✟✯ ශු දෙවන ජුවාම් පාවුලු පාප්තුමා ✯ ✟

                                     


කැරොල් ජුසෙෆ් වොජ්ටිලා නමින් 1920 මැයි 18 වන දින දකුණු පෝලන්තයේ වදොවිට්සා නම් නගරයේ උපත ලැබූ මෙතුමාට වයස අවුරුදු 09 දී තම මව අහිමි වන අතර ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ එඩ්මන්ඩ් වයස 12 දී අහිමි විය. යොවුන් වියෙහි සිට මළල ක්‍රිඩාවට සහ පිහිනීමට ප්‍රිය කළ මෙතුමා 1938 වසරේ දී ක්‍රැකෝව් හී යගියේලෝනියානු විශ්වවිද්‍යාලයට ඇතුළු වන අතර එහිදී ඔහු නාට්‍ය කලාව හා සාහිත්‍ය කාව්‍ය පිළිබඳ හදාරන ලදි.

පෝලන්තය යටත් කර ගැනිම සඳහා ජර්මනියේ නාසි හමුදාව ක්‍රියා කළ නිසා විශ්ව විද්‍යාල වසා දමන්නට සිදුවිය. පූජකතුමකුගේ කැමැත්ත මත ක්‍රැකෝව් හී අගරදගුරු තුමාගේ මෙහෙයවීමෙන් මෙතුමා රහසිගතව දෙව්සත්හලක අධ්‍යාපනය සඳහා යොමු කරන ලද අතර දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු දෙව්සත්හල් අධ්‍යාපනය නිම කළ මෙතුමා 1946 නොවැම්බර් 01 දින පූජකවරය ලබා ගත්තේය.

රෝමයේ දේව ධර්ම ශාස්ත්‍රය පිළිබඳ ආචාර්ය උපාධිය අවසන් කළ එතුමා 1948 දී නැවත පෝලන්තයට පැමිණ ක්‍රැකොව් හා ඒ අවට පිහිටි දේවස්ථාන කිහිපයක සේවය කරන ලදි. කැරොල් ජුසෙෆ් පියතුමා 1958 සැප්තැම්බර් 28 වන දින ඔම්බි නම් පදවියේ රදගුරුතුමා ලෙස පතුවූ අතර ඉන් වසර හයකට පසු ක්‍රැකෝව් හී අගරදගුරුතුමන් ලෙස පත් විය. කතෝලික සභාව තුළ ශ්‍රේෂ්ඨ චින්තකයකු ලෙස සලකනු ලැබූ මෙතුමන් දෙවන වතිකානු මන්ත්‍රණ සභාවට ද සහභාගී විය. එහිදී වර්තමාන ලෝකය තුළ ශුද්ධ වූ සභාවේ ස්ථාවරත්වය පිළිබඳව විමසා බැලීමට එතුමන් දැක්වූ දායකත්වය ඉතා ප්‍රබල ය.


ශුද්ධවූ සභාව වෙත දැක්වූ දායකත්වය නිසාම 1967 ජුනි 26 වන දින අති උතුම් හයවන පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන් විසින් එතුමන් හට කාදිනල් ධූරය ප්‍රදානය කරන ලදී. අති උතුම් පළමුවන ජුවාම් පාවුලු ශුද්ධෝත්තම හිමිපාණන්ගේ ස්වර්ගස්ථ වීමෙන් පසුව 1978 ඔක්තෝබර් 16 වන දින දෙවන ජුවාම් පාවුලු නමින් මෙතුමා පාප් ධූරයට පත් විය. 


වසර 456 කාලයකට පසු ඉතාලි  ජාතිකයෙකු නොවන කෙනෙකු ලෙස පාප් ධූරයට පත්වූයේ මෙතුමන් ය. ශුද්ධ වූ සභාවේ දෘශ්‍යමාන නායකයා ලෙස තම බැටළුවන් වෙත විශ්වාසයේ, ප්‍රේමයේ සහ සාමයේ පණිවිඩය රැගෙන රටවල් සියයකට ඔහු වඩා සංචාරය කිරීමට මෙතුමාට හැකි විය. ඒ අතර  1995 ජනවාරි 20 වන දින එතුමා අප ශ්‍රී ලංකාවට ද පැමිණීයේය. එම අවස්ථාවේ දී එතුමන් කොළඹ ගාලු මුවදොර පිටියේ පවත්වන ලද දේව මෙහෙය දී වන්දනීය වූ ජුසේවාස් පියතුමන් භාග්‍යවරයට ඔසවන ලදී.


1981 මැයි 09 වන දින වතිකානුවේ සාන්ත පීතර චතුරශ්‍රයේ දී සතිපතා පවත්වනු ලබන පොදුජන හමුවේ දී විසිතුන් හැවිරිදි තුර්කි ජාතික මොහොමඩ් අලි අග්කා නම් තරුණයෙක් විසින් කරන ලද වෙඩි තැබීමෙන් ඉතා බරපතළ තුවාල ලැබූ එතුමන් ප්‍රාතිහාර්යාත්මක ලෙස සුවය ලබා පසුව සිර කුටියේ දී තමන් ඝාතනය කරන්නට උත්සාහ දැරූ අය හමුවී ඔහුට සමාව ලබා දුන්නේ ය.


මානව හිමිකම් වෙනුවෙන් මහත් හඬක් ලොව තුළ නැගූ මෙතුමන් ලෝකය තුළ පවතින දුක්වේදනා ගැන බොහෝ සෙයින් කතා කළේය. මරණීය දණ්ඩනයට එරෙහිව කතා කිරීම ඒ අතර විශේෂ කාරණාවක් විය. තරුණ හදවත් තුළ මෙතුමන් කෙරෙහි තිබුණේ බොහෝ ආදරණීය බැඳියාවකි. එම නිසාම එතුමන් ලෝක තරුණ දිනයේ නාම සාන්තුවරයා ලෙස ද හඳුන්වනු ලැබේ.


වසර  2001 සිට පාකින්සන් නම් රෝගය වැළඳුණු එතුමන් ශාරීරිකව දුර්වල වන්නට පටන් ගත් අතර ස්වසන ආබාධයක් හේතුකොටගෙන 2005 පෙබරවාරි 01 දින රෝහල්ගත කළ එතුමන් තවදුරටත් ක්‍රම ක්‍රමයෙන් ශාරීරිකව දුර්වල වන්නට විය. එතුමා 2005 අප්‍රේල් 02 වන දින ස්වර්ගස්ථ වූ අතර 2011 මැයි 01 වන දින අති උතුම් 16 වන බෙනඩික් ශුද්ධෝත්තම හිමිපාණන් විසින් මෙතුමාව භාග්‍යවරයට ඔසවන ලදි.

2014 අප්‍රේල් 27 වන දින ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා විසින් මෙතුමාව සාන්තුවරභාවයට ඔසවන ලදි. 

Post a Comment

0 Comments