✟✯🌷අවිලාහි ශු. ‌තෙරේසා මුනිවරිය 🌷✯ ✟

 



මෙතුමිය උපත ලබන්නේ 1515 මාර්තු 28 වන දින ස්පාඤ්ඤයේ අවීලා නගරයේ දී ය. ඇගේ පියා වූ ඇලොන්සෝ ප්‍රසිද්ධ ලොම් වෙළෙන්දෙකු වූ අතර අවීලා හි ධනවත්ම පුද්ගලයෙක් ද විය. තෙරේසා ගේ මව කුඩා තෙ‌රේසාව ඉතා භක්තිමත් කැප වූ කිතුණු ගුණාංග සහිතව හදාවඩා ගත්තාය.

ශුද්ධවන්තයින් ගේ ජීවිත කතා කියැවීමෙන් අධ්‍යාත්මික පන්නරයක් ලබා ගත් ඇය, වයස අවුරුදු හතේදී තම සොහොයුරා වන රොද්‍රිගෝ සමග තම නිවසින් පැන ගොස් මුස්ලිම්වරුන්ට එරෙහි සටනේ දී දිවි පිදීමට උත්සාහ කළාය.නගර මායිමට පිටතින් ඔවුන් දුටු ඥාතිවරයෙක් ඔවුන්ගේ ගමන වළක්වා නැවත නිවසට කැඳවාගෙන ආවේය.තෙරේසා හට වයස අවුරුදු 11 ක් වන විට ඇගේ මව මිය ගිය අතර එය ඇයගේ ජීවිතයට මහත් සේ බලපෑවේය.මෙය දේවමාතාවන් කෙරෙහි ගැඹුරු භක්තියක් ඇතිකරලීමට සහ අධ්‍යාත්මික මව ලෙස එතුමියව වැලඳගැනීමට ඇයව පෙළඹූවේය.

තම අධ්‍යාපන කටයුතු සඳහා තෙරේසා අවීලා නගරයේ අගුස්තීනු පැවිදි සොහොයුරියන්ගේ පාසලකට ඇතුළත් විය.අධ්‍යාපන කටයුතු අවසන් කළ ඇය තුළ තුළ පැවිදි ජීවිතයට ඇතුළු වීමේ කැමැත්තක් ඇති වූ නමුත් තම ඥාතින් සමග නැවතී සිටි කාලය තුළ යම් පසුබෑමකට ඇය මුහුණ දුන්න ද පසුව ඇය කාර්මෙල් කන්‍යාරාමයකට ඇතුළු වීමට තීරණය කළාය. ඇය නිතරම භාවනාශීලී යැදුමට යොමුව සිටි අතර ඇය විසින් කරන ලද මර්දන ක්‍රියාවන් හේතුකොටගෙන රෝගාතුරවී වසරකට ආසන්න කාලයක් ඔත්පළ ව සිටියා ය. පසුව ශුද්ධ වූ ජුසේ මුනිදුන්ගේ ආශ්චර්යමත් මැදහත් කම තුළ ඇය සුවය ලැබුවාය.

මෙතුමිය තම පැවිදි ජීවිතය තුළ විශේෂයෙන් කාර්මෙල් අධ්‍යාත්මික ජීවිත පැවැත්මෙහි බොහෝ ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට මුල් වූවාය. එලෙසම දුර්වල සෞඛ්‍ය තත්ත්වයක සහ විශාල දුෂ්කරතා මධ්‍යයේ වුවද ඇය සිය ජීවිත කාලය පුරාම ස්පාඤ්ඤය පුරා කන්‍යාරාම දහසයක් ස්ථාපිත කිරීමට මුල් වූවාය. ඇය විසින් සම්පාදනය කරන ලද අධ්‍යාත්මික කෘතීන් ඉතා සම්භව්‍ය ගණයේ ඒවා ලෙස අදටත් සැලකේ.

රෝගාතුර වූ ඇය 1582 ඔක්තෝබර් 15 වන දින " මාගේ ස්වාමීනි, මේ ඔබ ඉදිරියට යාමට කාලය යි. එසේ නම් ඔබගේ කැමැත්ත ඉටු වේවා. මාගේ ස්වාමීනි මා බොහෝ කාලයක් බලා සිටි මොහොත පැමිණ තිබේ.එකිනෙකා හමු වීමට කාලය යි " එසේ අවසන් වදන් පැවසූ ඇය සගලොව දිනා ගන්නා ලදී.

1622 මාර්තු 12 වන දින අති උතුම් පහලොස් වන ග්‍රෙගරි ශුද්ධෝත්තම හිමිපාණන් විසින් මෙතුමිය සාන්තුවරභාවයට ඔසවන ලදි.

Post a Comment

0 Comments