✟✯🌷 ශු . ත්‍රිත්වයේ එලිසබෙත් මුනිවරිය 🌷✯ ✟

 


මෙතුමිය වර්ෂ 1880 ජූලි 18 වන දින ප්‍රංශයේ, චර් හි ඇවෝර්ඩ් හි හමුදා කඳවුරේ දී කපිතාන් ජෝශප් කේට්ස් සහ මාරි රෝලන්ඩ්ගේ පළමු දරුවා ලෙස උපත ලැබුවාය.  ජූලි 22 වන දින ඇයට හමුදා කඳවුරේ දේවස්ථානයේ දී ප්‍රසාද ස්නාපනය දානය කරන ලදී. 1887 ඔක්තෝබර් 2 වන දින මෙතුමියගේ පියා හදිසියේ මිය ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට ඩිජොන් වෙත යාමට සිදු විය. එම වසරේදීම මෙතුමිය සිය පළමු පාපොච්චාරණය කළ අතර 1891 අප්‍රියෙල් 19 වන දින ශාන්ත මයිකල් දෙව්මැදුරේ ප්‍රථම වතාවට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගත්තාය. එම වසරේම ජුනි 8 වන දින නොත්‍රේ-ඩෑම් හිදී මෙතුමිය අභිවෘද්ධි ආලේපය සක්‍රමේන්‍තුව ද ලබා ගත්තාය.

මෙතුමිය කුඩා කාලයේ දරුණු ලෙස කෝප වීමේ ගතිලක්ෂණයක් පෙන්නුම් කළ ද දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීමෙන් පසු ඇය පුදුමාකාර ආත්ම දමනයක් ලබා ගත් අතර දෙවියන් වහන්සේ හා ලෝකය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගත්තාය. දැඩි භක්තියක් වර්ධනය කළ ශුද්ධ වූ ත්‍රිත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ද ලබා ගත් මෙතුමිය රෝගී වූවන් බැලීමට ද, දේවස්ථානයේ ගීතිකා ගායනයට ද කර්මාන්තශාලා වල සේවය කරන දරුවන්ට ආගම ඉගැන්වීමට ද යොමු වුවාය.

එලෙසම වයසින් වැඩෙත්ම කාර්මෙල් නිකායට  ඇතුළු වීමට උනන්දු වූ නමුත් ඇගේ මව එයට විරුද්ධව තදින් අවවාද කළාය. බොහෝ  පුරුෂයන් ඇයව විවාහය කර ගැනීමට යෝජනා කළ නමුත් ඇය ඒ සියල්ල  ප්‍රතික්ෂේප කළේ ඇගේ නිවසේ සිට මීටර් 200 ක් දුරින් පිහිටි කාර්මෙල් කන්‍යාරාමයට ඇතුළු වීම මෙතුමියගේ සිහිනය වූ බැවිනි.

1901 අගෝස්තු 2 වන දින මෙතුමිය ඩිජොන් හී කාර්මෙල්  නිකායට ඇතුළු විය. ඇය තම යාච්ඤාව තුළ මෙන්ම එදිනෙදා වැඩකටයුතු වල දි පවා දේව ආදරය සොයන්නට විය. දෙවියන් වහන්සේගේ මහත් ප්‍රේමය පිළිබඳව ගැඹුරු  අවබෝධයක් අවශ්‍ය යැයි ඇයට හැඟුණු සැමවිටම  ඇය ලිවීමට හුරු වූවාය.

ඇගේ ජීවිතයේ අවසානයේ ඇය තමන්ව "ලෞදෙම් ග්ලෝරියේ" ලෙස හැඳින්වීමට පටන් ගත්තාය. එහි තේරුම  “මහිමය ප්‍රශංසා කිරීම” යන්නයි. එතුමිය මෙසේ පැවසුවාය: “ස්වර්ගයේ දී මගේ මෙහෙවර වනුයේ මුළුමනින්ම සරල හා ප්‍රේමණීය ක්‍රියා මගින් ආත්මයන් ස්වර්ගය වෙත ඇද ගැනීම ද දෙවියන් වහන්සේට ඇලී සිටීමට සහ ඔවුන්වහන්සේට කතා කිරීමට ඉඩ සලසන ගැඹුරු  නිශ්ශබ්දතාවයකට ඔවුන්ව යොමු කිරීමට සහාය වීමයි.

මෙතුමිය වයස අවුරුදු 26 දී, එනම් 1906 නොවැම්බර් 09 වන දින රෝගාතුරව මිය ගියාය. ඇගේ මරණය වේදනාකාරී වුවද එලිසබෙත් ඇගේ දුක් වේදනා දෙවියන් වහන්සේගෙන් ලද ත්‍යාගයක් ලෙස ස්තූතිපූර්වකව පිළිගත්තාය. ඇගේ අන්තිම වචන වූයේ: "මම ආලෝකයට, ආදරයට, ජීවනයට යන්නෙමි!" යනුයි.

1984 නොවැම්බර් 25 වන දින අති උතුම් ii වන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන් විසින් මෙතුමියව භාග්‍යවරයට ඔසවන ලද අතර 2016 ඔක්තෝබර් 16 වන දින අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින් සාන්තුවරභාවයට ඔසවන ලදි.

Post a Comment

0 Comments