✟✯🌷 ශු. ‌ගර්ට්රූඩ් මුනිවරිය 🌷✯ ✟

 




ක්‍රි ව 1256 ජනවාරි 6 වන දින ජේසු බිළිඳුන් රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍යය දින, එනම් ජනවාරි මස 6 වන දින ජර්මනියේ තුරන්ජියා ප්‍රදේශයේ අයිස්ලෙබන් නම් නගරයේ උපත ලැබූ ඇයගේ මුල් ජීවිතය ගැන එතරම් තොරතුරක් සොයා ගත නොහැකිය. වයස අවුරුදු හතරේදී, ඇය හෙල්ෆ්ටා හි ශාන්ත මරියා තාපසාරාමයේ පාසලට හැක්බර්න් හි ගර්ට්රූඩ් නම් තාපසිකාවකගේ මැදිහත් කම තුළ ඇතුළත් විය. මෙම තාපාසාරාමය බෙනදිකානු හෝ සිස්ටර්සියානු එකක් විය හැකියි. භක්තිමත් යුවලක් වූ ඇයගේ දෙමව්පියන් විසින් ඇයව සභාවට කැප කළ දරුවෙකු ලෙස පිරිනමන ලද බවට විශ්වාස කරයි.

ගර්ට්රූඩ් නම් තාපසිකාව ඇයගේ බාල සොහොයුරිය වන මෙක්ටිල්ඩ්ගේ රැකවරණයට කුඩා ගර්ට්රූඩ්ව බාර දුන් අතර ක්‍රි ව 1266 දී ඇයව පැවිදි නිකායට ඇතුළත් කර ගන්නා ලදී. ඇය විවිධ විෂයයන් පිළිබඳව මනා අධ්‍යාපනයක් ලබා ඇති බව ඇගේම ලේඛනවලින් පැහැදිලි වේ. එලෙසම ඇය ශුද්ධ ලියවිල්ල සහ සභා පියවරුන් පිළිබඳ මනා දැනුමක් ලබා සිටි බව ද ලතින් භාෂාව ඉතා චතුර ලෙස කතා කිරිමේ හැකියාව තිබූ බවද  ඇයගේ ලියවිලි  වලින් පැහැදිලි වේ.

ක්‍රි ව 1281 දී, එනම් ඇයට වයස අවුරුදු 25 වන විට ඇය සිය ජීවිත කාලය පුරාම පැවති දර්ශන මාලාවක පළමු අත්දැකීම අත්විඳින අතර එය ඇගේ ජීවිත ගමන වෙනස් කළේය. ඇගේ ප්‍රමුඛතාවය ලෞකික දැනුමෙන් ශුද්ධ ලියවිල්ල හා දේවධර්මය අධ්‍යයනය දෙසට මාරු විය. ගර්ට්රූඩ් පෞද්ගලික යාච්ඤාව සහ භාවනාව සඳහා දැඩි ලෙස කැප වූ අතර ඇගේ පැවිදි සහෝදරියන්ගේ ප්‍රයෝජනය සඳහා අධ්‍යාත්මික නිබන්ධනයන් ලිවීමට පටන් ගත්තාය. ඇය ඇගේ මිතුරියක් සහ ඇයගේ ගුරුවරිය වූ මෙක්ටිල්ඩ් සමඟ එක්ව සුවිශේෂී වූ අධ්‍යාත්මික පිළිවෙතක් අනුගමනය කළ අතර  එමගින් ඔවුන්  ක්‍රිස්තුස් වහන්සේගේ මනාලියන් ලෙස කැපවූහ.

1302 දී සැක්සොනි හි අයිස්ලෙබන් අසල හෙල්ෆ්ටාහිදී ගර්ට්රූඩ් මිය ගියේය. ඇගේ මංගල්‍යය දිනය නොවැම්බර් 16 වන දින සමරනු ලැබුවද ඇය මියගිය දිනය නිශ්චිතවම කිව නොහැක.


Post a Comment

0 Comments