✟✯🌷 රෝමයේ ලැටරන් බැසිලිකාව කැප කිරීමේ මංගල්‍යය 🌷✯ ✟

 





ශාන්ත ජෝන් ලැටරන් බැසිලිකාව කැප කිරීමේ මංගල්‍යය සමස්ත සභාව විසින්ම සමරනු ලබන මංගල්‍යයකි. ක්‍රි.ව. 324 දී I වන සිල්වෙස්ටර් පාප්තුමා විසින් රෝමයේ ආසන දෙව්මැදුර කැප කිරීම මෙලෙස සිහිපත් කරනු ලබයි. මෙම දෙව්මැදුර  පාප් තුමාගේ එනම් රෝමයේ රදගුරුතුමාගේ ආසන දෙව්මැදුර වේ. මෙහි ඇති ලතින් භාෂාවෙන් සටහන් කර ඇති පුවරුවක මෙසේ සටහන් කර ඇත: "omnium ecclesiarum Urbis et Orbis mater et caput."  මෙහි අර්ථය වන්නේ, "නගරයේ සහ ලෝකයේ ඇති සියලුම දෙව්මැදුරුවල මාතෘ සහ ප්‍රධාන දෙව්මැදුර මෙය වේ" යන්නයි. එනම් ලොව පවතින සියලුම බැසිලිකාවන්හි අග්‍ර බැසිලිකාව මෙන්ම අග්‍ර දෙව්මැදුර වන්නේ ද මෙය බවයි. 

මෙම බැසිලිකාව පළමුවෙන්ම නම් කරන ලද්දේ අතිශුද්ධ වූ ගැලවුම්කරුවාගේ අග්‍ර බැසිලිකාව යනුවෙනි. කෙසේ වෙතත්, මෙම බැසිලිකාව ලැටරානි පවුල විසින් සභාවට පරිත්‍යාග කරන ලද දේපල මත ඉදිකරන ලද නිසාත්, ශාන්ත ස්නාවක ජොහන්තුමාගේ නිකායේ තාපස පියතුමන්ලාගේ පරිපාලනය යටතේ පැවති නිසාත් මෙය ශාන්ත ජෝන් ලැටරන් බැසිලිකාව ලෙස ප්‍රසිද්ධ විය.

බොහෝ කතෝලිකයන් ශාන්ත පීතර බැසිලිකාව සභාවේ ප්‍රධාන දෙව්මැදුර ලෙස සිතන නමුත් එම මතය සාවද්‍ය වේ. ශාන්ත ජෝන් ලැටරන් යනු පාප්තුමාගේ ප්‍රධාන දේවස්ථානය වන අතරම එය රෝමයේ රදගුරුතුමා මුලසුන දරන රෝම රදගුරු පදවියේ ආසන දෙව්මැදුර වේ.

කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාට ධනවත් ලැටරන් පවුලෙන් ලැබුණු මෙම ඉඩම සභාවට පරිත්‍යාග කළ පසු මෙම භූමියේ පළමු බැසිලිකාව ඉදිකරන ලද්දේ හතරවන සියවසේදීය. මෙය ගින්නෙන්, භූමිකම්පාවෙන් සහ යුද්ධයේ ප්‍රතිඵල ලෙස විනාශයන්ට ගොදුරු වූ නමුත් පාප්තුමන්ලා අභිෂේක කළ දෙව්මැදුර ලෙස මෙම ලැටරන් බැසිලිකාව දීර්ඝ කාලවකාවානුවක් පුරා ක්‍රියාත්මක විය. 14 වන ශතවර්ෂයේදී පාප් පදවිය අවිග්නොන්හි සිට රෝමයට පැමිණි විට, මෙම බැසලිකාව සහ යාබදව පැවති මාලිගාව නටබුන් වී ඇති බව සොයා ගන්නා ලදී.

Xවන ඉනොසන්ට් පාප්තුමා වර්තමාන බැසිලිකා ව්‍යුහය 1646 දී සකස් කරන ලදී. රෝමයේ විශේෂතම දෙව්මැදුරුවලින් එකක් වන මෙම ලැටරන් බැසිලිකාවේ ක්‍රිස්තුස් වහන්සේගේ, ස්නාවක ජොහන්ගේ, අපෝස්තුළුවර ජොහන්ගේ සහ සභා පියවරු 12 දෙනෙකුගේ දැවැන්ත ප්‍රතිමා 15 ක් මෙහි දැකිය හැකිය. 

මෙහි පූජාසනය එනම් අල්තාරය යට තැන්පත් කර ඇති  කුඩා ලී මේසයේ නටබුන් පේදුරුතුමා විසින්ම දිව්‍ය පූජාව පවත්වන ලද කුඩා මේසය බව සාම්ප්‍රදායිකව විශ්වාස කරනු ලැබේ.

Post a Comment

0 Comments