙන පාළු වී ඇති නගර වැසියන්ගෙන් පුරවනු ඇත.
4බිය නොවන්න;
නුඹ නැවත ලජ්ජාවට පැමිණෙන්නේ නැත.
නොකැළඹෙන්න, නුඹ නින්දාවට පත් වන්නේ නැත.
නුඹේ යොවුන් වියෙහි ලජ්ජාව නුඹ අමතක කරන්නෙහි ය.
නුඹේ වැන්දඹුකමේ නින්දාව තවත් සිහි නොකරන්නෙහි ය.
5නුඹේ මැවුම්කාරයාණෝ නුඹේ ස්වාමි පුරුෂයා මෙන් වන සේක.
එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය.
ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන් වහන්සේ නුඹේ මිදුම්කාරයාණෝ ය.
‘මුළු පොළොවේ දෙවිඳාණෝ ය’යි එතුමන්ට කියනු ලබන්නේ ය.
6ඉශ්රායෙල්, නුඹ සිය පුරුෂයා විසින් අත්හරිනු ලැබූ අතිශයෙන් ශෝකයට පත් වී සිටින තරුණ භාර්යාවක වැන්න.
එහෙත්, සමිඳාණන් එතුමන් වෙත නුඹ කැඳවා ඇත.”
නුඹේ දෙවිඳාණෝ නුඹට මෙසේ වදාරන සේක:
7“මම ස්වල්ප කලකට නුඹ අත්හළෙමි.
එහෙත් මහා දයානුකම්පාවෙන් නැවත නුඹ කැඳවාගන්නෙමි.
8ඉමහත් උදහසින් මොහොතකට මාගේ මුහුණ නුඹ කෙරෙන් සඟවාගතිමි.
එහෙත්, නොමියෙන සුලු ප්‍රේමයකින් මම නුඹට අනුකම්පා කරන්නෙමි.”
නුඹේ මිදුම්කාරයාණන් වන සමිඳාණෝ මෙසේ වදාරන සේක:
9 “නෝවාගේ කාලයේ ඇති වූ ජලගැල්ම මට සිහි වේ.
ඒ කාලයේ ඇති වූවාක් මෙන් නුඹ කෙරෙහි උදහස් නොවන බවටත්, නුඹට තරවටු නොකරන බවටත් මම දිවුරුම් දෙන්නෙමි.
10කඳු පහ ව ගියත්, හෙල් සෙලවුණත්, නුඹට ඇති මාගේ තිර පෙම පහ වෙන්නේ වත්, මාගේ ගිවිසුම සෙලවෙන්නේ වත් නැත.
මෙසේ වදාරන්නේ නුඹට අනුකම්පා කරන සමිඳාණන් වන මම ය.”

පිළිතුරු ගීය ගීතාවලිය 30:2 AND 4, 5-6, 11-12A AND 13B

පිළිතුර  මාගේ දෙවි සමිඳුනි, ඔබට යාදිනි කීවෙමි, ඔබ මට සුව සෙත දුන් සේක.

2මාගේ දෙවි සමිඳුනි, ඔබට යාදිනි කීවෙමි, ඔබ මට සුව සෙත දුන් සේක.
4සැදැහැවතුනි, සමිඳුන්ට ගී පසස් නඟන්න;
ඒ නිර්මල නාමයට තුති ගී ගයන්න.
පිළිතුර  මාගේ දෙවි සමිඳුනි, ඔබට යාදිනි කීවෙමි, ඔබ මට සුව සෙත දුන් සේක.
5මන්ද, එතුමාණන්ගේ උදහස ඇසිල්ලකට පමණ ය.
එතුමාණන්ගේ කරුණාව දිවි ඇති තාක් ය.
රැයේ හැඬීම පවතියි;
උදය ප්‍රීතිය උදා වෙයි.
6“සැප සම්පතේ දී කිසිදාක මම නොසෙල්වෙන්නෙමි”යි කියා ගතිමි.
පිළිතුර  මාගේ දෙවි සමිඳුනි, ඔබට යාදිනි කීවෙමි, ඔබ මට සුව සෙත දුන් සේක.
11ඔබ මාගේ දොම්නස සොම්නසට හැරෙවු සේක.
ඔබ මාගේ ගෝණි රෙදි මුදා තුටු පිළියෙන් මා සැරසූ සේක.
12දැන් ඉතින් මම නිහඬ ව නොසිටිමි.
ඔබට ගී පසස් ගයන්නෙමි.
මාගේ දෙවි සමිඳුනි, සදහට ම ඔබ හට ගී ගයන්නෙමි.
පිළිතුර  මාගේ දෙවි සමිඳුනි, ඔබට යාදිනි කීවෙමි, ඔබ මට සුව සෙත දුන් සේක.

ආලේලූයියා ලූක්  3:4, 6

“සමිඳුන්ගේ මඟ පිළියෙළ කරන්න, එතුමන් හට ඇද නැති මාවත් සාදන්න. සියලු කඳු හා හෙල් සමතලා කරනු ලැබේ; සියලු වංගු ඇද හරිනු ලැබේ; රළු මාවත් මට්ටම් කරනු ලැබේ. දෙවියන් කෙරෙන් වන විමුත් මඟ මනු සත දකිනු ඇතැ 

සුබාරංචිය ලූක් 7:24-30

24ජොහන්ගේ දූතයන් නික්ම ගිය විට උන් වහන්සේ ජොහන් ගැන පිරිසට කතා කරමින්, “ඔබ කුමක් බැලීමට වනයට ගියහු ද? සුළඟින් සැලෙන බට ගසක් ද? 25කුමක් බැලීමට ගියහු ද? සිනිඳු පිළියෙන් සැරසුණු මිනිසෙකු ද? බලන්න, විසිතුරු වස්ත්‍ර හැඳ, සැප විහරණයෙන් කල් යවන්නෝ නම් රජ මැඳුරුවල සිටිති. 26එසේ නම් ඔබ කුමක් බැලීමට ගියහු ද? දිවැසිවරයෙකු බැලීමට ද? එසේ ය, මම ඔබට කියමි; ඔහු දිවැසිවරයෙකුටත් වඩා ශ්‍රේෂ්ඨයෙකි,
27  ‘බලන්න, මාගේ දූතයා ඔබ පෙරටුව යවමි, හෙතෙම ඔබ වඩිනා මඟ ඔබ ඉදිරියෙහි පිළියෙළ කරන්නේ ය’යි
ශුද්ධ ලියවිල්ලේ ලියා ඇත්තේ මොහු ගැන ය. 28මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් නැතැ යි මම ඔබට කියමි. එහෙත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි ඉතා සුළු තැනැත්තේ වුව ද ඔහුට වඩා ශ්‍රේෂ්ඨය”යි වදාළ සේක. 29 ඒ ඇසූ මුළු පිරිස ද අයකැමියෝ ද තමන් ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය ලැබූ බැවින්, දෙවියන් වහන්සේ ධාර්මික බව පිළිගත්හ. 30එහෙත් පරිසිවරු ද විනයධරයෝ ද ඔහුගෙන් බව්තීස්ම-ස්නාපනය නොලැබූ බැවින් තමන් පිළිබඳ දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ප්‍රතික්ෂේප කළහ.

Post a Comment

0 Comments