✟✟ 𝟚𝟘𝟚2 නොවැම්බර් 2 ✟✟



 පළමු කියවීම (ප්‍රඥා 3,1-9)

1සුදනන්ගේ ජීවිත දෙවිඳුන්ගේ රැකවරණයෙහි ය.
කිසි ම හිංසාවක් කිසිදාක ඔවුන්ට නොපැමිණෙනු ඇත.
2අනුවණයන්ගේ ඇස් ඉදිරියෙහි ඔව්හු මියයන්නාක් මෙන් වූ හ.
ඔවුන්ගේ මරණය විපත්තියක් මෙන් පෙනුණි.
3ඔවුන් අප අත්හැර යාම නැත්තට ම නැති වීමක් මෙන් විය.
එහෙත් ඔව්හු සාමදානයෙන් සිටිති.
4ඔවුන් දඬුවම් ලැබුවන් සේ මිනිසුන්ට පෙනුණ නමුත් ඔවුන්ගේ බලාපොරොත්තුව අමරණීය භාවයෙන් පෝෂණය විය.
5ඔවුන්ගේ වේදනාව අල්ප විය.
ඔවුන් ලබන ආසිරි විශාල වනු ඇත.
මන්ද, දෙවිඳුන් ඔවුන් පරීක්ෂා කළ විට තමන් සමඟ විසීමට ඔවුන් සුදුසු බව පෙනී ගියේ ය.
6එතුමාණෝ උදුනේ රත්රන් මෙන් ඔවුන් පරීක්ෂා කළ සේක.
දවන යාග පූජාවක් මෙන් ඔවුන් පිළිගත් සේක.
7විනිශ්චය කාලය පැමිණෙන විට ඔව්හු බබළන්නෝ ය;
ඉපනැලි අතර ගිනි පුපුරු මෙන් දිළිසෙන්නෝ ය.
8ඔව්හු ජාතීන් විනිශ්චය කරන්නෝ ය;
සෙනඟ පාලනය කරන්නෝ ය.
සමිඳාණෝ සදහට ම ඔවුන්ගේ රජ වන සේක.
9දෙවිඳුන් කෙරෙහි විශ්වාස කරන්නෝ සත්‍යය තේරුම්ගන්නෝ ය.
සැදැහැවත්හු එතුමන් සමඟ ප්‍රේමයෙන් ජීවත් වන්නෝ ය.
එතුමන්ගේ තෝරාගත් අය හට වරප්‍රසාදය හා දයාව ඇත.

පිළිතුරු ගීය (ගීතාවලිය 23, 1-6)

පිළිතුර - සමිඳාණෝ මා එඬේරාණෝ ය;අග හිඟ මට නොවන්නේ ය.

1සමිඳාණෝ මා එඬේරාණෝ ය;
අග හිඟ මට නොවන්නේ ය.
2 එතුමාණෝ නිල් තණ බිම් මත මා සතප්වා, නිසල දිය වෙත පමුණුවා,
3මා පණගන්වන සේක.
පිළිතුර - සමිඳාණෝ මා එඬේරාණෝ ය;අග හිඟ මට නොවන්නේ ය.
සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිටු මඟ මා ගෙන යන සේක.
4මරණය වැනි ගන’ඳුරු රුදුරු නිම්නය මැදින් ගියත්, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේ ය.
ඔබේ කෙවිට ද සැරයටිය ද මා නියත සැනසිල්ල වන්නේ ය.
පිළිතුර - සමිඳාණෝ මා එඬේරාණෝ ය;අග හිඟ මට නොවන්නේ ය.
5ඔබ මාගේ සතුරන් ඉදිරියේ දී, මංගල බොජුනක් පිළියෙළ කර දී, මා සිරස තෙලින් ආලේප කරන සේක.
මාගේ කුසලාන උතුරා යන්නේ ය.
පිළිතුර - සමිඳාණෝ මා එඬේරාණෝ ය;අග හිඟ මට නොවන්නේ ය.
6ඔබේ දයාව හා කරුණාව නියත ව, දිවිහිමියෙන් මා අනුව එන්නේ ය.
සමිඳුන්ගේ නිවාසය මාගේ සදාතන වාසය වන්නේ ය.
පිළිතුර - සමිඳාණෝ මා එඬේරාණෝ ය;අග හිඟ මට නොවන්නේ ය.

දෙවන කියවීම (රෝම 6, 3-9 හෝ රෝම 5,5-11)

3බව්තීස්ම-ස්නාපනයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා සමඟ ඒකාබද්ධ වූ අප සියල්ලන් ම එම බව්තීස්ම-ස්නාපනයෙන් උන් වහන්සේගේ මරණයෙහි, උන් වහන්සේ හා සමඟ ඒකාබද්ධ වූ බව ඔබ නොදන්නහු ද? 4එබැවින් අපේ බව්තීස්ම-ස්නාපනයෙන් අපිත් උන් වහන්සේගේ මරණයට, සම්බන්ධ වී උන් වහන්සේ සමඟ වළලනු ලැබුවෙමු. එසේ කරනු ලැබුවේ පියාණන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියාවෙන් ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය ලැබූ සේ ම, අප ද නව ජීවන මඟක ගමන් කරනු සඳහා ය.
5උන් වහන්සේගේ මරණය වැනි සිද්ධියකින් අපි උන් වහන්සේ හා සමඟ එක් වුණෙමු නම්, උන් වහන්සේගේ උත්ථානය වැනි සිද්ධියකින් ද අපි උන් වහන්සේ හා සමඟ එක් වන්නෙමු. 6මින් මතු අප පාපයට වහල් නොවන පිණිස අපේ පාපී ස්වභාවය නැති වන සේ අපේ පූර්ව මිනිස් ගතිය උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ බව අපි දනිමු. 7මන්ද, මළා වූ තැනැත්තාට පාපය ගැන වගකීමක් නැත. 8අපි ක්‍රිස්තුන් වහන්සේ සමඟ මැරුණෙමු නම්, උන් වහන්සේ සමඟ ජීවත් වන බව ද විශ්වාස කරමු. 9උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ යළිත් නොමැරෙන බව ද අපි දනිමු. මින් මතු මරණය උන් වහන්සේ කෙරේ බල පවත්වන්නේ නැත. 
රෝම 5,5-11
බඳු බලාපොරොත්තුවකින් කිසි ම කලකිරීමක් ඇති නොවෙයි. මන්ද, අපට දෙන ලද ශුද්ධාත්මයාණෝ දේව ප්‍රේමයෙන් අපේ සිත් පුරවන සේක.
6අප අනාථ ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ පව්කාරයන් උදෙසා නියමිත කාලයේ දී සිය දිවි පිදූ සේක. 7සත් ගුණවත් කෙනෙකු උදෙසා දිවි පිදීමට යමෙකු තුළ ධෛර්යය තිබුනත් එවැන්නෙකු උදෙසා දිවි පිදීමක් සිදුවන්නේ කලාතුරකිනි. 8අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ අප පව්කාරයන් ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දිවි පිදූ බැවිනි. 9ක්‍රිස්තුන් වහන්සේගේ යාගික රුධිරය හේතුවෙන් දමිටු බවට පමුණුවනු ලැබ, උන් වහන්සේ කරණකොටගෙන දේව උදහසින් මිදීම ගැන අපට වඩාත් සහතික ය. 10අපි සතුරන් ව සිටිය දී ම දේව පුත්‍රයාණන්ගේ මරණය නිසා උන් වහන්සේ සමඟ සමඟි කරනු ලැබුවෙමු නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, දැන් ඊටත් වඩා ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතය නිසා ගැළවීම ලබමු. 11එපමණකුත් නොව, දෙවියන් වහන්සේ හා සමඟ නැවත අපට සමඟිය අත් කර දුන් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් අපි දෙවියන් වහන්සේ කෙරේ අතිශයින් ප්‍රීති ප්‍රමෝද වෙමු.
ආලේලූයියා මතෙව් 25,34
මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න

සුබාරංචිය (ජොහන් 6,37-40)

37පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝ ම මා වෙතට පැමිණෙති; මා වෙතට පැමිණෙන්නා මම කිසි සේත් ඉවත නොදමමි. 38මා ස්වර්ගයෙන් පහළ වූයේ මාගේ ම කැමැත්ත කරන පිණිස නොව, මා එවා වදාළ තැනැන් වහන්සේගේ කැමැත්ත කරන පිණිස ය. 39මා එවා වදාළ උන් වහන්සේගේ කැමැත්ත නම්, උන් වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක් කෙනෙකු වත් නැති වන්නට නෑර, සියල්ලන් ම අන්තිම දවසේ දී මා විසින් උත්ථාන කරනු ලැබීම ය. 40පුත්‍රයාණන් වහන්සේ දැක උන් වහන්සේ අදහාගන්නා හැම කෙනෙකු ම සදාතන ජීවනය ලැබීම මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ය. මම ද අන්තිම දවසේ දී ඔවුන් උත්ථාන කරන්නෙමි”යි වදාළ සේක.



Post a Comment

0 Comments